දවසට කීපවතාවක්ම ඇඟපත පිරිසුදු කළත්, පිරිසුදු යට ඇඳුම් ඇන්දත් ඇතැම්විටක ඔබට ඇතිවන මේ තත්ත්වයට ප්‍රතිකාර නොපතා සඟවන්නට ඔබ උත්සාහ දරන්නේ මෙය කිසියම් ලිංගාශ්‍රිත රෝගයක්දෝ යන සැකයත් සමග විය හැකියි. කාටවත් කියන්නේ කොහොමද? මෙහෙම හිතලා ඔබ මේ තත්ත්වය පාලනය කරන්න විෂබීජනාශක දියරවල පිහිට පතන්නට ගොස් තව තවත් පීඩාවට පත් වූ අවස්ථා තිබෙන්නටත් පුළුවන්. ඒ නිසයි අපි මේ ගැන ඔබට සියලුම තොරතුරු කියන්නට අදහස් කළේ. ඔබටත් මෙවන් තත්ත්වයක් තිබෙනවාද? එහෙනම් වහාම රුධිරයේ සීනි මට්ටම ගැන නිසි පරීක්ෂාවකට ලක්වීම වැදගත්. ඔව්, ඇතැම් විට නිහඬ මාරයා, දියවැඩියාව ඔබව ආක්‍රමණය කර තිබෙනවා වන්නට පුළුවන්.
සිරුරේ සම කිසියම් ආසාදනයකට ලක් වූ විට කැසීමක් ඇතිවීම අප බොහෝදෙනෙක් අත්විඳ ඇති තත්ත්වයක්. නමුත් ඉතාම පිරිසුදුව ඔබේ පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගත්තත් හදිසියේම පාහේ ඔබගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල කැසීමක් ඇතිවීම ඔබ වඩාත් කැළඹීමට පත්වීමට ඉඩ ඇති තත්ත්වයක්. අඩුම තරමින් මේක කොහොමද ඩොක්ටර් කෙනෙකුටවත් කියන්නේ? ඒ අය මොනවා හිතයිද? මේක එහෙම බෝවෙන නරක ලෙඩක්වත්ද? එහෙම නම් කොහොමද මේ ලෙඩේ මට බෝ වුණේ? මෙහෙම හිතන සමහර අය අවසානයේ ස්වාමියා සමගත් ආරවුලක් ඇතිකරගන්න පුළුවන්. ඒ ඔබට මේ තත්ත්වය ඇතිවෙන්න හේතුව ඔහු පැවැත් වූ කිසියම් අනිසි ශාරීරික සම්බන්ධයක් නිසා යැයි ඔබට සැක සිතන්නට වුණ නිසා. මෙහෙම වෙන්නෙ ඇයි? ඇත්තටම ලිංගාශ්‍රිත රෝගයක ලක්ෂණයක්ද? යෝනි මග තුළ ඇතිවන ඒ කැසීම නැතිනම් ඒ අවට ප්‍රදේශය කසන්නට වීම ඔබට ඇති වුණේ කොහොමද යන්න ඔබ ඉතාම කනස්සල්ලට පත්වෙන හේතුවක් වෙන්නට පුළුවන්. ඇතැම් විට ඔබගේ යටඇඳුම්වල කිරි පැහැති කිරි යොදයේ ස්වරූපය ගත් කැඳලි වැනි යමක් පවතින බව දුටු විට ඔබ වඩාත් කලබලයට පත්වෙන බව නම් සහතිකයි. කැන්ඩිඩා ආසාදනය ගැන ඇතැම් විට ඔබ අසා ඇති. මෙය ඔබේ එම ප්‍රදේශය ආශ්‍රිතව යම් ආකාරයකට වර්ධනය වෙන්නට හේතුවක් පවතී. ඒ ඔබගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විටයි. එය මර්දනය කළ හැකි සාර්ථක ඖෂධ ප්‍රතිකාර පවතින නමුත් ඒ සියල්ලටම පළමුව ඔබගේ රුධිරයේ සීනි මට්ටම පිළිබඳ පරීක්ෂාකාරී වීම වැදගත්.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ යෝනි ශ්‍රාවයන් අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඔසප් චක්‍රයේ අතරමැදි සති දෙකක ඇවෑමෙන් මෙය තරමක වැඩිපුර ඇතිවී තිබෙන බව දැනුණහොත් එය ඔබේ ඩිම්බ නිකුත්වීම පිළිබඳ ඉඟියක් බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔබ දැන සිටිය යුතුයි. ඌෂ්ණ කෑම කෑ නිසා මේ ශ්‍රාවය වැඩි වූවා යැයි සිතා ඒ සඳහා කෑම වර්ගවලින් සහය පතා විසඳුම් හොයන කාන්තාවන්ද අප අතර ඉන්නා බව අමතක නොකළ යුතුයි. ආහාර සහ යෝනි ශ්‍රාවය අතර සම්බන්ධයක් නැතිවුණත් පෞද්ගලික පවිත්‍රතාවය සහ ඒ සඳහා ඔබේ ක්‍රියාකාරකම්වල නම් සම්බන්ධයක් තිබෙන්නට හැකියි. ඒ එම ප්‍රදේශය අධික සුවඳ සහිත සබන්වලින් සේදීම, නැතිනම් එම ප්‍රදේශවල විලවුන් ගැල්වීම වැනි වැරදි පුරුදු නිසා ඒවායේ අන්තර්ගත රසායනිකයන් බලපෑමෙන් යෝනි මග තුළ ඇතිකරන ආසාදන හේතුවෙනුයි. නමුත් එවන් අවස්ථාවක සහනය පතා විෂබීජනාශක දියර වර්ග යොදා සේදීම අනුමත කළ නොහැකියි. කෙසේවුවත් එසේ පිටවන