ඇමෙරිකාව ජයගත් ශ්‍රී ලාංකේය කතක්


මුල්කාලයේ විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ ඉහළම රැකියාවන් රැසක් කළද, පසුව තමාගේම අවන්හලක් ආරම්භ කළ ඇය තමාගේ පාරිභෝගිකයන් හට ලබාදෙනුයේ රසයෙන් ගුණයෙන් පිරි කාබනික ආහාරය. එය හුදෙක් මුදල් ඉපයීමම අරමුණක් කර නොගත් ඇයගේ කැපවීම හා උත්සාහය හේතුවෙන් කැලිෆෝනියාවේ සැන්ටක_ස්වල පිහිටි හොඳම අවන්හල හා ඇමෙරිකාවේ විශිෂ්ටම කාබනික සූපවේදිනිය වීමටද ඇයට හැකි විය.  එමෙන්ම ලාංකේය රසයට ගැළපෙන වයින් එකක් නිර්මාණය කළ ලොව ප්‍රථම කාන්තාවද ඇය විය. මෙවැනි සම්මාන, ඇගයුම් රැසක්ද සමග බාධක හමුවේ නොසැලෙමින් මේ දක්වා පැමිණි ගමන පිළිබද  ඇය 'අද' හමුවේ දැක්වූයේ මෙවැනි අදහසකි. 


මහනුවර ප්‍රද්ශයේ ඉපදුණ මම විවාහයෙන් පසුව ඇමෙරිකාවේ පදිංචියට ගියා. මගේ මහත්තයා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. ඔහුගේ වෘත්තිය අනුව ලෝකයේ සෑම රටකම සංචාරය කරන්න අවස්ථා හිමි වෙනවා. ඒ නිසා මමත් ඇමෙරිකාව හා අනෙක් රටවල්වලත් සංචාරය කරන්න අවස්ථාව ලබන්න තරම් වාසනාවන්ත වුණා. විශේෂයෙන්ම රැකියාවක් කරන්න ඕන කියන දෙය මට තිබුණේ නැහැ. මගේ මහත්තයත් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. දිනක් කැලිෆෝනියාවේ පදිංචියට ගිය අලුත මගේ ඥාති සොහොයුරෙකුගේ යාළුවෙක් සමග ෂොපින් කරන්න යන්න මට අවස්ථාවක් උදා වුණා.

ඇය ගියේ ප්‍රංශයේ පැවැත්වෙන ෆැෂන් ෂූට් එකක් සඳහා ඇඳුම් මිලදී ගන්නයි. ඇය ඒ රටේ නිළියක්. ඇය බෙවලහීල්වල තිබෙන නළු නිළියන් ඇඳුම් ගන්නා ස්ථානයට මාව එක්ක ගියා. ලක්ෂ ගණන් මිල අධික වූවත් ලස්සන ඇඳුම් එහි තිබුණා. මම ඇයට අවශ්‍ය ඇඳුම් තෝරා ගන්න උදව් කළා. එය දුටු ආයතන ප්‍රධානියා මට ෆැෂන් ගැන දැනුමක් තිබෙන බව පවසා එහි රැකියාවකට ආරාධනා කළා. මගේ මහත්තයත් අකමැති නොවුණ නිසා මම රැකියාවට පැමිණියා. ඔහුට අයත් අනෙක් කඩ සාප්පු සියල්ලගේත් වැඩකටයුතු නිසි අයුරින් කරන්න ඔහු මට අවශ්‍ය සියලු දැනුම ලබාදුන්නා. ඔහු නොමැති අවස්ථාවල මම ඒ සියල්ල මැනවින් කළමනාකරණය කළා.

