පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුව විසින් යහපාලනයේ කළ විශිෂ්ට ජයග්‍රහණයක් සේ 25%ක කෝටාවක් යටතේ කාන්තා නියෝජනයක් හිමිකර දීම ගැන උදම් අනන්නට විය. නමුත් මැතිවරණය පවත්වා මේ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම හමුවේ මේ සියලුම දෙනා ගොලු වී තිබේ. කළ යුත්තේ කුමක්ද කියා තවම තීරණය කර නොමැත.
නමුත් කාන්තාවක් වශයෙන් තැබූ මෙම පියවරෙන් අපි ඉදිරියටම යා යුතුය. මේ සඳහා කාන්තාවන් පෙළගැසිය යුතුය. රටේ සෑම ක්ෂේත්‍රයකම මූලික දායකත්වයක් දරන කාන්තාව කිසිවිටෙකත් මෙම ගැටලුවේදී මගහැර නොයා යුතුය. මේ පිළිබඳ උද්ගත වී ඇති වත්මන් ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා පැවති අතර, එහිදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායක හේමමාලි අබේරත්න දැක්වූයේ මෙවන් අදහසකි.
හේමමාලි අබේරත්න ජාතික සංවිධායක නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
"කාන්තාවන් වෙනුවෙන් ගෙන ආ 25%ක නියෝජනය සම්බන්ධයෙන් අර්බුධකාරී තත්ත්වයක් මේ වන විට ගොඩනැගිලා තිබෙනවා. අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙසින් මේ මැතිවරණයේදී මෙම නියෝජන ක්‍රමය ගෙන එන විට අපි අපේ මතය මාධ්‍යට හෙළි කළා. මේ වන විට පළාත් පාලන ඇතුළේ හෝ වේවා පළාත් සභාවල ඇතුළේ හෝ වේවා පාර්ලිමේන්තුවේ වේවා ඕනෑම ධනේෂ්වර ආයතනයක් ඇතුළේ කාන්තා නියෝජනය 25෴කට වැඩි කළා කියලා අපේ රටේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ වෙලාවේ කම්හල්වල, කර්මාන්තශාලාවල, රජයේ රැකියාවල, පුද්ගලික අංශයේ රැකියාවල ලක්ෂ 27ක් කාන්තාවන් සේවයේ යෙදෙනවා. ඒවගේම ලක්ෂ 33ක් ලංකාවේ කාන්තාවන් ගෘහණියන් ලෙසින් කටයුතු කරනවා. තවත් ලක්ෂ දෙකක කාන්තාවන් ප්‍රමාණයක් රැකියා අපේක්ෂාවෙන් බලා සිටිනවා. මේ සිටින කාන්තාවන්ගේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත පාලකයෝ ටිකක්ද අපේ රටේ ඉන්නේ කියන එක ප්‍රශ්නයක්.
මේ රටේ ජාතික ආර්ථිකයට වැඩිම පංගුව එකතු කරන, විදෙස් රටවල තමන්ගේ ශ්‍රමය අඩු මුදලට විකුණන ලක්ෂ ගණනක කාන්තා පිරිසක් අපේ රටේ සිටිනවා. ඉන්න ගෙයක්දොරක්, තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තබා එදා වේලවත් පිරිමහා ගන්න බැරි කාන්තාවෝ අපේ රටේ සිටිනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩකරන කාන්තාවෝ අඩු වැටුපට තමන්ගේ ශ්‍රමය දිය කරනවා පමණක් නෙමෙයි ඇතැම් අවස්ථාවලදී තමන්ගේ ජීවිතය පවා අහිමිකර ගන්නා තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
අපේ රටේ කාන්තාවන් දේශපාලනයට කැඳවන්න අවශ්‍යයි. අරගලය තිබෙන්නේ එතැනයි. නමුත් ප්‍රශ්නය වන්නේ කාන්තාව දේශපාලනයට කැඳවනවා වෙනුවට නිකම් බොරු පැලැස්තරයක් ලෙස පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජනය ඇතුළත් කිරීම. සටන් කරන තැන්වල, දේශපාලනය කරන තැන්වල, දේශපාලනය වෙනුවෙන් අරගල කරන තැන්වල කාන්තාවන්ට පීඩාකාරී අයුරින් හැසිරුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කළ අවස්ථාවල අපේ රටේ පාලකයන් විශ්වවිද්‍යාල සිසුන්ට පහරදී ඇතැම් ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගත්තා. බිම දාගෙන ඇදගෙන ගියා. ඒ වගේම වෙළෙඳ කලාපයේ තරුණියෝ තමන්ගේ විශාම වැටුපේ අයිතිය ඉල්ලා අරගල කළ වෙලාවේ පහර දුන්නා.
