ඉවතලන දෙයට වැඩි වටිනාකමක් එක්කරමින් ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොව ජාත්‍යන්තර ක්ෂේත්‍රයටම නවමු නිර්මාණ රැසක් හඳුන්වා දුන් ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනී ලෝනාලි රොද්‍රිගෝය. පරිසර හිතකාමී බවින් යුතුව ඇය ආරම්භ කළ ව්‍යාපාරය තුළින් ලාංකේය ආර්ථිකයට පමණක් නොව මුළු මහත් සමාජයටම ආදර්ශයක් සපයයි. %house of lonali^ නමින් ඇය ආරම්භ කළ මෙම ව්‍යාපාරය එක් අතකින් ඒ නවමු නිර්මාණ සඳහා අත්කම් හැකියා ඇති ගෘහණියන්ට ලබාදෙනුයේ මූල්‍යමය වශයෙන් අත්වැලකි. සිය ව්‍යාපාරය හා තමා පැමිණි ගමන් මග පිළිබඳ ඇය අද හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
?ක්ෂේත්‍රයේ සුලබව ඇති නිර්මාණවලට වඩා ඔබේ නිර්මාණවල තිබෙන්නා වූ සුවිශේෂීත්වය පැහැදිලි කළොත්
පිටරටවල්වලට නොයෙක් සන්නාම යටතේ අපි ඇඳුම් අපනයනය කරනවා. ඒවායින් අපතේ යන ප්‍රමාණය විශාලයි. මෙලෙස අපතේ යන්නේ අපේම පරිසරය. ඇතැම් ඒවා කර්මාන්ත ශාලා විසින් පුළුස්සා දමනවා. එසේත් නැතිනම් කර්මාන්ත ශාලාවල ගොඩගසා තිබෙනවා. මම නිර්මාණය කරන සෑම නිෂ්පාදනයක්ම සකස් කරන්නේ ඒ අපතේ දමන රෙදිවලින්. අනෙකුත් විලාසිතා හා මෝස්තර ශිල්පීන්ට වඩා මම කරන නිර්මාණවල තිබෙන විශේෂත්වය එයයි. ඇත්තෙන්ම මගේ නිෂ්පාදන සියල්ල පරිසර හිතකාමී නිෂ්පාදනයි. එවැනි දේවල් නැවත කර්මාන්ත ක්ෂේත්‍රයට ලබාදී නිෂ්පාදනයක් සිදුකර ගන්න බැහැ. ඒ සඳහා ඇඳුම් මහන පිරිස්, පන්වලින් නිර්මාණ කරන පිරිස් වැනි අත්කම් නිර්මාණකරුවන් රැසකගේ සහාභාගිත්වය ඒ සඳහා අවශ්‍ය වෙනවා. මොකද ඒ සඳහා වැය කරන ශ්‍රමය නිර්මාණයෙන් නිර්මාණයට වෙනස් වන නිසා. මේ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිදුකරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සඳහා කුඩා පරිමාණ වශයෙන් ව්‍යාපාර කරන පිරිස්වල සහයෝගය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.
?ව්‍යාපාරය ගැන කෙටි හැඳින්වීමක් කළොත්
මම මේ ව්‍යාපාරය ආරම්භ කරලා දැනට අවුරුදු 05ක් පමණ වෙනවා. දැනට මගේ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් %house of lonali^ යන නමින් කිරුළපන පවත්වාගෙන යනවා. ඒ වගේම අපි අපේ නිෂ්පාදන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ස්විඩන්වලට අපනයනය කරනවා. මගේ ප්‍රධාන කාර්යාලය රාජගිරියේ පිහිටුවා තිබුණත් මෙය එක තැනක ඉඳන් කරන්නට පහසු දෙයක් නම් නෙමෙයි.