යෝනි ශ්‍රාවයන් කැසීම සමග කහ පැහැති හෝ ලා කොළ පැහැති හෝ අළු පැහැති ආදී වශයෙන් පැහැයේ වෙනසක් හෝ දුගඳක් සහිත නම් ඔබ වහාම කාන්තා රෝග පිළිබඳ වෛද්‍ය සායනයකට ඒ තත්ත්වය පෙන්වා ප්‍රතිකාර පැතිය යුතු වෙනවා. එවන් වෙනසක් නැතිවත් සුදු පැහැය සමග කිරි යොදයට සමාන කැදලි වශයෙන් පිටවන ශ්‍රාවයන් කැන්ඩිඩා නම් බැක්ටීරියා ආසාදනයේ ලක්ෂණයක් ලෙස සලකා ඒ සඳහා වෛද්‍ය උපදෙස් අනුව නියමිත ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. මේ සඳහා යෝනි මග තුළට ඇතුල් කර ලබාදෙන ඖෂධ ප්‍රතිකාර මෙන්ම ඒ ආසාදනය මර්දනය කරන ඖෂධ ලබාගත යුතු වෙනවා. ඒත් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රුධිරයේ සීනි ප්‍රමාණය අධික වීම නැතිනම් දියවැඩියා තත්ත්වයේදී කාන්තා ඔබ අසහනයට පත්කරමින් එම ප්‍රදේශවල ඇතිවන කැසීම පිළිබඳවයි. රුධිරයේ සීනි අධික වෙන්නේ කොහොමද? මම පැණි රස ආහාර වැඩිපුර කන්නෙ නැහැනේ. මේ ඔබ දරන තවත් මතයක්. රුධිරයේ සිට ඔබගේ සිරුරේ පවතින සීනි සෛලවලට ඇතුළු කිරීමට ඉන්සියුලින් නම් හෝර්මෝනය අවශ්‍යයි. එම සීනි අංශු එම සෛල තුළට ඇතුළු වන්නේ එහි ඇති දොරටුවකින් යැයි සිතමු. එවාට ඒ දොර විවෘත කිරීමට යතුරක් අවශ්‍ය බව ඔබ දනී. එම යතුර ඉන්සියුලින් නම් හෝර්මෝනයයි. එම යතුර ඔබගේ සිරුර තුළ නොමැති නම්, එනම් ක්‍රියාකරවන්නට නොහැකි නම් එම සීනි සෛල තුළට ඇතුළු වීම වැළකෙන අතර, එයින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි.
මට හරිම තිබහයි. ඒ මදිවට හරිම බඩගිනියි. කොච්චර කෑවත් ආයෙ ආයෙම බඩගිනි එනවා. මම හරියට මහන්සි වෙනවානේ, ඒ නිසා මට හරි තෙහෙට්ටුයි. මහන්සිය වැඩිකමට හරියට නිදිමතත් එනවා. ඒ මදිවට අයියෝ මගේ මුත්‍රා කරන පැත්ත හරියට කසනවා. වෙන තැනක් වගේ නෙවෙයිනේ ඔතැන කොහොමද කහන්නෙ?* මෙය අපේ ගෘහනියන් බොහෝ දෙනෙකුගේ සැබෑ කතන්දරයයි. ඇඟට දැනෙන මහන්සි ගතිය, අප්රාණිකකම නිසා මෙයාලා ව්‍යායාමයක් ගැන උනන්දු වෙන්නේම නැති තරම්. මෙසේ ඇතිවෙන වෙහෙස බව වැඩ කරල වැඩි හින්ද ආව එකක් කියල ඔබම තීරණය කරලා, ව්‍යායාම කළොත් තවත් අමාරුවෙයි කියල හිතන එක නම් ස්ථිරයි. මෙම ලක්ෂණ තියෙනවා නම් රාත්‍රී ආහාරයෙන් පසු පැය 10ක් නිරහාරව සිට රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරල බලන්න ඕන. කෑම නොකන්නේ හොඳ නැත්තේ, ඔන්න ඔහේ තේ එකක් බීලා ලේ බලන්න යනවා කියල නම් හිතන්න එපා. පැය 10ක කාලයක් නිරහාරව සිට කරන රුධිර පරීක්ෂණයෙන් 60 -110mg/dl අතර සීනි මට්ටමක් පෙන්නුවොත් ඔබ දියවැඩියාවෙන් බේරුණ කෙනෙක්. 80 –140mg/dl අතරේ නම් ඔබ දියවැඩියා රෝගියෙක්. Hb A1c කියන රුධිර පරීක්ෂණය රුධිරයේ සීනි මට්ටම ගැන කියන්නේ පසුගිය මාස තුනක කාලය තුළ සීනි මට්ටම තිබුණු තත්ත්වය ගැනයි. එය 6.5ට වඩා අඩු අගයක් ගන්නවා නම් ඔබට දියවැඩියාව නැහැ. ඒත් 7ට වඩා වැඩි නම් කනගාටුයි, ඔබට දියවැඩියාව තිබෙනවා. ඒත් දියවැඩියාව කියන්නේ පාලනය කරන්න පුළුවන් රෝගයක්. ප්රත්යක්ෂ අලුත් අලුත් ප්‍රතිකාර ක්‍රම ගොඩාක් ඇවිත්. දැන් ඔබ හැංඟුව රහස රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමත්‘ සමගම අතුරුදන් කරවන්න හැකියි. බය නොවී ඒ ප්‍රශ්නයත් එක්ක වද නොවිඳ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් නැතිනම් නිරහාර රුධිර පරීක්ෂණයකින් තත්ත්වය සැක හැර දැනගන්න.