අපේ ප්‍රශ්න මුලින්ම අපි තේරුම් ගන්න ඕන. අපි කාන්තාවක් වීම නිසා අපිට මේ සමාජයේ පීඩා තිබෙනවා. එය මේ රටේ ගෘහණියට, කම්හල්වල සේවය කරන තරුණියන්ට, රජයේ හා පුද්ගලික අංශයේ නියුතු සෑම කාන්තාවකටම තමන් මුහුණදුන් පීඩාවක් තිබෙනවා. ස්ත්‍රීන් වීම තුළින් කාන්තාව මේ සමාජයේ මුහුණදෙන ඛේදවාචකය නම්, අපේ ජීවිතයේ අපි දෙවතාවක් පීඩාවට පත් වෙනවා. ඒ ප්‍රශ්නයට නිකම් පැලැස්තර අලවන්න බැහැ.
එසේ සිදුකරන්න නම් මුලින්ම මිනිසුන්ගේ ආකල්පයන් වෙනස් කරන්න ඕන. මේ සමාජයේ සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මේ රටේ මිනිසුන්ගේ සිතීම් වෙනස් කරන්න අවශ්‍යයි. මේ සමාජයේ ආර්ථිකය තුළ ඇති ගැටලුකාරී තත්ත්වයන් වෙනස් කරන්න ඕන. අපේ සමාජයේ ගැහැනියට සමානව සලකන සමාජ වටපිටාවක් සකස් කරන්න ඕන. එවැනි තත්ත්වයක් සකස් කරන්නේ නැතිව 25%ක නියෝජනයක් ගෙන ආවට කිසිදු ප්‍රතිඵලයක් නැහැ. මෙය ලිබරල් ප්‍රතිසංස්කරණයක්. මෙය ලෝකයේ අනෙක් රටවල් මීට අවුරුදු සිය ගණනකට කලින් කළ දෙයක්.
නමුත් අපේ රටේ පාලකයන්ට අවම වශයෙන් ඒ ලිබරල් ප්‍රතිසංස්කරණයවත් හරියට කරගන්න බැහැ. ඔවුන් ගෙන ආ නීතිමය පණත් අද ඔවුන්ට පාරා වළල්ලක් වෙලා. මැතිවරණ කොමිසමේ කියන කාරණාව තමයි තව දුරටත් මේක මෙහෙම ඉදිරියට ගෙන යන්න බැහැ. නියමිත නීති යටතේ පළාත් පාලන ආයතන කැඳවනවා. අර්බුදකාරී තත්ත්වයක් මතුවන තැන්වල පක්ෂ නායකයන් තීරණය කර ඇති පරිදි පළාත් පාලන ආයතන කැඳවනවා. එවිට ඒ පළාත් පාලන ආයතනවල කාන්තාවන් ගියත් එකයි නැතත් එකයි. පක්ෂ නායකයෝ මෙවැනි දෙයකට එකඟ වෙන්නේ කොහොමද? අපිට තිබෙන ගැටලුව ඒක. මෙය පාර්ලිමේන්තුව තුළ සම්මත කළ එකක්. නීතියක් ලෙසින් ගෙන ආ දෙයක්. මතුවෙලා තිබෙන අර්බුධය වළක්වා ගන්න එහෙම දේවල් කරනවා.
කාන්තාවන් දේශපාලනයට කැඳවනවා කියලා ඇයි කාන්තාවන් ඇත්ත දේශපාලනයට කැඳවන්නේ නැත්තේ. මේ රටේ කාන්තාවන්වත් අඩුම තරමින් කාන්තා අපේක්ෂිකාවන්ට ඡන්දයවත් දීලා නැහැ. කාන්තාවන් කාන්තාවන්ට ඡන්දය නොදෙන්නේ බොහෝ කාන්තාවන් හිතනවා මේ දේශපාලනය පිරිමි මූලික දේශපාලනයක් කියලා. පුරුෂ මූලික සමාජයක් මේක. මේ සමාජය ඇතුළේ පිරිමි ඔළුවෙන් තමයි අපි හැමෝම හිතන්නේ. එවැනි දේශපාලන පසුබිමක් ඇතුළත ස්ත්‍රීන් දේශපාලනය කරන්න ඕන, ඔවුන් පළාත් පාලන ආයතනවල සේවය කරන්න ඕන, ඒ තුළ දේශපාලන ක්‍රියාදාමයකට පැමිණෙන්න ඕන කියා මානසිකත්වයක් හැදෙන්නේ නැහැ.