ඒ සඳහා ඔහු මට ඉහළ වැටුපක් ලබා දුන්නා. අදටත් මගේ ව්‍යාපාරය තුළ ඔහු ලබාදුන් දැනුම භාවිතයට ගන්න අවස්ථා එමටයි. පසුව මම තවත් උසස් ගණයේ මෝස්තර විලාසිතා ආයතනයන් කිහිපයකම සේවය කළා. ඔවුන් සියලුම දෙනා මට ආකර්ශනීය වැටුප් ලබා දුන්නා.
මොන වෘත්තියක් කළත් මම පොඩිකාලේ ඉඳළම ස්වාභාවික වස විසෙන් තොර එළවළු පලතුරු කාලා පුරුද්ද තිබුණ නිසා මම ඇමෙරිකාවේදී වුණත් එවැනි ආහාර අනුභව කිරීම අමතක කළේ නැහැ. නමුත් මම සේවය සඳහා එනකොට ගෙදරින් කෑම කන්න ගෙනාවේ නැතිනම් මෙහේ එහෙම කන්න තැනක් හොයා ගන්න අපහසුයි. සුපිරි අවන්හල් පිරිලා තිබුණත් එහෙම කාබනික ආහාර විකුණන අවන්හලක් සොයාගන්න අපහසුයි. 

එහි කාබනික එළවළු, පලතුරු විකුණන සුපර්මාකට් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ කරා පැය ගාණක් ඇවිද ආවත් එහි සකස් කළ කෑම වේලක් ගන්න තැනක් නැහැ. ඒ කාලයේම  සීයට සීයක් කාබනික බීම අලෙවිසැලක් මගේ ආයතනය අසල විවෘත කළා. ඒ සමග ඔවුන් කාබනික, වසවිසෙන් තොර පොඩි චිකන් සැන්විච් එකකුත් දෙනවා. දැනට අවුරුදු 10ට කලින් වුණත් ඒක විතරක් මිලදී ගන්න ඩොලර් 24ක් මට වැය වුණා. මගේ යාළුවොත් මට බණිනවා මෙච්චර මුදලක් කෑමවලට වියදම් කරන්නේ  ඇයි කියලා. නමුත් වැඩි කුලී ගාස්තුවක් මසකට අයකිරීම දරාගත නොහැකි බීමහල් හිමියා කෙටි කාලයකින් එය වසා දැමුවා. ඇත්තෙන්ම ඒ වෙලාවේ මට හිතුණා සීයට සීයක් කාබනික ආහාර කන්න පුළුවන් තැනක් තිබුණොත් මිනිස්සු කොච්චර අගේ කරයිද කියලා. 

මම හැමදාම උදේට භාවනා කරන කෙනෙක්. ඒ නිසා මගේ හිතට දැනෙන දේවල් 100%ක් මම විශ්වාස කරනවා. මගේ ඥාති සහෝදරයෙකුගේ හිතවතෙකුගේ මාර්ගයෙන් සැන්ටකෘෘස්වල අවන්හලක් මිලදී ගන්න හැකිවුණා. නමුත් මම මිලදී ගත් අවන්හල මා ප්‍රාර්ථනා කරන සුන්දර අවන්හල බවට පත්කරන්න වෙනස්කම් රැසක් කරන්න මට සිදු වුණා. මේ අවන්හල මිලදී ගත්තේ මම කැපකිරීමෙන් මහන්සියෙන් හම්බකරපු සල්ලි නිසා ඒ වෙනුවෙන් උපරිමයක් කරන්න මම උත්සාහ කළා. අවසානයේ මම කැමති ආකාරයට එය අලංකාර කර ගන්න හැකි වුණා. හොඳ චේතනාවෙන් දෙයක් පටන් ගත්තම මුළු විශ්වයේම ශක්තිය අපට ලැබෙනවා. මට මේ අවන්හලේ වැඩ කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම වගේ මගේ සමීපයටම පැමිණියා.

ඒ නිසා ඒ කටයුතු සියල්ල මට ඉතා හොඳින් සිදුකරන්න හැකි වුණා. අවන්හලට මා හිතුවටත් වඩා වැඩි මුදලක් වැය වුණ නිසා අවන්හලේ ලෝගෝ එකේ සිට එයට අවශ්‍ය තිර රෙදි, මේස රෙදි යන සෑම දෙයක්ම සෑදුවේ මම. මට හොඳට මහන්න පුළුවන්. ඒ වගේම මේ අවන්හලට සේවකයන් අවශ්‍ය නිසා මමයි මගේ මහත්තයයි දෙන්නම එකතු වී සම්මුඛ පරීක්ෂණයට පැමිණි අයව තෝරා ගත්තා. ඔවුන් අද වනතුරුත් ආදරයෙන් මගෙත් එක්ක පවුලක් වගේ එකතුව වැඩ කරනවා. 

