පිරිමින් පමණක් නිරත වන ව්‍යාපාර ක්ෂේත්රයක නියැළෙමින් පිරිමින් හා උරෙනුර ගැටෙමින් කාන්තාව සතු සහජ ධෛර්යය, ශක්තිය සහ කැපවීම ක්‍රියාවෙන් පසක් කළ දිරිය කතක් ලෙස මනෝජි වඩුගොඩපිටිය හැඳින්විය හැකිය. කිතුල්ගල, අර්සුලාන Pams Hydro සමාගම සහ Eco Loge පාරිසරික නිවහනෙහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂකවරිය වන මනෝජි, Simply Women සංවිධානයේ සභාපතිනියද වෙයි.ශ්‍රී ලංකාවේ ජල විදුලිබල පද්ධතියට මෙගාවොට් 3.7ක විදුලි බල ධාරිතාවක් උපයා සපයා දෙන Pams Hydro සමාගම මෙරට කාන්තාවක විසින් පවත්වාගෙන යනු ලබන එකම පෞද්ගලික ජල විදුලි බල උත්පාදන සමාගමයි.
විදුලි බල උත්පාදනය වැනි ව්‍යාපාරයක් තෝරා ගැනීම
පුංචි කාලේ ඉඳලම මම යමක් හිතුවොත් එය කරනවාමයි. කවදාහරි මගේම කියලා ව්‍යාපාරයක නිරත වීමේ සිහිනයක් මා තුළ තිබුණා. ඒ ව්‍යාපාරය එතරම් වෙහෙස මහන්සියකින් තොරව ආදායම් උපයා දෙන, හැම කාලෙකදීම ඉල්ලුමක් තිබෙන ව්‍යාපාරයක් විය යුතු යැයි මම සිතා සිටියා. මහනුවර උසස් බාලිකාවෙන් උසස් පෙළ සමත්වෙලා මම එයාර් ලංකා සමාගමේ ගුවන් සේවිකාවක ලෙස කලක් සේවය කළා. විවාහයෙන් පසුව සැමියාත් සමග එක්ව මා ඉපයූ මුදලින් අර්සුලානේ ඉඩම මිලදී ගත්තා. වත්ත පහලින් ගඟ ගලාගෙන යන ලස්සන දුටු ගමන්ම අපි තීරණය කළා එතැන සුදුසුම විදුලි බලාගාරයකට කියලා.
මුලින් සැමියා බලාගාරයේ කටයුතු සොයා බැලුවත් පසු කලෙක එහි වගකීම සම්පූර්ණයෙන්ම මා පිට පැටවුණා.
මගේ ව්‍යාපෘති සාර්ථකත්වයේ රහස
එක්ව කටයුතු කිරීම තමයි මෙහි දියුණුවේ රහස. මම මගේ ව්‍යාපාරයේ කාර්මිකත්වය ගැන වගේම එහි සේවයේ නියැළෙන සියලුදෙනාගේම ආර්ථික තත්ත්වය හා පවුල්වල වර්ධනය ගැන සැලකිලිමත් වෙනවා. පිරිමින් පමණක් නිරත වන මේ ක්ෂේත්‍ර‘යෙන් ව්‍යාපාරයක් අරඹා එය සාර්ථක කරගන්නට හැකි වුණේ ඉතා දක්ෂ ඉංජිනේරු කණ්ඩායමක් සහ සේවක පිරිසක් මා සමග එක්ව කටයුතු කරන නිසයි.
පසුකාලීනව පරිසරයේ සුන්දරත්වයත් එක්කම පරිසර හිතකාමී සුවපහසු හෝටලයක් ඉදිකළොත් හොඳයි කියා හිතුණා. ඒ අනුව Eco Loge හෝටලය බිහිවුණා.*
දුකට පත්වූ කතුන් වෙනුවෙන් ඇරඹූ Simply Woman ව්‍යාපෘතිය
Simply Woman ව්‍යාපෘතිය පටන් ගත්තේම දුකට, අසරණතාවයට පත්වුණු කාන්තාවන්ට පිහිට වීමේ අරමුණෙන්. කාන්තාවක් ලෙස මම දකින සත්‍ය නම් ඔවුන් දිළිඳු වුණත්, ධනවත් වුණත් කුමක් හෝ දුකකින් කරදරයකින් පීඩාවට පත්වන බවයි. මිල මුදල් ඇති අය වගේම දිළිඳු කාන්තාවන් සැමියාගෙන් හෝ සමාජයේ වෙනත් පුද්ගලයන්ගෙන් අයුක්තියට, අසාධාරණයට හා සූරාකෑමට ලක්වෙනවා. එවැනි කාන්තාවන්ගේ දුක කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. පිහිටවෙන්න කෙනෙක් නෑ. එවැනි කාන්තාවන් අතරින් කිහිපදෙනෙකුට හෝ මට පුළුවන් තරමින් පිහිට වෙන අදහසින් තමයි මම Simply Woman ව්‍යාපෘතිය ඇරඹුවේ. මම Pams Hydro සමාගමෙන් උපයන ආදායමෙන් හතරෙන් එකක් සමාජ සුභසාධනය සඳහා යොදවනවා.*
බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන්
