ආහාර අපවිත්‍ර වෙන විවිධ ක්‍රම


ආහාර වුවද අපවිත්‍ර වන අවස්ථාවන් බහුලය. විශේෂයෙන් නිවසෙන් බැහැරව පිසින ආහාර බොහෝවිට අපවිත්‍ර වීමේ අවදානමක් පවතී. එසේම අප නොදැනුම්වත්ව සිදුකරන පිසීමේ ක්‍රියාවලියේ වැරදීම් හේතුවෙන්ද ආහාර අපවිත්‍ර විය හැකිය. අපවිත්‍ර ආහාර අනුභවය හේතුවෙන් ලෙඩරෝග ඇතිවිය හැකිය. මේ එම රෝග වළක්වා ගැනීම සඳහා ගෙනෙන සටහනකි.


බැක්ටීරියා, වෛරස හා විවිධ දිලීර වර්ග ඇතුළු නොයෙකුත් ක්ෂුද්‍ර ජීවීන් මගින්ද, ආහාර පිළියෙල කිරීමේදී මිශ්‍රවන විවිධ අහිතකර ද්‍රව්‍ය හේතුවෙන්ද, ආහාර නිෂ්පාදනයේදී අදාළ නිෂ්පාදන ආහාරයට ගැනීම නුසුදුසුවීම සිදුවේ. ලෝහ භාජන භාවිතය, එම භාජනවල ඇඹුල් සහිත ආහාර පිසීම හා වගාවන්ට යොදන කෘමි නාශකගතවීම හේතුවෙන් වකුගඩුවලට අහිතකර බලපෑම් ඇතිවේ.

මීට අමතරව ආහාර නිෂ්පාදනයේදී නිෂ්පාදකයන් හා වෙළෙන්දන් විසින් සිදුකරන විවිධ අක්‍රමිකතා හේතුවෙන් ආහාර අපවිත්‍ර වේ. මාළු නරක්වීම වැළැක්වීම සඳහා ෆෝමලීන් එකතු කිරීම, භාවිතයට නුසුදුසු වර්ණක ඇතැම් ආහාරවලට එකතු කිරීම, ආහාර රස ගැන්වීම සඳහා සැකරීන් වැනි රසකාරක යොදා ගැනීම, කහකුඩු සමග දහයියා කුඩු මිශ්‍රකිරීම හා නැවුම් කිරිවල ඝනත්වය වැඩි කිරීම සඳහා යූරියා එකතු කිරීම වැනි ක්‍රියා ඉන් සමහරකි.

එළවළු සහ පලතුරු

ඔබගේ ගෙවත්තෙන් නැවුම් එළවළු හා පලතුරු ලබාගත හැකි නම් එය වඩා ආරක්ෂාකාරී වේ. හැකි සෑම විටම නැවුම් එළවළු සහ පලතුරු පමණක් මිලදී ගන්න.
ආහාර පිළියෙල කිරීමට පෙර එළවළු සහ පලාවර්ග කිහිපවරක් හොඳින් ජලය යොදා සෝදා පිරිසිදු කළ යුතු අතර, එමගින් විෂබීජ හා රසායනික ද්‍රව්‍ය ඉවත් වේ. පලතුරු කෑමට පෙර සබන් යොදා හොඳින් සෝදා ගැනීම හා සුදුසු පලතුරුවල පිට පොත්ත ඉවත් කර ආහාරයට ගැනීම සුදුසුය.

මාළු

මත්ස්‍ය ආහාර ඉක්මනින් නරක්වීමේ හැකියාව පවතින බැවින්, අලුත් මාළු පමණක් මිලදී ගත යුතුය. මාළුවාගේ ඇස් බොඳවීමෙන් තොරව පැහැදිලිව දීප්තිමත්ව තිබිය යුතු අතර, කොරපොතු සහ සම දීප්තිමත් ස්වභාවයෙන් යුතු විය යුතුය. මාළුවාගේ සිරුර ඇඟිල්ලෙන් එබීමේදී ඇතුළට එබීමක් නොමැතිව තද ගතියකින් යුක්ත විය යුතුය. මාළුවාගේ කරමල් දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත වීම සහ මාළු කැපීමෙන් අනතුරුව, මස රතු පැහැයට පෙනේ නම් එමගින් අලුත් මාළු හඳුනාගත හැකිය.