මම හැමදේම හොඳට සැලසුම් කළා. මම හැම දෙයක්ම නියමිත කාල කළමනාකරණයකට කරන කෙනෙක්. මගේ ඒ අවන්හල සම්පූර්ණ කර පසුව මම ලංකාවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කෙරෙව්වා. අවන්හල විවෘත කිරීමටත් ප්‍රථම අලුයම තමයි ඒ බුද්ධ ප්‍රතිමාව අවන්හලට වැඩම කරවූවේ. එයට වැඳ නමස්කාර කර මෙය ඇමෙරිකාවේ හොඳම කාබනික අවන්හල බවට පත් වේවා කියා මම ප්‍රාර්ථනය කළා. මගේ අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන් පවා ඒ බුදු පිළිමෙට තියන්න මල් පවා ගෙනවිත් දෙන තරමට මගෙත් සමග සමීපයි. මම කොතරම් කාර්යබහුල වුණත් ඔවුන් ඉදිරියට පැමිණ ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් හදවතින්ම සුබ පතන පුරුද්දක් මට තිබෙනවා. 

මගේ අවන්හලේ සම්පූර්ණයෙන්ම ලාංකීයත්වය ඉස්මතුවන අාකාරයෙන් සෑම දෙයක්ම සකස් කර තිබෙනවා. මගේ අවන්හලට පැමිණෙන සෑම දෙනෙක්ටම මම ලංකාවේ සුන්දරත්වය ගැන කියනවා. මම අවන්හලේ මෙනු පතේ වුවත් ලංකාවේ සුන්දරත්වය විදහාපාන ඡායාරූප ඇතුළත් කර තිබෙන්නේ ඒ නිසයි. එය මගේ සහෝදරයාගෙන් මට ලැබුණ තෑග්ගක්. මම මේ ආහාරය ආදරයෙන් පිළියෙළ කරන්නේ. මම මේ වැඩේට ආසයි. මිනිස්සු අපි වෙත එන්නේ අපි කෑම ආදරයෙන් උයන නිසා යන සිතුවිල්ල තමයි මම නිතරම මෙනෙහි කරන්නේ. මගේ ළඟ වැඩ කරන ළමයින්ටත් ඒ සිතුවිලි මම පුරුදු කරනවා. අපි අවන්හල ආරම්භ කිරීමට ප්‍රථම හැමදාම ප්‍රාර්ථනයක් කරන්න මම අමතක කරන්නේ නැහැ. 

පාරිභෝගිකයන්ට මගේ අවන්හලේ සංගීතය දුක්මුසු නොකර ධනාත්මක ඒ වගේම සතුටක් ගෙනදෙන ගීත තමයි මම අසන්නට සලස්වන්නේ. මේ අවන්හලේ පිළියෙල කරන තේ කෝප්පය හෝ බීම වීදුරුව පවා සකස් කරනුයේ යහපත් වූ චේතනාවකින්. මෙහි තිබෙන සෑම පානයක්ම ඉතාම ගුණයි. ගොටුකොළ මේ රටේ හොයා ගන්න හරි අමාරුයි. නමුත් එයින් සකස් කළ ගොටුකොළ තේ, ගොටුකොළ සුප් පවා අපේ අවන්හලේ තිබෙනවා. චීන, ජපන් වෙළෙඳපොළවල්වල ගොටුකොළ හැදුවත් ඔවුන් ඒවා කාබනික ලෙස සකස් කරන්නේද යන්න නිශ්චිතවම කියන්න බැහැ. ඒ නිසා මම ඒවා මිලදී ගන්නේ නැහැ. මම භාවිත කරන සියලුම දේවල් කාබනික ලෙසින් සකස් කරගත් සීයට සීයක් පිරිසිදු ඒවා නිසා මම කාබනික නොවන එළවළු පලතුරු ගන්න යොමු වෙන්නේ නැහැ. ඇත්තෙන්ම මම මේ අවන්හල ආරම්භ කළේ පන්සලක් හදනවා වගේ බොහෝම පවිත්‍ර වූ සිතුවිල්ලකින්. එය හැමදාම මගේ සිතේ තිබෙනවා.  

