කතුන්ට බහුලව වැලඳෙන පියයුරු හා ගැබිගෙල පිළිකා ගැන අවධානයෙන් සිටින්න


ලාංකේය සමාජයේ බොහෝ කාන්තාවන් ගොදුරුවන පිළිකා වර්ග දෙකක් ලෙස පියයුරු පිළිකා හා ගැබ්ගෙල පිළිකා හඳුනාගත හැකිය. මේවා මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම මගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය හැකි අතර, දැනුවත්වීම තුළ මේ පිළිකාකාර තත්ත්වයෙන් වැළකී සිටීමේ හැකියාවද තිබේ. නමුත් මේ පිළිබඳ බොහෝ කාන්තාවන් හට නිවැරදි දැනුමක් නොමැති කම නිසාවෙන් පිළිකා තත්ත්වය උත්සන්න වන තෙක් හඳුනා ගැනීමට නොහැකි වේ. ඒ නිසා එකී කාරණා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර මහතා අප අද සමග සම්බන්ධ කර ගත්තෙමු. මේ ඒ මහතා අප සමග දැක්වූ අදහස්ය. 


ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගරරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති

ලංකාවේ කාන්තාවන් ගත්විට ඔවුන්ට වැලඳෙන ප්‍රධාන පිළිකා වර්ග දෙක ලෙසින් පියයුරු පිළිකා හා ගැබ්ගෙල පිළිකා හඳුනාගන්නට පුළුවන්. මේ දෙවර්ගයෙනුත් කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරුවන්නේ පියයුරු පිළිකා වර්ගයටයි. වසරකට එවැනි අලුත් හඳුනාගැනීම් දහසක් පමණ ලංකාවෙන් වාර්තා වන්නා සේම වසරක් තුළ ගැබ්ගෙල පිළිකා 800කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. 2010 වර්ෂයේ ජාතික පිළිකා මර්දනායතන වැඩසටහනකින් හඳුනාගත් දත්ත අනුව තමයි මෙවැනි ප්‍රමාණයක් වාර්තා වන්නේ. ඒ නිසා මෙම ගැබ්ගෙල පිළිකා ඇති වීමේ හේතු කවරේද, ඒවා වළක්වා ගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද සහ ඒවා වැලඳුණු විට කළ හැකි ප්‍රතිකාර මොනවාද, යන්න සලකා බැලීම ඉතා වැදගත්. 

සාමාන්‍යයෙන් පියයුරු පිළිකාවක් ලෙසින් හැඳින්වීමේදී එහි වර්ග කිහිපයක්ම හඳුනාගන්න පුළුවන්. එමෙන්ම පියයුරු පිළිකා හට ගැනීම සඳහා විශේෂ හේතුවක් මේ යැයි සඳහන් කරන්න බැහැ. පවුලේ ආරට ඇති වීමේ ස්වභාවය එක් හේතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය ප්‍රධාන වශයෙන් වැදගත්. මොකද, තමන්ගේ සමීපම ඥාතීන් දෙදෙනෙකුට වසර 40කට කලින් මේ පිළිකා තත්ත්වය සෑදී තිබෙනවා නම් තමන්ට පියයුරු පිළිකාව සෑදීමේ ප්‍රමාණය 50෴ට වැඩි අගයක් ගන්න නිසයි. ඒ නිසා මෙය ළඟම ඥාතීන් දෙදෙනෙකුට පමණ තිබෙනවා නම් තමන්ගේද පරීක්ෂා කිරීම ඉතා වැදගත්. ඒ අවස්ථාවකදී තමයි මැමෝග්‍රැෆි (Mammography) කියන පරීක්ෂණ තත්ත්වයට ලක්විය යුත්තේ. සාමාන්‍යයෙන් එසේ නොමැතිව අපි එවැනි පරීක්ෂණ සිදුකරන්නේ නැහැ. මොකද මෙම පරීක්ෂණයේදී වෙන වෙන කිරණවලට නිරාවරණය වීම මගින් පිළිකා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා. එබැවින් ලොකුම අවදානම් තිබෙන අය පමණයි මැමෝගැෆි පරීක්ෂණයට යොමු වන්නේ. ඒ වගේම පියයුරු පිළිකාවක් වැලඳුණු පසු ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම එය කල්තබා හඳුනා ගැනීමත් ඊළඟට ඉතා වැදගත්. අපි ඒ පිළිබඳවද කතාකරමු.