ඡන්දය අවසන් වුණාට පසුව මෙය කාටවත් එතරම් ගානක් නැහැ. කාන්තාවෝ දේශපාලනයට ගියත් එකයි, නැතත් එකයි කියන මතයෙන් තමයි බොහෝ පිරිස් සිටින්නේ. ඡන්දේ තියනකම් කාන්තා නියෝජනය 25%ක නියෝජනයක් ලබාදුන්නා, කාන්තාවන් දේශපාලනයේ ඉදිරියට ගේනවා යනාදී වශයෙන් මෙය විකුණුවා. නමුත් ඡන්දය ඉවර වුණාට පසුව ඒ කතාව ඉවරයි. අඩුම තරමේ ඔවුන් ඒ ප්‍රකාශ කළ දෙයවත් කරගන්න සුදුසු කමක්, දක්ෂතාවත්, හැකියාවක් අපේ රටේ පාලකයන්ට නැහැ. මැතිවරණ කොමසාරිස්වරයා එකක් කියනවා, මැතිවරණ කොමිෂම තවත් එකක් කියනවා. රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා තව තව දේවල් කියනවා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා තවත් දෙයක් කියනවා. මේ එක එක්කෙනා එක එක දේවල් කියනවා. හැබැයි මෙහි තිබෙන සත්‍ය තත්ත්තවය හඳුනාගෙන ඒ සඳහා කටයුතු කරන්න කිසිදු දේශපාලඥයෙකු මැදිහත් වෙලා නැහැ. මෙය මේ සමාජ අර්බුධයේම තවත් පැතිකඩක්.
අපි හිතන විදිහට පළාත් පාලන ආයතන ඇතුළේ මේ කියන කාන්තා නියෝජනය බිත්ති සැරසිල්ලක්. අපේ රටේ පළාත් පාලන ආයතනවලට පත්වුණ කාන්තා අපේක්ෂිකාවන්ට ඒ ආයතනය තුළ තිබෙන පුටුවක ඕන නම් අසුන්ගෙන ඉන්න පුළුවන්. මේ රටේ කාන්තාවන්ගේ සත්‍ය ප්‍රශ්නය ඔය කියන කාන්තාවන්ට කතා කරන්න ලැබෙන්නේ නැහැ. පක්ෂයක නියෝජිතයෙකු ලෙසින් ගිහින් පළාත් පාලන ආයතනයක වාඩි වෙලා හිටියට වැඩක් නැහැ. දේශපාලනය කරනවා කියන්නේ මහපොළවට බැහැලා අරගල කරලා, ඔවුන්ගේ ආකල්ප කොතනද තියෙන්නේ, මුළු මහත් සමාජයේම සිතීම කොතනද තිබෙන්නේ, ස්ත්‍රීන් ගැන කොහොමද කල්පනා කරන්නේ, ගැහැනිය වෙළෙඳ භාණ්ඩයක්ද නැද්ද, ඇය ගැන කොහොමද සිතන්නේ කියන එක හිතන එකයි. ඒ නිසා ඵලක් නොමැතිව අපි ගිහින් පළාත් පාලන ආයතනයක පුටුවේ වාඩි වෙලා හිටියට වැඩක් නැහැ. අනෙක් කාරණය තමයි කාන්තාවන්ට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවා නම්, ඒ වෙනුවෙන් පෙනී සිටින්න කාන්තාවම අවශ්‍ය නැහැ. ඇත්තෙන්ම මේ ප්‍රශ්නය කතා කරන්න ගැහැනු පිරිමි භේදයක් අවශ්‍ය නැහැ. ඔබ මදකට සිතා බලන්න පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රීන්ගේ ප්‍රශ්න තෙරුම් ගත්තේ මොන රටේද?