මට අවශ්‍ය එළවළු හා පලතුරු ආදී සෑම දෙයක්ම මිලදී ගන්නේ කැලිෆෝනියාහි පිහිටි හොඳම කාබනික ගොවිපොළට සෑම වර්ෂයකදීම සම්මාන දිනා ගන්නා එළවළු වෙළෙඳ පොළෙන්. මම ලංකාවේ එළවළු වර්ග ඉල්ලුම් කළාම ඒ දේවල් ගොවීන් ආශාවෙන් මට හදලා ගෙනවිත් දෙනවා. රාබු, නෝකොල්, කරවිල හා වැටකොළු, තලන බටු, මෑ කරල් ආදිය මම ලබා ගන්නේ ආසියානු ගොවියෙකුගෙන්. දේශීය එළවළු මිලදී ගන්නා ඔවුන්ගේ එකම පාරිභෝගිකයා මම. මම බඩු ගන්න එළවළු මාර්කට් එකට යන විට මට එළවළු ලබා දෙන ගොවීන් කැමති ආහාර පවා පිළියෙල කරගෙනයි යන්නේ. ඇතැම් විශේෂ දිනවලදී මම ඔවුන්ට ඇඳුම් පවා තෑගි කර තිබෙනවා. ඒ නිසා ඔවුන් මාව සලකන්නේ ඔවුන්ව රැකබලා ගැනීමට පැමිණි ලස්සන කාන්තාවක් කියායි. ඔවුන් මම එළවළු මිලදී ගන්න යන සෑම අවස්ථාවකම ඒ බව පවසනවා. ඔවුන් මා එනතුරු මග බලා සිටිනවා. මගේ අවන්හල ආරම්භ කර අද වන තුරුත් ඒ ගොවීන් සියලු දෙනා සමග තිබෙන්නේ පුදුමාකාර සමගියක්.

දිනක් සවස් කාලයේ අවන්හල වසා දමන්න ඔන්න මෙන්න තියලා කාන්තාවක් අපේ අවන්හලට ආවා. එදා මම විතරයි අවන්හලේ සිටියේ. මගේ සේවකයන් සියල්ල අවන්හල අස් කරලා යන්න ගිහින්. නමුත් මගේ පාරිභෝගිකයා හරවලා යවන්න මට කොහොත්ම බැහැ. ඇත්තෙන්ම ඇය කියූ පරිදි ඇයට අවශ්‍ය දේවල් මම පිළියෙල කර දුන්නා. අවසානයේ ඇය අවන්හලේ ලස්සන ගැන කියලා යන්න ගියා. ඉන් පසුවදා අපි වෙනදා මෙන්ම ප්‍රාර්ථනා කර අවසානයේ අවන්හල විවෘත කරා. එදින මිනිස්සු පෝලීම් ගැහිලා රැස්ව සිටියා. වාහන අංගනය වාහනවලින් පිරී තිබුණා. එදා හරියට ලංකාවේ සමූපකාර පොළක් තියෙනවා වගේ. දුරකථනයත් නොනවත්වා නාද වුණා. එදින මගේ සිහිනය සැබැවුණා කියලා විතරයි මම දැනන් සිටියේ. ඒ මිනිස්සුත් එක්කම දුගී අසරණ මනුස්සයෙක්ද ආවා. මම ඔහුවත් වෙනත් මිනිසුන් වගේම සාදරයෙන් පිළිගත්තා. ඔහුගේ අතේ තිබුණු පත්තරේ මුල් පිටුව දැකලා මට පුදුම හිතුණා. අර දවසක් මම තනියම ඉන්න විට පැමිණි කාන්තාව ඇමෙරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක්.