පියයුරු පිළිකාවක් කල්තබා හඳුනාගත හැකි ක්‍රමයක් ලෙස ස්වයං පියයුරු පරීක්ෂාව (Slef Breast Examination) හඳුන්වන්න පුළුවන්. කාන්තාවකට මෙය සෑම මසකටම වරක්ම සිදුකළ හැකි දෙයක්. ඉතාමත් පහසු දෙයක්. ඒ අනුව කණ්නාඩියක් ඉස්සරහට ගොසින් තමන්ගේ පියයුරු නිරීක්ෂණය කළ යුතුයි. සාමාන්‍යයෙන් පියයුරු දෙකම එකම ප්‍රමාණයේ නැහැ. යම් අසමානතාවක් තිබෙනවා. නමුත් ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. එසේ නොමැතිව අසාමාන්‍ය ලෙස පියයුරුවල විශාලත්වයක් පෙන්නුම් කරනවා නම්, ඒ වගේම ගැටිත්තක් සේ තම අත්ලට හසු වෙනවා නම්, තන පුඩු ඇතුළට ඇදීගෙන යනවා නම්, පියයුරු මතුපිට සම දොඩම් ලෙල්ලක් සේ ඝන වෙනවා නම් ඒවා සාමාන්‍යයෙන් පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ ලෙස හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම තනපුඩුවලින් යම් කිසි ශ්‍රාවයක් එනම් රුධිරය ගලනවා නම් ඉක්මන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එසේම පියයුරු පරීක්ෂා කිරීමේදී කොටස් 4ට පියයුරුව අල්ලා බැලිය යුතුයි. එසේම පියයුරු විහිදී ඇති කිහිලි ප්‍රදේශයේ ඇති ගැටිත්තක් ඇතැම් විට පියයුරේ ගැටිත්තක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා. පියයුරු තරමක් විශාල කාන්තාවන්ගේ කිහිල්ලේ එවැනි ගැටියක් වගේ ඇති වෙනවා. පියයුරු විශාල වෙනකොට එය සමාන්‍යයෙන් විශාල වෙනවා. ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි.

පියයුරු ඇල්ලීමේදී අත්ලෙන් තෙරපා අල්ලනවා මිසක ඇඟිලිවලින් මිරිකා ඇල්ලීම සුදුසු නොවේ.  ඇඟිලිවලින් මිරිකා ඇල්ලූ විට ගැටිති ආකාරයෙන් ඇල්ලෙනවා. නමුත් අත්ලෙන් තෙරපා සිදුකරන විට ගැටිත්තක් ඇල්ලෙන බවට සැකයක් මතු වෙනවානම් වෛද්‍යවරයකු ළඟට ගොස් පියයුරු පරීක්ෂා කර ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී වෛද්‍යවරයාටත් කුමක් හෝ සැකයක් මතු වුණහොත් වෛද්‍යවරයා ඉක්මනින් ඒ අදාළ කාන්තාව පරීක්ෂණයට ලක්කරනවා. පියයුරුවල තිබෙන ගැටිති බොහෝමයක් පියයුරු පිළිකා තත්ත්වයේදී ඇති වන ගැටිති නොවේ. අතැම් ඒවා ඉවත් කිරීමටද අවශ්‍යතාවක් නැහැ. නමුත් සැකයක් තිබෙන අවස්ථාවකදී පොඩි කටුවකින් සෛල කිහිපයක් ගෙන පරීක්ෂණයක් (Fine needle aspiration) සිදු කිරීම වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම පියයුරු පිළිකාවක් කියා දැනගත් විට ශෛල්‍යකර්මයකට භාජනය වීමට සිදුවෙනවා. ශල්‍යකර්මයට භාජනය වීම එම ගැටිත්තේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඇතැම් විට පියයුරේ කොටසක් පමණක් ඉවත් කරන්න සිදුවෙනවා. පියයුරු සමීපයේ තිබෙන කුද්දැටි ඉවත් කිරීම පවා මේ ශල්‍යකර්ම මගින් සිදුවෙනවා. ඇතමුන් සිතනවා මූලික අවස්ථාවේ පමණක් ශල්‍යකර්මය කිරීම පියයුරු පිළිකා තත්ත්ව නැති වෙන්න ප්‍රමාණවත් කියා. ඇතැම් විට එම ශල්‍යකර්මයෙන් පසුව වුවත් ශාරීරික විද්‍යාත්මක තෙරපිවලට යන්නට අපිට සිදු‍ෙවනවා. අනෙක් කාරණය තමයි පියයුරු පිළිකාවකදී බොහෝ වේලාවලට පියයුරු ඉවත් කිරීම සිදුවෙනවා. 