දුකට පත් කතුන් ගැන සොයන විට මට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවි කාන්තාවන් ගැන අසන්නට ලැබුණා. ඔවුන්ට බන්ධනාගාරයේ තිබෙන පොදු පහසුකම් ප්‍රමාණවත් නැහැ. ගාරා වැටුණු වැසිකිළි පද්ධතියක් තිබෙන්නේ. මම අලුතින් වැසිකිළි පද්ධතියක් ඉදිකර දීමට සැලසුම් කර තිබෙනවා. ඇතැම් කතුන් බන්ධනාගාරගත වී සිටින්නේ ඉතා සුළු වැරදිවලට. උගත්, වැදගත්, රැකියාවල නිරතව සිටි කාන්තාවන් සිරගත වී සිටිනවා. ඇතැම් කාන්තාවන් මිනීමැරුම් වලට පෙළඹී තිබෙන්නේ සිය සැමියාගෙන් දුව බේරාගැනීමට යාමෙන්. බොහෝ විට සැමියා නිසා කුඩු විකිණීමට, ගණිකා වෘත්තියට යොමු වෙලා. මේ සියල්ලම සලකා බලන විට කාන්තාව පිරිමින් නිසා පීඩාවට පත්වූ බවක් පෙනෙනවා. සිරගතවූවන්ගෙන් බොහෝ දෙනෙකු නිදහස ලබා සමාජගත වන විට ඒ වැරැද්ද නැවත නොකරන්නට නම් අපි ඔවුන්ට ජීවත් වීමට මගක් කියාදෙන්නට ඕනෑ. ජීවිතයේ වැරදුණු තැන් හදාගෙන යළි ගොඩනැගෙන්නට අත්වැලක් වෙන්න ඕනෑ. ඒ අරමුණ ඇතිව මම ඔවුන්ට අත්කම් පාඨමාලාවක්, රූපලාවණ්‍ය සහ ඉංග්‍රීසි පන්තියක් පවත්වනවා. ඩෙනිම්, අත්බෑග්, සපත්තු, විසිතුරු පලඳනා, කොට්ට උර, ඇඳ ඇතිරිලි මහන්න උගන්වනවා. මානසික සුවය දනවන්නට ලස්සනට පිරිසුදුව, පිළිවෙළට ඉන්න හැටි කියලා දෙනවා. සමාජයේ ජීවත් වෙන්න යමක් කියවලා ලියලා තේරුම් ගන්න තරමට ඉංග්‍රීසි උගන්වනවා. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අපි නොමිලේ ලබාදෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නට ඔඩෙල් වැනි සුපිරි සමාගම් සූදානම්. අපි ඒවා මිලදී අරන් අලෙවි කර ලැබෙන මුදලින් කොටසක් කාන්තා රැඳවියන්ගේ ගිණුම්වලට දමන්නට බන්ධනාගාර බලධාරීන් වෙත භාරදෙනවා.
සමාජයේ පීඩාවට හා අසරණභාවයට පත් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවමින්, පිරිමින් සමග උරෙනුර ගැටී, අතිශය සාර්ථක ආකාරයෙන් සිය ව්‍යාපාරයද මෙහෙයවන නියමුවරියක වශයෙන් මේ වන විට මනෝජි විශ්ව සම්මානයටද පාත්රව සිටින්නීය.
පසුගියදා ඉන්දියාවේ මධ්‍ය ප්‍ර‘දේශයෙහි පැවැති ලෝක කාන්තා ව්‍යවසායකයන් සඳහා වූ තිරසාර සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන සම්මේලනයෙහි ප්‍රධාන ආරාධිත දේශනය සඳහාද, බැංගලෝරයෙහි පැවැති තාක්ෂණික ක්ෂේත්‍ර‘යෙහි නියැළි ව්‍යවසායිකාවන්ගේ සංගමයෙහි ප්‍රධාන ආරාධිත දේශනය සඳහාද ඇය සහභාගී වූයේ අභියෝග මැදින් සාර්ථක ලෙස ව්‍යාපාර ලෝකය ජයගනිමින් තමාටද තම සේවකයන්ටද, කාන්තාවන් ඇතුළු සමස්ත සමාජයටද එමගින් ඉටුකරන ලද මෙහෙවර පිළිබඳ ආදර්ශවත් කතාව කියන්නටය.
අපේ වැනි තුන්වැනි ලෝකයේ කාන්තාවන් සතු ශක්තිය අප්‍රමාණයි. උත්සාහය, ධෛර්යය අනන්තයි. යන්තමින් හෝ අත හිත දෙන්න කෙනෙක් ඇත්නම් ඔවුන්ගේ සාර්ථකත්වය නිශ්චිතයි. ඇයට එකවර කාර්යයන් රාශියක් සාර්ථකව කරන්නට පුළුවන්. ගැහැනුකම ඊට බාධාවක් නෙවෙයි. කාන්තාව සතු සොඳුරු බව රැකගෙන නිවසත්, ලෝකයත් සුර ලොවක් කරන්නට හැක්කේ ඇයට පමණයි. කයිරෝ නුවර පැවැත්වෙන මීළඟ ලෝක කාන්තා ව්‍යවසායිකාවන්ගේ සමුළුව ඇමතීමට පිටත්ව යන්නට සූදානමින් ඇය පැවසුවාය.
සකී කල්යා