ඇය මගේ අවන්හල ගැන ඉතා අවංකවම ලියා තිබුණා. ඇය, සතුටෙන් මේ තරම් ලස්සනට කෑම හදන  සැන්ටක_ස්වලට පැමිණි මැණිකක් ලෙසයි මේ අවන්හල  පිළිබඳ සඳහන් කර තිබුණේ. ඒ විදිහට මගේ ප්‍රාර්ථනාව ඉටුවෙලා අවන්හලට ලොකු ප්‍රසිද්ධියක් ඒ ඔස්සේ හිමිවුණා. මම අදටත් සිතන්නේ ඇය මා වෙත දෙවියන් එවූ සුරංගනාවියක් කියලයි. මගේ අවන්හලට මේ පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍යවරු ආදී බොහෝ දෙනෙක් ආහාර අනුභව කරන්න පැමිණෙනවා. නමුත් මම ඔවුන්ව නම්වලින් හඳුනන්නේ නැහැ. 2010 වර්ෂයේ සෞඛ්‍ය අතින් ඉහළම අවන්හලට හිමි සම්මානයද මට හිමි වුණා. මම ඒ සම්මාන උළෙලේදී තමයි ඔවුන් හඳුනගත්තේ. 

මේ අවන්හලේ මිනිස්සු පානය කර ඉතිරිවන වතුර මගේ අවන්හල ඉදරියේ ඇති මල්වලට දමනවා. කපන එළවළුවල එළවළු කැබලි ගොවීන්ට නැවත එකතු කර දෙනවා ඔවුන්ගේ කොම්පෝස්ට් පොහොර සකස් කර ගැනීම සඳහා. ඉතිරිවන තෙල් ජීව වායු සකස් කර ගැනීම සඳහා ගොවීන්ට ලබා දෙනවා. බියර් බෝතල් එකතු කර ඇමෙරිකාවේ ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන මධ්‍යස්ථානවලට ගෙන ගොස් දෙනවා. ඒ ලැබෙන මුදල් මම වෙනමම ඉතිරි කරනවා පාසල් ළමුන්ට උදව් කිරීම සඳහා. මගේ අවන්හලට ගෙනෙන බීම බට, ඇසුරුම් පෙට්ටි යන සෑම දෙයක්ම ජෛව හායනයට ලක්වන දේවල්. පරිසරයට අහිතරකර කිසිම දෙයක් මම භාවිත කරන්නේ නැහැ. ඒ නිසා මට හොඳම අවන්හල, සෞඛ්‍යමය අවන්හල වගේම 2016 වර්ෂයේ හොඳම ව්‍යාපාර උපක්‍රම භාවිත කරන අවන්හල බවට පත් වෙන්න හැකිවුණා. ඒ වගේම 2014 වර්ෂයේ ලෝක ප්‍රසිද්ධ සංචාරකයෙක් පැමිණ ආහාරවල ඉහළ ප්‍රමිතිය නිසා මෙය තරුපහේ හෝටලයක් ලෙස ශ්‍රේණිගත කර ගියා. ඔහු මුළු ලෝකයේම සංචාරය කර අවන්හල් ශ්‍රේණිගත කරන කෙනෙක්. ඇමෙරිකාවේ සිටින හොඳම කාබනික සූපවේදිනියෙක් ලෙසද සම්මානයක් හිමි වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව මමයි. 

සූපවේදීන්ගේ සංගමය මගෙන් අහපු දෙයක් තමයි සිංහල ජනතාවක් නැති නගරයක ඇයි මේවගේ සිංහල අවන්හලක් දැම්මේ කියලා. නමුත් ඇමෙරිකාව වගේ රටක හොඳම සූපවේදිනියන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකා නාමය හා ධජය තිබෙන්නේ අද මම නිසා. වෙනකොට සීයට අධික ප්‍රමාණයක් පිළිකා රෝගීන් අද මගේ අවන්හලෙන් කෑම අනුභව කරනවා. ඒ සියල්ලගේ ආහාර පිළියෙල කරන්නේ මම. එයින් මට ලැබෙන සතුට මුදල්වලින් හම්බකරන්න මට කවදාවත් බැහැ. මේ වෙනකොට මගේ යටතේ ඇමෙරිකානු සේවකයන් දොළොස් දෙනෙක් වැඩ කරනවා. කෙටිකාලීන වශයෙන් සේවය කරන අය සිව්දෙනෙක් පමණ සිටිනවා. ඒ හැමෝම අතරින් මම තමයි ලංකාවේ සිටින එකම කෙනා. මගේ අවන්හලට අවශ්‍ය තුනපහ වර්ග පවා මම සකස් කරන්නේ. මම උයන්නේ මගේ අම්මා මට කියාදුන් කෑම වට්ටෝරුවලින්.