විශේෂයෙන් තරුණ කාන්තාවන්ට මෙම ශල්‍යකර්ම සිදුකිරීමේදී තමන්ගේ සිරුරේ හැඩයට වන හානිය නිසා පියයුරු ඉවත් කිරීමත් සමගම වෙනත් පටකවල පියයුරක් නැවත සකස් කර සම්බන්ධ කරන්න පුළුවන්. එසේත් නොමැතිනම් කෘතිම පියයුරු සවිකිරීම වගේ කාර්යයනුත් සිදුකරනවා. විශේෂයෙන් තමන්ගේ සිරුරේ පියයුරු ඉවත් කිරීමේදී විශේෂයෙන් සිරුරේ අවලක්ෂණභාවය මතුවෙන එක ස්වභාවිකයි. ඒ නිසා එවැනි දේවලින් මගහරවාගෙන සිරුරේ හැඩ පවත්වාගෙන යන්න මෙවැනි ක්‍රම ඉවහල් වෙනවා. 

ගැබ්ගෙල පිළිකාවලට යොමු වූ විට ගැබ්ගෙල පිළිකාවක් පැපිලෝමා එච්.පී.යූ (HPU) වෛරස් හෙවත් පැපිලෝමා වෛරසය ආසාදනය වීමෙන් මෙම පිළිකා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සමාන්‍යයෙන් ජනගහනයෙන් 70%ක් පමණ දෙනාට මේ වෛරසය අසාදනය වෙනවා. නමුත් සෑම විටම ගැබ්ගෙල පිළිකා තත්ත්වය ඇති වෙන්නේ නැහැ. මෙය සිදුවන්නේ තමන්ගේ සිරුරේ සිදුවන ප්‍රතිශක්තිකරණය නිසායි. බොහෝ අයගේ වෛරසය සිරුරෙන් බැහැර වන බවක් දක්නට තිබෙනවා. ඒ සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය තුළින් වෛරසය ශරීරයෙන් ඉවත් කිරීමයි. නමුත් දුම්පානය , පෙට්ට්‍රසිලෝන් වැනි ඖෂධ භාවිතය, ප්‍රතිශක්තිය අඩු වීම ගැබ්ගෙල පිළිකාව වැලඳීමේ අවධානම වැඩි කරනවා. මෙම වෛරස නිතර නිතර ශරීරගත වීමක් සිදු වෙනවා. සහකරුවන් කිහිපදෙනෙක් සමග ලිංගික ක්‍රියාකාරී කාන්තාවන්ට මෙම පිළිකා තත්ත්වය වැලඳීමේ වැඩි අවදානමක් තිබෙනවා. මොකද එවිට මේ වෛරස නිතර නිතර ශරීරගත වීමේ අවදානමක් තිබෙන නිසා. ඒ වගේම කොන්ඩම් භාවිතය මගින් මේ වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පරික්ෂණයක් කළහොත් අනාවරණ කර ගැනීමට හැකිවන්නේ බොහොමයක් කාන්තාවන්ගේ ශරීරයේ මේ වෛරසය තිබෙන බවයි. එයින් අදහස් වෙන්නේ නැහැ කාන්තාවට ලිංගික සහකරුවන් කිහිප දෙනෙක් සිටිනවා කියා. 