ඇතැම්විට කොළඹ කර්මාන්තශාලාවල ඉතිරිවන රෙදි ගෙනගොස් යාපනයේ කාන්තාවන්ට අදාළ නිෂ්පාදන කරන්න ලබාදෙන අවස්ථාද තිබෙනවා. ඇතැම් විට මහන අය ඉන්නේ සීදුව ප්‍රදේශයේ. එකිෙනකට වෙනස් නිසා මහා පරිමාණ වශයෙන් සිදුකරන තැන්වලට මෙම නිෂ්පාදන සිදුකර දෙන්න කියා කියන්නට බැහැ. මගේ නිෂ්පාදන සිදුකරන්න වැඩිපුරම එකතු වී සිටින්නේ ගෘහණියන්. නිවසේ කටයුතු, දරුවන්ගේ ස්වාමිපුරුෂයාගේ කටයුතු සිදුකර අවසානයේ ඇයට හිමිවන නිදහස් කාලය තුළ මුදලක් උපයාගන්න මොවුන් වෙහෙසෙනවා. මෙය ඔවුන්ට එක්තරා ආකාරයකින් සපයන අත්වැලක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපේ රටේ කාන්තාවන් බොහෝමයක් ළමයෙක් ලැබුණ විට රැකියාවෙන් ඉවත් වීම සුලබවම දැකගන්න පුළුවන්. නමුත් ඒ ඔවුන්ගේ නොහැකියාව නිසා නෙමෙයි. ඇත්තෙන්ම ඔවුන්ට වැඩ කරන්න පුළුවන්. ඔවුන්ටත් උවමනා වී තිබෙන්නේ ඒ අමතර කාලයෙන් යම් කිසි දෙයක් උපයලා ළමයින්ගේ ගෙදර වැඩකටයුතු සඳහා එය වියදම් කර කීයක් හෝ ඉතුරු කරලා පවුලට සහයෝගයක් ලබා දීමයි.
?ඇයි ඔබ මේ වගේ නිෂ්පාදන අංශයකට යොමු වෙන්නේ
මම විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපෘති රැසක් සඳහා සහාභාගි වී තිබෙනවා. නමුත් ඊට පෙර සිටම මට මේ ගැන උනන්දුවක් තිබුණා.පොඩි කාලේ නිවසේදී අම්මගේ, ආච්චිලගේ පරණ වුණ සාරි වගේ ඇඳුම් එකතු කරලා මට ඇඳුම් මහා ගත්තා. ඒ කුඩා කාලයේ මම විනෝදයට කරපු දෙයක්.
ඇත්තෙන්ම ලංකාවේ මහා පරිමාණ ඇඟලුම් ක්ෂේත්‍රයක් තිබුණත් එයින් බොහෝ සේ රෙදි ඉවත් කරනවා. මේ ක්ෂේත්‍රයේ වැඩකරනවාත් සමග මට ඒ පිළිබඳ හොඳ දැනීමක් ආවා. ඒ වගේම මම ඒ සම්බන්ධ ව්‍යාපෘති ගණනවකටම සහාභාගි වෙලා තිබෙනවා. අනෙකුත් නිර්මාණ ශිල්පීන්ට වඩා පරිසර හිතකාමී යමක් කිරීමේ ආශාව මගේ හිතට තදින්ම දැනුන දෙයක්. ඒ නිසා මේ වගේ නිර්මාණ ක්ෂේත්‍රයේ වෙනස් දෙයක් වගේම ඒ තුළින් අලුත් අලුත් නිර්මාණ කරන්නත් මම පෙළඹුණා.
නිර්මාණකරුවන් සමාජයක් තුළ වැඩි වශයෙන් වගකීම් සහගතව වැඩ කරන්න අවශ්‍යයි. මොකද, මේසයක්, පුටුවක්, ඇඳුමක් හෝ කුමක් හෝ මේ මිහිපිට පවතින් දෙයක් කවුරුන් හෝ නිර්මාණ ශිල්පියෙකු අතින් බිහි වූ එකක්. ඔහු තමයි ඒ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටින්නේ. ඒ නිසා ඔවුන්ට යම් නිර්මාණයක් කිරීමේදී පරිසර හිතකාමීව සිදුකරන්න පුළුවන් නම් ඒ සම්පූර්ණ ක්‍රියාවලියම පරිසර හිතකාමී වෙනවා. එසේ සිදුකළ හොත් එය නිෂ්පාදනය කරන, එය භාවිත කරන පුද්ගලයන්ටත් ඒ ලෙසින්ම සිදුකරන්න වෙනවා.
