ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ සීමාවේ පිහිටි හික්කඩුව අප කවුරුත් දන්නා ප්රදේශයකි. එහි සංචාරකයන්ට මනස්කාන්ත වූ පරිසරයක ස්වභාව සෞන්දර්යය විඳීමේ ඉඩහසර ලබාදෙමින් දේශීයත්වය මුසු කර 'නිසලු උයන ' නමින් සංචාරක නවාතැන් හෙවත් කබානා සකස් කළ කාන්තාවක් අපට පසුගිය දිනක හමුවිය. ඇය නමින් කාන්චනා ද සිල්වාය.
වයස අවුරුදු 26ක තරුණියක ලෙසින් සංචාරකයන්ට නවාතැන් සපයන කබානා දෙකක් අරඹා තමන්ගේම ව්‍යාපාරයකට ප්රවිශ්ට වූ ඇයට මුල් කාලයේ සමාජයෙන් විවිධ අපවාද නැගෙන්නට විය. නොයෙක් ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවිය. නමුත් ඒ කිසිවකින් නොසැලී සිටි ඇය කබානා ගම්මානයක් අනාගතයේදී ඉදිකිරීමට සිහින දකින්නීය. මේ ඇය 'අද' හමුවේ තමා සතු වූ ආත්මාභිමානය කියා පෑ අයුරුය.
ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත්?
මම පවුලේ වැඩිමහල්ම ළමයා. ගාල්ල අනුලාදේවි විද්‍යාලයෙන් තමයි මම පාසල් අධ්‍යාපනය හැදෑරුවේ. පසුව මම උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ප්රවිශ්ට වුණා. එහිදී ව්‍යවසායක අධ්‍යයන විෂය ධාරාව යටතේ ඉගෙනීම් සිදු කළා. මම දැන් විවාහකයි. මට බබාලා දෙන්නෙක් ඉන්නවා.
ව්‍යාපාරයේ ආරම්භය ගැන කතා කළොත්?
ව්‍යාපාරය ආරම්භ කරනකොට එය ලෙහෙසි දෙයක් වුණේ නැහැ. අපිට විශාල වශයෙන් මිලමුදල් තිබුණේ නැහැ. මම විශ්වවිද්‍යාලයේ සිටින විටම මෙය කුඩා ව්‍යාපාරයක් ලෙසින් ආරම්භ කළා. නමුත් මට මේක ආරම්භ කරන්න යනකොට ගොඩක් ප්‍රශ්න ආවා. මම ඉගෙන ගන්න නිසා ණයක්වත් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ මගේ නැන්දා කෙනෙක් තමයි මගේ උදව්වට හිටියේ. ඇය ගුරුවරියක්. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඇය තමයි මට මුලින්ම ලක්ෂ තුනක ණයක් අරන් දුන්නේ. සල්ලිවලින් නොවුණත් ශ්‍රමයෙන් හා වචනයෙන් මගේ යහළුවන් මේ තත්ත්වයට නොබියව පැමිණෙන්න මට විශාල සහයෝගයක් දැක්වූවා. මේ උදව් උපකාර මධ්‍යයේ සංචාරකයන්ට නවාතැන් දීම සඳහා කබානා එකක් සාදා නිම කර ගන්න මට පුළුවන් වුණා. නොයෙක් ගැටලු මධ්‍යයේ මම කොහොම හරි මගේ හිතේ කාලයක් සිට තිබුණු ආශාව ඉෂ්ට කරමින් 2014 වර්ෂයේදී මේ කබානා හැදුවා.
නමුත් ඒ හදලත් අපිට කාටවත් එය කුලියට දීමටවත් හැකියාවක් ලැබුණේ නැහැ. විදුලිය, ජලය ආදීය එම නවාතැනට ලබාගැනීමේදී බොහෝ ප්‍රශ්න පැන නැගුණා. අද වන විටවත් මට ජලය ලබා ගැනීමේ පහසුකමක් නැහැ. මම ළිඳකින් තමයි අදටත් ජලය ලබා ගන්නේ.