මෙම වෛරසය ඕනෑම වේලාවක ශරීරගත වෙන්න පුළුවන්. මේ වෛරසය එකවරම පිළිකාව තත්ත්වයක් නිර්මාණය නොකරන අතර, වසර 7ක් වැනි කාලයක් ගැබ්ගෙල පිළිකාව පූර්ව සමයේ පවතිනවා. ඒ කාලයේදී මේ පූර්ව පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට හැකිවුවහොත් පිළිකා තත්ත්වයකට වර්ධනය නොවී වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ පූර්ව පිළිකා තත්ත්වය හඳුනා ගැනීම සඳහා පැප් පරීක්ෂණයක් කළ හැකියි. ඒ නිසා ක්ෂණික ක්‍රියාකාරීව සියලුම කාන්තාවන් තමන්ගේ විවාහයෙන් වසර තුනක් ගත වූ පසු ගැබ්ගෙල පරීක්ෂාවකට ලක්වීම ඉතා විශේෂයි. එමෙන්ම තමන් සහකරුවන් වැඩි ප්‍රමාණයක් සමග ලිංගිකව එකතු වුණා නම් එහෙම ගැබ්ගෙල පරීක්ෂණයක් කර ගැනීම ඉතාම අවශ්‍යයි. 

දැනට අපේ මාර්ගෝපදේශනවල තිබෙන්නේ  සාමාන්‍යයෙන් අවුරුදු 30න් පසුව මෙම පරීක්ෂණය සිදුකළ යුතුයි කියායි. එසේ අවුරුදු 30 ලෙස නම් කර ඇත්තේ කාන්තාවක් විවාහ වන වයස අවුරුදු 25ක් ලෙස සලකමින්. නමුත් මෙය සෑම කාන්තාවකටම අදාළ වන්නේ නැහැ. ඇතැම් කාන්තාවන් අවුරුදු 17 හෝ 18 වැනි වයසකදී ලිංගිකව එකතු වීම ආරම්භ කරනවා. ඒ නිසා ඔවුන් මෙම පරීක්ෂණය සිදුකරන්න අවුරුදු 30 වෙනකම් සිටිය යුතු නැහැ. සාමාන්‍යයෙන් පළමු ලිංගික සංසර්ගයේදී වසර 03ක් 05ක් කාලයේදී ගැබ්ගෙල පැප් පරීක්ෂණයකට ලක්වීම වඩාත් යෝග්‍යයයි. මොකද, ගැබ්ගෙල පරීක්ෂණය කිරීම තුළින් පූර්ව පිළිකා තත්ත්වයක් තුළ ගර්භාශය ඉවත් නොකර ඒ අදාළ පූර්ව පිළිකා තත්ත්වය තිබෙන තැන පමණක් ඉවත් කිරීමෙන් එය පිළිකාවක් දක්වා වර්ධනය වීම වළක්වා ගන්න පුළුවනි.