?ඇඳුම්වලින් ආරම්භ කළ ඔබේ නිර්මාණ ගැන කතා කළොත්
මගේ ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළේ ඇඳුම්වලින්. ඒ කාලය වන විට මිනිස්සුන්ට මගේ ව්‍යාපාරය හෝ මම මේ කරන දේ පිළිබඳ නිසි අවබෝධයක් තිබුණේ නැහැ. අදටත් upcycling කියන වචනයට නිවැරදි අර්ථයක් දෙන සිංහල වචනයක් මම දන්නේ නැහැ. ඇත්තෙන්ම මෙය ප්‍රතිචක්‍රීකරණය (recycling) කියා හඳුන්වන්න බැහැ. මෙහිදී ඇත්තෙන්ම සිදුවන්නේ ඉවතලන දේවලට වැඩි වටිනාකමක් එක් කිරීමයි
මම මීට වසර 05කට ප්‍රථම මෙය ආරම්භ කළත් ලංකාවේ ඒ වෙනකොට මේ පිළිබඳ ඇති දැනුම මෙන‍්ම ඒ පිළිබඳ කතාබහ වෙන ප්‍රමාණයත් අඩුයි. අද වුණත් ඇඳුමක් ලස්සනට පෙනුමට බොහෝ විට මිලදී ගන්නා තත්ත්වයක් තමයි තිබෙන්නේ. ලංකාවේ ඇඳුමක් ගන්න විට හොඳ පෙනුම, එය ඇඟට ගැළපෙනවද, ඒ වගේම මිල කොහොමද යන කරුණුවලට වැඩි අවධානයක් දීලා තමයි ඇඳුමක් ගන්නවද නැද්ද යන්න තීරණය කරන්නේ. එහිදී එය පරිසර හිතකාමීද, නැද්ද යනාදී කාරණා පිළිබඳ සලකා බලන්නේ ඉතාම අවම වශයෙන්.
නමුත් වෙනත් රටවල මිනිසුන් ඇඳුමක් මිලදී ගන්නා විට ඊට වඩා ඒ පිළිබඳ උනන්දුවක් දක්වනවා. ඒ වගේම විමසීමක් කරනවා. මේ ඇඳුම මිලදී ගැනීමෙන් කාටද මම උදව් කරන්නේ. මේක හරි විදිහට හැදිලා තිබෙනවාද යනාදී දේවල් පිළිබඳ ඔවුන් සිතනවා. නමුත් අපි ආහාර ගැනීමේදී පමණක් පුළුල් ලෙස මෙවැනි කාරණා ගැන උනන්දුවක් දක්වනවා. කෑමක් කනකොට අපි එහි තෙල් තිබෙනවද, මෙය සකස් කර තිබෙන්නේ පිරිසිදු ආකාරයටද, කෑම හදන්නේ කොහෙද යන කාරණා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනවා. නමුත් අපි ඇඳුම් අඳිනකොට හා මිලදී ගන්නකොට ඒ ගැන හිතන්නේ නැහැ. විශේෂයෙන්ම ඇඳුමේ වර්ණක අපේ සමට හිතකරයිද යන්න පවා සිතනුයේ ඉතා ස්වල්ප පිරිසක්. දැන් ඒ පිළිබඳ යම් මට්ටමක අවදානයක් තිබුණත් මම ව්‍යාපාරය ආරම්භ කරපු කාලයේ මේ වගේ පසුබිමක් නොතිබුණ නිසා ව්‍යාපාරය පවත්වාගෙන යෑම ටිකක් අපහසු වුණා. ඒ නිසා මම එයට අමතරව