කාන්තාවකට කරන්න බැහැ කියලා කියන වචන මාව ඉහළට අරන් ගියා


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලටම පැමිෙනමින් සිටින කාන්තාවක් ලෙස  තිළිණි ප්‍රියමාලි හඳුන්වා දිය හැකියි.

තිළිණි ප්‍රියමාලි කියන කෙනා බොහොම නිස්කලංක කෙනෙක්. ඒ වගේම පරාදවෙන්න අකමැති, ජයග්‍රහණයන් කියන දේ දකින්නට වැටි වැටී ඒ ජයග්‍රහණයන් අත්දකින තැන දක්වා ගමන්කරන කෙනෙක්. මම උපතින් ව්‍යාපාරික පවුලකට අයිති කෙනෙක් නෙවෙයි. කවදා හරි නමක් තියන්න පුළුවන් තැනකට අනාගතයේ ගමන් කරන්න ඕන කියලා මගේ සිතුවිල්ලක් තිබුණා. එහෙම වෙන්න හේතු වුණේ දෙයක් තේරෙන වයසක ඉන්න ගැහැනු ළමයෙකු බවට මම පත්වෙද්දී එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන කාන්තා චරිතය මගේ හිතට කා වැදීම.

මම ඇයගේ දේශපාලන ජීවිතයවත්, පෞද්ගලික ජීවිතයවත් දන්නේ නැහැ. නමුත් ගැහැනියක රටේ ජනාධිපතිව ඉන්නවා දකිද්දී, ගැහැනියකට යමක් කරන්න පුළුවන් කියන හැඟීම මගේ හිතේ ඇතිවුණා. ඒ සිතුවිල්ල හැබෑවක් කරගන්න අනන්ත කැපකිරීම් කරපු කෙනෙකු විදිහට මම මාව හඳුන්වන්න කැමතියි. සාමාන්‍ය කෙනෙක් ජීවිතය ජයගන්න දුක් කම්කටොලු වින්දා කියලා කියනවා නම් මම මේ ඉන්න තැනට එන්න අනේක, අප්‍රමාණ කම්කටොලු විඳලා තියෙනවා කියන්න පුළුවන්. ඒ දුක් කම්කටොලු දැන් ඉවරයි කියලා මම හිතනවා. මොකද හැම දුකකටම මුහුණදීලා අද මම ස්ථාවර තැනකට ඇවිත් ඉන්නවා. දුක් කරදර එන්නේ කොහොමද. ඒවා ඇති නොවෙන්න මොනවද කරන්න ඕන කියන හැම දේම දැන් මම දන්නවා. ලොකු කැපකිරීම් සම්භාරයක් සිදුකරලා තමයි මම අද මේ ඉන්න තැනට ආවේ.

පොඩිකාලේ ඉඳලා මට ගැහැනු ළමයි කරන දේවල් කියලා සම්මතයේ තිබුණු දේවල් කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. මගේ පවුලට යමක් කරලා මමත් තැනකට එනවා කියන අදහස මා තුළ තිබුණා. මගේ පියා වඩු කාර්මිකයෙක්. පොඩි කාලයේ මම පාසලේ සිට ගෙදර ආවම තාත්තත් එක්ක තාත්තාගේ වැඩ බිම්වලට යනවා. එතකොට මම දැක්කේ ගෙවල් හදන ඒවා. වහලවල් හදන ඒවා. ඉතින් මට ආසාවක් ආවා කවුරුත් නොකරන ක්‍ෂේත්‍රයකට මම කවදාහරි යොමු වෙනවා කියලා.

මුලින්ම මම රැකියාවක් ලෙස කළේ අලෙවිකරණය. ගෙයින් ගෙට ගිහින් බඩු විකුණන එක මම රැකියාව ලෙස කළා. ඉන් පසුව මම ඉදිකිරීමේ සමාගමක අලෙවිකරණ අංශයේ රැකියාවක් සඳහා යොමු වුණා. ඒ අනුව මට හිතුණා හරියට කරනවානම් ඉදිකිරීම් ක්‍ෂේත්‍රය බොහොම හොඳ ව්‍යාපාරයක් බව. ගෙවල් හදලා මිනිස්සුන්ට විකුණන්න ඕන කියලා මගේ හිතට දැනුනේ අවුරුදු 17දී. %Thilini Property Developers^ තමයි එදා මගේ හිතට ආව නම. මම 2004 වර්ෂයේ මගේ ව්‍යාපාරය ආරම්භ කළා. ඉන්පසුව 2012 වර්ෂයේ %Thilini Property Developers and Construction (Pvt) ltd^ නමින් පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්කළා. 

මේ ක්‍ෂේත්‍රයේ ගමනක් ඇවිත් 2015 වර්ෂයේ දැවැන්ත අයුරින් මගේ ව්‍යාපාරය මම පවත්වාගෙන යන්න පටන් ගත්තා. ඊට පසුව ලෝක වෙළෙඳ සංකීර්ණයේ 26 වැනි මහලට අරගෙන ගියා Thico Group of company එකක් විදිහට.