ඒ සඳහා එච්.පී.වී (Human Papilloma Virus -  HPV) යන නමින් තවත් ක්‍රමයක්ද තිබෙනවා. එය වෛරසයට එ‍ෙරහිව ප්‍රතිශක්තීකරණයක් ලෙස ක්‍රියාත්මක වන්නක්. දැන් එය වයස අවුරුදු 13දී ගැහැනු ළමුන් හට එන්නතක් ලෙසින් ලබාදීම සිදුකරනවා. ලිංගික සංසර්ගයේදී වෛරසය ශරීරගත වන නිසා එයට ප්‍රථම ප්‍රතිශක්තිකරණය ශරීරගත කිරීමටයි මෙලෙස එන්නත් කිරීම සිදු කරන්නේ. එවිට ගැබ්ගෙළ පිළිකා කාරක වෛරසය ශරීරගත වීමට පෙර එයට විරුද්ධව මේ මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩිකර තිබෙනවා. ඒ නිසා වෛරසය ශරීර ගතවුණත් පිළිකා තත්ත්වයට යා නොදී සිරුර තුල ඇති ප්‍රතිශක්තිය නිසා වෛරසය විනාශ කර දැමීමක් සිදුවෙනවා. විශේෂයෙන් දැනුවත් විය යුතු දෙයක් වන්නේ ප්‍රතිශක්තිය ඇතිවිය යුත්තේ වෛරසය ඇති වීමට පෙර බවයි. ලිංගික සංසර්ගයක් වූ කෙනෙකුට මෙම එන්නත් කිරීම මගින් කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. 13 වුණත් 18 වුණත් ඇය ලිංගික සංසර්ගයේ යෙදී නොමැති නම් මෙම ප්‍රතිශක්තිකරණය ලබා ගන්න පුළුවන්. මෙම  එච්.පී.වී (HPV) එන්නත දැනට රජයෙන් නොමිලේ ලබා දීමක් සිදුකරන අතර පෞද්ගලික රෝහල්වලින්ද ලබා ගැනීමට හැකියි. 

පැප් පරීක්ෂණයට යොමු වීම ඊළඟට තිබෙන ක්‍රමයයි. ලිංගිකව ක්‍රියාකාරී සෑම කාන්තාවක්ම මෙම පරීක්ෂණයට යොමු විය යුතුයි. එසේ යොමු වුණාට පසුව කුමක් හෝ ගැටලුවක් තිබේ නම් එයට අදාළව ප්‍රතිකාර කරන්න පුළුවන්. නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ළඟට යොමු වූ විට පැප් පරීක්ෂණයෙන් පසුව අදාළ ප්‍රතිකාර සිදු කිරීම ආරම්භ කෙරේ. සාමාන්‍යයෙන් ගැබ්ගෙළ පිළිකාවකදී අපි කළින් කරන දෙයක් තමයි සම්පූර්ණයෙන්ම ගර්භාශයම ඉවත් කිරීම. නමුත් ගර්භාශයම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් විට ගර්භාෂය ඉවත් කිරීම වැරදි ක්‍රියාවක් වුවද විය හැකියි. අතැම් විට ශල්‍යකර්මයේදී ගර්භාශය ඉවත් කළත් අවශ්‍යම කොටස ඉවත් නොවී ගර්භාෂය අයින් වෙන්න පුළුවනි. ඒ නිසා පිළිකාවක් නොමැතිනම් ගර්භාශය ඉවත් කිරීමක් සිදුවන්නේ නැහැ. අදාළ කොටස පමණක් ඉවත් කිරීම තමයි මෙහි සුදුසුම ක්‍රියා මාර්ගය. 

මෙය පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් අනිවාර්යෙන්ම සැත්කමක් කළ යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍යවරු ඒ පිළිකා නසන සැත්කම සිදුකරනවා. ගර්භාශය හා යෝනි මාර්ගය සම්බන්ධ වන නිසා එය ටිකක් සංකීර්ණ සැත්කමක්. ඒ නිසා සැත්කම කළ යුත්තේ විශේෂ පුහුණුවක් ලැබූ අය පමණයි. පියයුරු පිළිකා සේම ගැබ්ගෙළ පිළිකා වුවත් මුලින් හඳුනාගත් විට නිට්ටාවටම සුවකිරීමේ හැකියාවක් තිබෙනවා. යම්කිසි ලෙසකින් මෙය පැතිරී ගොස් තිබුණොත් මේ සඳහා සිදුකළ යුතු විකිරණ ප්‍රතිකාරද තිබෙනවා.



Recommended Articles