සපත්තු, බෑග් වගේ දේවල්ද නිෂ්පාදනය කළා. ඇත්තෙන්ම ඇඳුම්වලටත් වඩා ඒ නිෂ්පාදනයන්ට ඉහළ ඉල්ලුමක් තිබුණා. ඊට අමතරව අලුත් අලුත් නිර්මාණ කරන්න පුළුවන් වුණා. මොකද අප්සයික්ලීන්වලින් කළ හැකි නිෂ්පාදනයන්ගේ සීමාවක් දක්වන්න බැරි නිසා. ඇත්තෙන්ම එයට අවශ්‍ය වන්නේ තමන් නිර්මාණශීලීව හිතන එක විතරයි. අද හම්බවෙන දෙයින් අද නිර්මාණයක් කරලා හෙට හම්බවෙන දෙයින් තවත් අලුත් නිර්මාණයක් කරන්න පුළුවන්. දවසින් දවස වෙනස් වෙන නිසා කාටවත් මෙය අනුකරණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි වසර පහක කාලයක් බාධක මධ්‍යයේ වුවත් සාර්ථකව මේ දක්වා මෙය කරගෙන එන්න හැකි වුණේ.
?වෙනත් රටවල්වල මෙවැනි නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙනවාද
ඔව්. ඇත්තෙන්ම බොහෝ විදෙස් රටවල මෙවැනි ඉවතලන බොහෝ දේවලින් ඵලදායී, ප්‍රයෝජනවත් දේවල් සිදුකර භාවිතයට ගැනීම දැකගන්න පුළුවන්. ඒවායින් සිදුකරන නිර්මාණ රැසක් ඒ රටවල වර්ගීකරණ රැසකින් දැකගන්න පුළුවන්.
අපේ නිෂ්පාදනවලට විදේශරටවල ඉහළ ඉල්ලුමක් තිබෙනවා. චීනය, ඉන්දියාව, බංග්ලාදේශය වගේ නෙමෙයි අපි නියමිත ගෙවීම් සිදුකිරීම ඉල්ලුම වැඩි වීමට එක් හේතුවක්. ඒ වගේම කර්මාන්ත ශාලා පරිසරයත් එයට බලපාන තවත් වැදගත් කාරණයක්. ආචාර ධර්මීය ක්‍රමවේදයන්ට නිෂ්පාදන සිදුකිරීමේදී ලංකාව ඉදිරියෙන්ම සිටින රටක්. බංග්ලාදේශ්වල එවැනි කර්මාන්තශාලා පරිසරයක් දැකගැනීමට අපහසුයි. ඒ වගේම බතික්, බීරළු, හෑන්ඩ්ලූම් වැනි නැති වී යන නිර්මාණ ක්ෂේත්‍රයන්වලට ලංකාව තුළ මේ වන විට අවස්ථාවක් ලබාදී තිබෙනවා. බොහෝ තරුණ විලාසිතා නිර්මාණශිල්පීන්ද එවැනි දේ කිරීමට පෙළෙඹිලා තියෙනවා.
ඒ වගේම සත්ව හම් හෝ ලේදර් භාවිතා නොකර විලාසිතා නිර්මාණකරණයට අද වන විට ලංකාව පත් වී තිබෙනවා. ඇතැම් නිෂ්පාදන සන්නාම එවැනි දේ පිළිබඳ විශේෂ අවධානයක් දක්වනවා. මගේ නිෂ්පාදන මිලදී ගන්නා විට වුවත් ගැනුම්කරුවන් ඒ පිළිබඳ විමසන අවස්ථා තිබෙනවා.