මම මුලින්ම සංචාරකයන්ට අපේ සේවාව අවශ්‍ය වූ විට අපිව සම්බන්ධ කර ගැනීමට 'ට්රැන්කුවල් ගාඩ්න් බීච් කබානා' යන වෙබ් පිටුවක් ආරම්භ කළා. ඒ හරහා ප්‍ර‘වේශ වී මේ පිළිබඳ ඕනෑම කෙනෙකුට විස්තරයක් ලබාගන්න පුළුවන්. මේ විදිහට වර්ෂයක් පමණ කරලා ගිය අවුරුද්දේ ජුනිවල තව කබානාවක් හදන්න මට පුළුවන් වුණා. අපි නොවැම්බර් ඒක විවෘත කළා. දැනට මේ කබානා දෙකේම සංචාරකයන් රැඳී සිටිනවා.
ඔබේ ව්‍යාපාර ඇරඹීමේදී ඔබට උපකාර වුණු න්‍යායාත්මක දැනුම ගැන පැහැදිලි කිරීමක් කළොත්?
මම මුලින්ම තෙරීපත් වුණේ ව්‍යාපාර පරිපාලන විෂය ක්ෂේත්රයට. නමුත් මම වැඩියෙන්ම කැමැත්තක් දැක්වූවේ ව්‍යවසායක අධ්‍යයන අංශයට. ඒ නිසා මම විශේෂවේදය හැදෑරුවේ ව්‍යවසායකත්වය පිළිබඳව. දැනට මම සිදුකරපු ව්‍යාපාරයටත් විශාල පිටිවහලක් වුණේ මෙම විෂය තුළින් ඉගෙනගත් දේවල්.
මෙවන් ව්‍යාපාරයක් සිදුකරන්න විශේෂ හේතු කාරණා තිබෙනවාද?
විශේෂයෙන්ම මෙවැනි ව්‍යාපාරයක් කරන්න පසුබිම වුණේ මම ජීවත් වුණ ප්‍රදේශය. හික්කඩුවේ සංචාරක කර්මාන්තයට සුවිශේෂී තැනක් තියෙනවා. ඒ දැකපු දේවලුත් එක්ක කුඩා කාලයේ ඉඳලා මට ආශාවක් ඇතිවුණා මේ සම්බන්ධව. මම උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරන්න සිතුවේත් මගේම ව්‍යපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය නිසා. සංචාරකයන්ට නවාතැන් දෙන විශාල හෝටලයක් ඉදිකිරීම තමයි මගේ මූලික අරමුණ වෙලා තිබුණේ. ඒකත් එක්ක මම මගේ ව්‍යාපාරය ආරම්භ කළා.
මෙහි වැඩකටයුතු කළමනාකරණය කරන්නේ කෙසේද? සංචාරකයන්ට ලබාදෙන්නේ මොනවගේ ආහාරද?
මම තමයි මේ හැම දෙයක්ම කළමනාකරණය කරන්නේ. මෙහි ආහාර අපි වෙන තැනකින් ගෙන්වන්නේ නැහැ. ඒ හදන හැම ආහාරයක්ම අපේ අම්මා හදන්නේ. අපි කෘතිම රසකාරක කිසිවක් භාවිත කරන්නේ නැහැ. අපි උදෑසන, දහවල් හා රාත්‍රිය සඳහා දේශීය මෙන්ම විදේශිකයන් වඩාත් ප්‍රිය කරන ආහාර පිළියෙල කර දෙනවා. ඇත්තෙන්ම සංචාරකයන්ගෙනුත් ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා.
මෙම ව්‍යාපාරය ආරම්භයේදී පැනනැගුණ ගැටලු ගැන කතා කළොත්?
සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් මෙවැනි දෙයක් සිදුකිරීම ගැන කවුරුත් කැමති වුණේ නැහැ. ඇයි ගැහැනු ළමයෙක් මේ වගේ ව්‍යාපාරයක් කරන්නේ කියන එක අපේ ගමේ බොහෝ දෙනෙක්ට පැන නැගුණ ප්‍රශ්නයක්. මම ඒ හැම ප්‍රශ්නයටම නොබියව මුහුණදුන්නා. මට පොඩි වයසක් වුණාට ඇතැම් පුද්ගලයන්ගේ තනතුරු තානාන්තරවත් නොබලා මම ඔවුන් එක්ක මේ ගැටලු පිළිබඳ මට පුළුවන් විදිහට කතා කළා. පොලීසියට පවා ඒ නිසා මට යන්න සිද්ධ වුණා. නමුත් මගේ දෙමවුපියන්, මගේ මහත්තයා මේ හැමදේකටම මම ළඟින් හිටියා. ඒ නිසා මම අපේක්ෂා කළ අයුරින්ම කබානා හදාගන්න පුළුවන් වුණා.