ඒ අනුව චිත්‍රපට නිෂ්පාදනය වගේම තේ, ගෑස් මෙන්ම තෙල්, අධ්‍යාපනය යනාදි විවිධ පැති හරහා ඉදිරියට මෙම ව්‍යාපාර පුළුල් කර පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. මම %Thico^ නාමය Construction^වලින් එහාට පුළුල් කළේ එකකින් තව එකකට ශක්තියක් සපයා ගන්නයි. මොකද මගේ ව්‍යාපාරයක් කඩා වැටුණොත් මට ආර්ථික වශයෙන් සහයෝගය ලබාදෙන්න කියලා මගේ ඥාතියෙකුගේ හෝ හිතවතෙකුගේ සහය පතන්න මට හැකියාවක් නැහැ. නමුත් මගේ වරදකින් හෝ රටේ තත්ත්වයක් නිසා හෝ වෙනයම් හේතුවක් නිසා මගේ Construction ව්‍යාපාරය කඩා වැටුනොත් මට එතනින් නතර වෙන්න සිදුවෙනවා. 

මම දරුවෝ තුන්දෙනෙක්ගේ මවක්. අම්මා කෙනෙක්ගේ කර්තව්‍ය වගේම තාත්තා කෙනෙක්ගේ කර්තව්‍යයත් කරගෙන යන ගැහැනියක්. යම් යම් තැන්වලදී කඩාවැටිලා, නැගිටලා බොහොම සාර්ථකව මවක්, ගැහැනියක් විදිහට අද මම ජීවත් වෙනවා. මගේ දරුවෝ තුන්දෙනා බොහොම නිහතමානී වගේම හොඳට හැදුණු ළමයි තුන්දෙනෙක් නිසයි මට මගේ කටයුතු බොහොම සමබරව කරගෙන යන්න පුළුවන්කමක් තියෙන්නේ. 

මගේ දරුවොන්ට මම ස්තූතිවන්ත වෙනවා ඔවුන්ගේ හැදියාව නිසා ඔවුන් ලොකු වෙද්දී මට නිදහස්ව මගේ ව්‍යාපාරික කටයුතු සිදුකරන්න හැකියාව ලැබුණු නිසා. අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ගේ වගකීමත් පැටවුණාම මට ඒකෙන් පැනලා යන්න උවමනා වුණේ නැහැ. සමහර අයට ප්‍රශ්නයක් මම මේ දේවල් කරන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තටම ගැහැනියක් කම්මැලි නැත්නම්, තමන්ව හරියට අඳුරගන්නවානම් ගැහැනියකට කරන්න බැහැ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. 

 

මගේ පවුලෙන්වත්, සැමියාගෙන්වත් ආව ව්‍යාපාරයක් නොවෙයි මම කරන්නේ. දිගින් දිගටම මගේ හිතේ තිබුණ ආසාව හා මම මුහුණ දුන්න සමාජ කෙනෙහිලිකම්, පවුල තුළ තිබුණු වාතාවරණය සමග යම් තැනකට එනවා කියලා එක අධිෂ්ඨානයක මම හිටියා. මට මේ ගමනේදී ආපසු හැරෙනවා නම් හැරෙන්න අනන්ත අවස්ථාවන්, කරදර බාධක ආවා. මම එක පඩියක් උඩට නගිද්දී සියයක් විතර මගේ කකුලේ එල්ලිලා මාව බිමට ඇදලා දාන්න බලන් හිටියා. 

නමුත් මගේ අධිෂ්ඨානය සෙලවුණේ නැහැ. මගේ අධිෂ්ඨානය ජයගන්නවා කියන සිතුවිල්ල විතරයි මගේ හිතේ තිබුණේ. මේ සමාජයේ කාන්තාවකට මිනිස්සු ගහන පහරවල්, කාන්තාවකට ඕවා කරන්න බැහැ කියලා කියන වචන මාව ගොඩාක් දුර අරන් ගියා. ඔයාට කරන්න බැහැ කියලා කිව්ව වචන තමයි මගේ ජීවිතය සාර්ථක කරගන්න මම %Turning point^ බවට පත්කර ගත්තේ. 

ලංකාවේ කාන්තාවකට ව්‍යාපාර කරනවා කියන එක අමාරුයි. නමුත් අපි ලංකාවේ මිනිස්සුන්ට ගැළපෙන විදිහට ඉන්න පුරුදු වුණානම් අපිට ඉහළට යන්න පුළුවන්. මගේ අතින් සිදුවුණ වැරදි මම හැමදාම හදාගත්තා. ජීවිතේ කඩාවැටීම්, පසුබැසීම්වලට අපිට මුහුණදෙන්න වෙන්නේ කොතනක හරි අපි වැරැද්දක් කළොත්. හැමෝම අතින් වැරදි සිදුවෙනවා. අපි වැරද්දක් කරලා නැත්නම්, වැරදි තීරණ අරන් නැත්නම් කවදාවත් අපිට පසුබසින්න සිදුවෙන්නේ නැහැ. ඒ නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න. ඒ වගේම අපේ අතින් වැරැද්දක් වුණාම ජීවිතයෙන්ම පසුබසින එක කාන්තාවන් විදිහට අපි අපේ ජීවිතවලට කරන අසාධාරණයක්.

නදීශානි පතිරණ/ ජායාරූප - සරසි නෙත්මිණී



Recommended Articles