?වෙනත් රටවලට වඩා ලංකාවේ මේ ක්ෂේත්‍රයේ අඩු වර්ධනයක් තිබෙන්නේ ඇයි
අපේ සමාජයේ පුරුද්දක් තිබෙනවා ඇඳුමක් වුණත් එයින් උපරිම ප්‍රයෝජනයක් ලබාගන්න. අක්කගෙන් නංගිට, නංගිගෙන් තවත් නැදෑ යෙහෙළියෙක් ඒවා භාවිතයට ගන්නවා. ඒ නිසා අපේ රටේ ඇඳුම් විසි කරනවා කියන එක හරිම අඩුවෙනුයි සිදුවෙන්නේ. ඇඳලා අවසානයේ පිස දමන රෙද්දක් හැටියට හරි පාවිච්චි වෙනවා. නමුත් ඒ අතර සාරිවලින් සකස් කළ බොහෝ ඇඳුම් විලාසිතා දකින්නට තිබෙනවා. විධිමත් ව්‍යාපාරයක් ලෙස පුළුල්ව පැතීරි නොගියත් ලංකාවේද මේ කර්මාන්ත ක්ෂේත්‍රයේ යම් පැතිරීමක් ඒ නිසා හඳුනාගන්න පුළුවන්. නමුත් විදෙස් රටවල එය වෙනම සංකල්පයක්, කලාවක්, කර්මාන්තයක් ලෙස ප්‍රචලිත වෙලා තිබෙනවා. මොකද ඒ රටවල්වල අඳින ඇඳුම් ඉවත දමන එක විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මොකද ඔවුන් ඉක්මනින් නව විලාසිතාවක් වැලඳගන්නා නිසා. ඒ නිසා ඔවුන් බොහෝ වේලාවට තුන්වන ලෝකයේ රටවලට සුළු මුදලකට ඒවා බෙදා හරිනවා.
?ඉවතලන දෙයින් වුවත් පාරිභෝගිකයාට හොඳම දෙයක් දීමට ඔබ සිතනවාද
මම හැමවේලාවකම නිර්මාණාත්මක දෙයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් ලෙසින් සාක්කුවක් කර්මාන්ත ශාලාවකින් කුමක් හෝ හේතුවක් නිසා ඉවත දැමුවත් අපි එය හදපු කෙනාට සාධාරණයක් වෙන්න ඕනෑම තැනක ගෙනයන්න පුළුවන් සාක්කු කවරයකින් ආවරණය වූ පොතක් හදලා තිබෙනවා. එය ඕනෑම තැනකට පහසුවෙන් ගෙන යා හැකි දෙයක්. මේ නිර්මාණ කිරිමේදී අප බොහෝ දේ පිළිබඳ අවධානය දැක්විය යුතුයි. මුද්‍රිත එකක් හෝ මසා තිබෙන එකක් නම් කොහොමද තමන්ගේ නිෂ්පාදන සඳහා එය නිර්මාණාත්මකව භාවිත කරන්නේ කියා අපි සිතන්න ඕන.
?ඉදිරියේදී මොනවගේ දේවල්ද කිරීමට අපේක්ෂා කරන්නේ
ඉදිරි වසර දෙකක පමණ කාලයක් යනතෙක් මම අපේක්ෂා කරන්නේ අපනයනය අංශය වැඩි කරගැනීම සඳහා කටයුතු කරන්නයි. ඇත්තේන්ම ලංකාවේ මේ සඳහා තිබෙන වෙළෙඳ පොළ ඉතාමත්ම සීමිතයි. ලංකාවෙන් මෙවැනි දෙයක් කරනවා යන්න අපි විදේශිකයන්ට හැඟවිය යුතුයි. පාරිභෝගිකයා මෙන්ම මගේ යටතේ සේවය කරන සේවකයනුත් මේ සම්බන්ධයෙන් අභිප්‍රේරණය කළ යුතුයි. එවිටයි මෙවැනි නිෂ්පාදනයක් බොහෝ කාලයක් පවතින්නේ. අනාගතයේදී මම අපේක්ෂා කරනවා එවැනි කාන්තාවන් එක්කර වෙනම සන්නිවේදන ජාලයක් සකස් කරන්න.