මම විශ්වවිද්‍යාලයට ගියත් මේ දේ නොකර වෙන රැකියාවක් කරන්න කියලා මට කවුරුත් බලකළේ නැහැ. ඒ නිසා මම කැමති ක්ෂේත්රය මම කරනවා. මේ සඳහා පැමිණෙන සංචාරකයන් නිසා ගමේ ඉන්න වෑන්, ත්‍රිරෝද රථ රියදුරන්ටත් අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා.
අනාගතයේදී මෙම ව්‍යාපාරය දියුණු කිරීමට කුමන දේවල්ද ඔබ සිදුකිරීමට අපේක්ෂා කරන්නේ?
මේ අවට තිබෙන හැම හෝටලයක්ම ලොකු ව්‍යාපාර ලෙසින් තමයි සිදුකරන්නේ. නමුත් මට අවශ්‍ය එහෙම පරිසරයක පිහිටි හෝටලයක් ඉදිකරන්න නෙමෙයි. අපිට පාරිභෝගිකයෙක් ආවහම ඒ පාරිභෝගිකයාට මේ හෝටලය තමන්ගේ නිවස වගේ දැනෙන තත්ත්වයකට දියුණු කිරීමටයි මට අවශ්‍ය. දැන් අපේ කබානාවලට පැමිණෙන සංචාරකයන් පවා පවසන්නේ ගෙදරක හැඟීමක් මෙමගින් ලැබෙන බවයි.
ජනාකීර්ණ පෙදෙසක මේ දේ සිදුකරන්න මම කැමති නැහැ. මම බෙහෙවින්ම අගයන්නේ ස්වාභාවිකත්වය. විදේශ රටවලින් පැමිණෙන සංචාරකයන් වුවත් පවසන්නේ මෙතැන තමන්ගේම තැනක් ලෙස ළෙන්ගතුව දැනෙන බවයි. ඉදිරියේදී කබානා ගම්මානයක් ඉදිකිරීම මගේ සිහිනයක්. විශේෂයෙන් හික්කඩුවේ මුහුදු වෙරළ සීමාවේ කබානා සොයා ගැනීම ඉතාම අපහසු දෙයක්. ඒ නිසා මම කබානා ගම්මානයක් අනිවාර්යයෙන් ගොඩනැංවීමට අපේක්ෂා කරනවා.
හැමෝම බලන්නේ තමන්ට තිබෙන ඉඩමෙන් උඩට උඩට ගොඩනැගිලි ඉදිකරලා සල්ලි හම්බකර ගන්න. මට නිතරම අවශ්‍ය වුණේ වෙනස් විදිහේ දෙයක් කරලා වෙනස් අත්දැකීමක් ලබාගන්න.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හුදෙක් රාජ්‍ය අංශයේම රැකියාවක් අපේක්ෂා කරන නිසා මේ රටේ විරැකියා ප්රශ්නය ප්‍රබල ලෙස දැනෙන්නක්. ස්වෝත්සාහයෙන් තමන්ගේම කියා ව්‍යාපාරයක් ඇරඹි ඔබ, තරුණියක් වශයෙන් ඒ පිළිබඳ දක්වන්නේ මොනවගේ මතයක්ද?
මම හදවතට කියන දේ බුද්ධියට අනුව කෙසේ සිදුකරන්න අවශ්‍යද? සිදුකළ යුතුද? යන්න පිළිබඳ විමසා බැලුවා. අපිට දැනෙන දේ අපි කරන්නට අවශ්‍යයි. පවතින දේවල්, පේන දේවල් මිනිස්සු සම්මතයක් ලෙස හදා ගත්තත් එය 100%ක්ම නිවැරදි වන්නේ නැහැ.
ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බොහෝ දෙනා බියක් දක්වනවා. ඒ නිසයි බොහෝ අය ව්‍යාපාරයක් සිදුකරන්නේ නැත්තේ. තවත් කෙනෙකුගේ යටතේ වැඩ කරනවට වඩා තමන්ගේම ව්‍යාපාරයක් කරනව නම් එය එක් අතකින් ලංකාවේ ආර්ථිකයටත් හොඳයි, තමන්ටත් හොඳයි. නිවසට වී සිටිනවාට වඩා තමන්ගේ අපතේ යන කාලය, ශ්‍රමය වැය කරමින් අර්ථවත් ඵලදායී දෙයක් සිදුකරනවා නම් ඇත්තෙන්ම එය හොඳ දෙයක්.