අපි විශ්වාස කරනවා කිසිම මන්ත්‍රීවරයෙක්, කිසිම ඇමතිවරයෙක්, කිසිම ජනාධිපතිවරයෙක්, කිසිම අගමැතිවරයෙක් මේ පිළිබඳ කතා කරලා නැහැ. ඒ ප්‍රශ්නය හරියට තේරුම් ගන්නේ නැතිව පාලකයෝ සිතුවේ මේ නියෝජනය වැඩි කරන්න ඕන, මේක තමයි හොඳම එක කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ප්‍රශ්නවලට මෙහෙම උත්තර හොයන්න බැහැ. ඒ නිසා ඡන්දය භාවිතා කළ බහුතරයක් මිනිසුන්ට මේ සඳහා නිවැරදි නිශ්චිත පිළිතුරක් ලබාදෙන්න ඕන. පළාත් පාලන ආයතන 20ක් තිබෙනවා 25% කාන්තා නියෝජනය ගෙන්න බැරි. එතකොට ඒවාට මොකද වෙන්නේ. එතකොට ඒ කාන්තා නියෝජනය නොසලකා පළාත් පාලන ආයතනය පිහිටුවන්න වෙලා තිබෙනවා. මෙය මුළු මහත් සමාජ ක්‍රමයේම විකෘතියක්.
මැතිවරණ ක්‍රමය හා සමාජ විකෘතිය යටතේ යම් හරි ධනාත්මක දෙයකට සිදු වුණේ මේ දේ විතරයි. නමුත් එයත් පටන් ගත් තැනම ගැටලුවක්. මේ පාලකයන්ට, මේ ධනවාදී ක්‍රමය ඇතුළේ කවදාවත් මේ කාන්තා ප්‍රශ්නයට විසඳුම් හම්බ වෙන්නේ නැහැ. උත්තර දෙන්නත් බැහැ. එසේ උත්තර දිය හැකි වෙන්නේ අපි අර කලින් කියූ ආකල්පයමය, සංස්කෘතිකමය, සමාජයම, පුරුෂ මූලික සිතුවිලි වෙනස් කරලා හැමෝම ගැහැනිය මනුෂ්‍යයෙක් ලෙස සලකන සමාජයක් ඇතුළේ විතරයි. මේ අනුකම්පාවෙන් දුන්න ඡන්දවලින්, මන්ත්‍රී ධුරවලින් අපේ ප්‍රශ්න විසඳන්න බැහැ. අපි විශ්වාස කරනවා මේ පාලන ක්‍රමය යටතේ තව අවුරුදු පහක් නෙමෙයි තව අවුරුදු 20ක් 30ක් ගියත් මේ පාලන ක්‍රමය තුළ තව දුරටත් මේ විදිහටම තබාගන්න.
කාන්තාව සම්බන්ධයෙන් සමාජයේ ලොකු කථිකාවක් සමාජයේ ඇති වෙනවා. රටේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි දායකත්වයක්දී තිබෙනවා. ඒ සේරම නිසා මොවුන් කාන්තා නියෝජනය ගෙන ආවා. කාන්තා විමුක්තිය සටන් හා අරගල ඇතුළේ විතරයි කරන්න පුළුවන්. ඒ වගේම මේ ගැටලුව අපි හරියට තේරුම් ගන්නකම් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මෙය සටන් හා අරගල ඇතුළේ විතරයි කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ රටේ සාතිශය බහුතරයක් වන 52෴ක සහෝදරියන්ට ආරාධනා කරනවා, ලංකාවේ දකුණේ වෙන්න පුළුවන්, උතුරේ වෙන්න පුළුවන් දකුණේ සහෝදරියෝ ඉන්නවා තමන්ගේ ජිවීතයේ ප්‍රශ්නය හරියට තෙරුම් ගන්න බැරිව. අපේ රටේ පාලකයන්, දේශපාලන පක්ෂ කරන්නට ඕන ඒ සහෝදරියන්ට, ඒ කාන්තාවන්ට තමන්ගේ ප්‍රශ්නයට අදාළ දේශපාලන කථිකාවක් සමාජයට ගෙන ඒම. ඒ වෙනුවෙන් දේශපාලන සංවාදයක් ඇති විය යුතුයි. අපේ රටේ ස්ත්‍රීන්ට ඒ වෙනුවෙන් අනන්‍යතාවයක් හදන්න ඕන. ඒ නිසා ලංකාවේ සිවුකොනේ සිටින සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කරනවා අපේ ප්‍රශ්නය තේරුම් ගන්න සටන් බිමට එන්න කියලා."