මට විලාසිතා නිර්මාණකරණය පිළිබඳ දැනුමක් තිබෙන නිසා කවදාවත් මේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවලින් ඉතිරි කර දමන රෙදිවලින් සකස් කරන ඒවා යැයි කියන්න බැහැ. ඇත්තෙන්ම ඉතිරිවන දේවලින් සකස් කරන නිසා නිර්මාණයෙන් නිර්මාණයට විලාසිතා වෙනස් වෙනවා. මේ නිසා ඇත්තෙන්ම ඇඳුම්වලට විශාල කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. අපේ නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට ඒ ඉතිරිවන රෙදි කැබැල්ලෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අපි පුරුදුවෙලා තිබෙනවා. ඇඳුම් මහලා ඉතිරිවන රෙදි කැබලි, සපත්තු, පොත් ආදිය මහන්න යොදා ගන්නවා. මම විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වුණාට මම දන්නවා මට කවදාවත් කාර්යාලයක් ඇතුළේ පුටුවක වාඩි වෙලා වැඩ කරන්න බැහැ කියලා. මම ඇත්තෙන්ම කැමති දේවල් හොයාගෙන ගිහින් ඒ අනුව නිර්මාණ සිදු කරන්නයි.
?ලංකාවේ තරගකාරී ඇඟලුම් ක්ෂේත්‍රයේ ඔබේ ව්‍යාපාර කටයුතු වර්ධනය කරගන්නේ කොහොමද
ලංකාවේ ඇඳුම්වලට ලොකු වෙළෙඳ පොළක් සකස් වී තිබෙනවා. ඒ නිසා නොයෙක් නොයෙක් සන්නාම යටතේ ඇඳුම් රැසක් වෙළෙඳ පොළ තුළට නිකුත් වෙනවා. ඒ නිසා මගේ ඇඳුම්වලට මිනිස්සු යොමු කිරීම අපහසු වුණා. නමුත් පාරිභෝගිකයාට මෙය ගෙන ආවේ ඒ හා බැඳුණු කතාවත් එක්ක. මෙය හදන්න මහන්සි වෙන දිරිය ගෘහණියන් මේ සෑම රෙදි කැබැල්ලකටම දෙන වටිනාකමේ අගය කියාදෙමින්. විදෙස් රටවලට අපනයනය කිරීමේදී ඒ මිනිස්සු ඒවා තවත් අගේ කරනවා.
ඇත්තෙනම මෙය සල්ලි තියෙන පුද්ගලයන්ට විතරක් කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙමෙයි. ඇත්තෙන්ම වස විසෙන් තොර කෑමක් හදන්න නම් වැඩි මුදලක් වියදම් කරන්න අපිට සිද්ධවෙනවා. නමුත් මේ ව්‍යාපාරයට එවැනි වැඩි මුදලක් වැය වෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම මට්ටක සිටින අයෙකුට වුවත් මෙවැනි ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහි වැයවන්නේ මිනිසුන්ගේ මුදලට වඩා නිර්මාණාත්මක ශ්‍රමයයි. මම පොත් වගේ දේවලුත් නිර්මාණය කරනවා. සමාන්‍යයෙන් පොතක් රුපියල් 650ක් වගේ මුදලක් වෙනවා. මගේ ඇඳුම් සමාන්‍යයෙන් මිලදී ගන්නේ අවුරුදු 30න් ඉහළ අය. නමුත් පොත්, සපත්තු හා බෑග් වැනි දෑ බහුතරයක් මිලදී ගන්නේ පොඩි අය. අප සතුව තරුණ තරුණියන්ටත් බෑග්, සපත්තු වැනි දේවල් තිබෙනවා. මගේ නිෂ්පාදනවල බොහෝ විට එක් විලාසිතාවකින් නිර්මාණය වන්නේ එක් භාණ්ඩයක් පමණයි. තමන්ට කුමන ස්ථානයක සිටියත් තමන්ගේ බෑග්එක වෙන කොහේවත් දකින්න නැහැ. තරුණ අය මෙම නිෂ්පාදනවල සකස් කිරීම වටා ගෙතුණු කතාවට වඩා පෙනුමටයි මිළදී ගන්නේ.