දැනට මගේ කෑම ඇමෙරිකාවේ ඉහළම කාබනික සුපර්මාකට්වලින් ඇණවුම් කරලා තිබෙනවා. මිනිස්සුන්ට උයන්න පහසු වෙන්න මම මගේම සෝස් වර්ග සකස් කර තිබෙනවා. කාබනික ආහාරවලින් ඇසුරුම් කළ එළවළු පලතුරු පෙට්ටියක් මල් බොකියකුත් සමග හැම සතියකම මගේ අවන්හලට පැමිණෙන අසරණ කෙනෙකුට දෙනවා. අදටත් කුරුඳු පොත්ත පවා මම ගෙන එන්නේ ලංකාවෙන්. මොකද ලෝකේ හොඳම කුරුඳු එන්නේ ලංකාවෙන් නිසා.

අවන්හල ආරම්භ කර ටික කාලයක් යනවිට මම සිතුවා ලංකාවට අවේණික වයින් එකක් හදන්න ඕන කියලා. ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ වයින් නිෂ්පාදනය කර වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ලෝක ප්‍රසිද්ධ සනෝමා නාපාවැල්ලට මගේ අදහස කිව්වා. ඔහු අපේ දේශීය කෑම වර්ග පිළිබඳ පරීක්ෂණ සිදුකර වසර 04ක් යනකොට මට මගේම කියලා වයින් නිෂ්පාදනයක් මගේ ආදරණීය පාරිභෝගිකයන්ට පිරිනමන්න හැකිවුණා. මේ නිසා ඇමෙරිකාවේ සිට ලංකාවට ගැළපෙන වයින් එකක් නිෂ්පාදනය කළ එකම කාන්තාව මමයි. ඒ වගේම වයින් බෝතලයකට මගේ රූපය එක්කරමින් කාන්තාවකගේ රුවක් වයින් බෝතල් ලේබලයට එක්කළ ප්‍රථම කාන්තාවත් මම වුණා. ඒ පිළිබඳ මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඉතින් ඉදිරියේදී මම අදහස් කරනවා දේශීය කෑමවලට ගැළපෙන ඒ මගේ වයින් එක ලංකාවට හඳුන්වා දෙන්න. ලංකාවේ සංචාරක කර්මාන්තයටත් එය මහත් පිටුවහලක් වේවි.

සිතූ පැතූ සෑම සිහිනයක්ම සැබෑ කරගන්න තරම් මම වාසනාවන්තයි. ඒ සියල්ල මා හිමි කරගත්තේ මගේම මහන්සියෙන් හම්බකරගත් මුදල්වලින්. ඒ නිසා අද මම සිටින තැන ගැන බැලුවහම මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ සෑම දෙයක් පිටුපසම මගේ සෙවණැල්ල සේ අදටත් මම ළඟින් සිටින මගේ ආදරබර සැමියටත්, මේ තැනට පැමිණෙන්න ශක්තිය ධෛර්ය දුන් දෙමවුපියන්ටත් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් නිබඳ සහයෝගයක් මට ලබා දෙන මල්ලී රවීන් කරුණාසේන සහ නංගිලා දෙන්නා රසාංති හා ලක්මිනීටත් පවුලේ සැමටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ අවන්හලේ කළමනාකරු කෝට්නි හෙරන් විශේෂයෙන්ම සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම මිල්පිටස් බෞද්ධ විහාරයේ ශාන්ත හාමුදුරුවන් වහන්සේ, බුද්ධික, ඉන්දික, ජෙසි ලූනා, ජෙනි කොලින්ස්, දිනේෂ් ඩොන් යන අයටත් මගේ විශේෂ ස්තූතිය පුදකරන්න මම කැමතියි. මම ඉදිරියේදී අපේක්ෂා කරනවා මෙවැනි පර්ල් ඔෆ්ද ඕෂන් අවන්හල් ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 තුළම ආරම්භ කර පසුව මුළු ලෝකයටම ව්‍යාප්ත කරන්න. 

ෂෙහානි දිල්රුක්ෂිකා

pearl of the ocean



Recommended Articles