?මේ ක්ෂේත්‍රයේ ඔබට ඇති න්‍යායාත්මක දැනුම පිළිබඳ කතා කළොත්
මම කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඒ වගේම මම උසස් අධ්‍යාපන කටයුතු සිදුකළේ නෝතම් විශ්වවිද්‍යාලයේ. එහිදී %academy of disaine^හි උපාධිය හදාරන්න මට හැකි වුණා. මම දැනට %academy of disaine^ හි දේශකවරියක් වශයෙන්ද කටයුතු කරනවා. එවගේම අවුරුදු 07ක් තිස්සේ මම විලාසිතා ප්‍රදර්ශන සඳහා සහාභාගි වී තිබෙනවා. ඒ වගේම එංගලන්තය ආදී රටවල් රැසකද විලාසිතා ප්‍රදර්ශන පවත්වා තිබෙනවා.
?ඔබගේ මෙවැනි නිර්මාණාත්මක නිෂ්පාදනයන් පිළිබඳ ලැබුණු අගේ කිරීම පිළිබඳ කතා කළොත්
මම ඇඟලුම් ක්ෂේත්‍රෙය් අයත් එක්ක මේ ව්‍යාපාරය සිදුකිරීමට අවශ්‍ය නිසා ඇත්තෙන්ම මේ ලබාගත් ඇගයුම් සම්මාන ඉතා වැදගත් වුණා. ඒ වගේම මගේ නිෂ්පාදනයන්ට හොඳ පිළිගැනීමකුත් ඒ ඔස්සේ හිමිවුණා. මට මේ වන විට සම්මාන රැසක් හිමිවී තිබෙනවා.
?මේ සම්බන්ධ ඔබ දැන් දීපව්‍යාප්තව නොයෙක් මට්ටමින් වැඩමුළු පවත්වා තිබෙනවා. ඒ පිළිබඳ කතා කළොත්
මම මේ ව්‍යාපාරය ආරම්භ කරන විට අපිසයික්ලීන් කියන්නේ කුමක්ද කියා කවුරුත් දැන සිටියේ නැහැ. ඒ නිසා නොයෙක් වැඩමුළුවලට සහාභාගි වී, නොයෙක් පාසල්වල වැඩසටහන් පවත්වා, සමුපකාර සමාගම්වල පිරිස්වලටත් මේ සම්බන්ධ දැනුවත් වීම් කරන්න මට පුළුවන් වුණා. ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඇති සුලබත්වය නිසා කවුරුත් ඇඳුමක් ගන්නාවිට අපි වැඩි වශයෙන් සිතන්නේ එහි සමාගම හෝ ආයතනය ගැන විතරයි. දැන් වුණත් ටයි කෝට් පැලඳගෙන සිටින අය අඩුයි. දැන් ඒ විලාසිතාව ටිකෙන් ටික වෙනස් වෙමින් පවතිනවා. දැන් නැවතත් බතික්, හෑන්ඩ්ලූම් වැනි දේ සඳහා වෙළෙඳ පොලේ ඉල්ලුමක් පවතිනවා.
මම පාසල්වල වැඩමුළු පැවැත්වීමේදී ළමයින්ට පරණ ඇඳුමක් රැගෙන එන ලෙස පවසා එයින් ළමයාට හරි අම්මට හරි කුමක් හෝ ඵලදායී දෙයක් නිර්මාණය කරන්න පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම මම නොයෙක් ආයතන හා සමාගම් හා එක්ව මෙවැනි වැඩසටහන් සිදුකරනවා. ඇත්තෙන්ම අපි මීළඟ පරම්පරාවත් ඒ පිළිබඳ දැනුවත් කරන්න ඕන.
ෂෙහානි දිල්රුක්ෂිකා