මස්

දීප්තිමත් රතු හෝ රෝස පැහැයෙන් යුතු, අතින් ඇල්ලූ විට ලිස්සන හෝ සෙවල ස්වභාවයක් නොමැති මස් පමණක් ආහාරයට සුදුසුය. ශීතකරණ තුළ මස් දිගු කලක් තැබූ විට මස් වියළී, ශීත පිලිස්සුම් ඇතිවිය හැක. එවැනි මස් ආහාරයට නුසුදුසුවේ.

බිත්තර 

බිත්තර සමග මිශ්‍ර වී %සැල්මොනෙල්ලා^ වැනි අහිතකර රෝගකාරක ශරීරයට ඇතුළු වීමට ඉඩ ඇති බැවින් භාවිතයට පෙර බිත්තර ආහාරයට සුදුසුදැයි පරීක්ෂා කළ යුතුය. කුකුළු අසූචි තැවරී ඇති බිත්තර හෝ බිඳී ඇති බිත්තර මිලදී ගැනීමෙන් මෙහිදී වැළකිය යුතුය. 

බිත්තර බිඳීමට පෙර සබන් යොදා හොඳින් සේදිය යුතු අතර, වතුර භාජනයක බැස්ස වූ විට නරක් වූ බිත්තර උඩ මතුවේ. බිත්තර විවෘත කළ විට සියුම් දුර්ගන්ධයක් හෝ පැහැය වෙනස්වීමක් තිබුණහොත් එවැනි බිත්තර භාවිතයට සුදුසු නොවේ. බිත්තර හොඳින් තම්බා හෝ බැද ගැනීමෙන් අනතුරුව ආහාරයට එක්කර ගැනීම ආරක්ෂාකාරී වේ. අමු බිත්තර හෝ බාගෙට තැබ්බූ බිත්තර මගින් රෝග වැලඳීමේ අවදානමක් තිබේ.

කිරි

කිරි යනු ඉක්මනින් නරක්වීමේ අවදානම ඇති ආහාරයකි. නැවුම් කිරි හොඳින් උණු කර නටවා පානය කළ යුතුය. කිරි හෝ කිරි ආහාර මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පාස්චරීකරණය කළ කිරි හා යෝගට් ඇතුළු කිරි ආහාර මිලදී ගැනීමට පෙර, ඒවා ශීතකරණයක ගබඩා කර තිබේදැයි සැලකිලිමත් විය යුතුය.
පාස්චරීකරණය කළ කිරි දින හතරක් පමණක් ශීතකරණයක තබාගත හැකි අතර, ජීවාණුහරණය කළ කිරි මාස හයක් ශීතකරණයක ගබඩා නොකොට කල්තබාගත හැකිය. එහෙත් ජීවානුහරණය කළ කිරි විවෘත කළ වහාම ශීතකරණයක තැබිය යුතුය.

ධාන්‍ය හා ඇට වර්ග

අප ආහාරයට ගන්නා විවිධ ධාන්‍ය වර්ගවල පුස් හා දිලීර වැඩීම හේතුවෙන් විවිධ විෂ ද්‍රව්‍ය එම ආහාරයට එකතු වේ. කජු, බඩඉරිඟු, රටකජු, මිරිස් සහ පොල් (කොප්පරා)වල වැවෙන පුස් වර්ග හේතුවෙන් ශරීරයට අහිතකර අෆ්ලෝටොක්සීන් වැනි විෂ වර්ග එයට එකතු වේ. මෙය පිළිකා කාරකයකි. ධාන්‍ය හා කජු වර්ග මිලදී ගැනීමේදී අවපැහැ ගැණුනු හෝ රසය වෙනස් වූ ඒවා මිලදී ගැනීමෙන් වළකින්න.

ඇසුරුම් කළ ආහාර

ටින් කෙරුණු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර ඇසුරුම නොතැළුන, මල නොබැඳුණු, පිම්බීමකට ලක්නොවූ හා සිදුරු රහිත ඇසුරුමක් දැයි සැලකිලිමත් විය යුතුය. තවද, පැකට් කළ ආහාරවල මුද්‍රාව බිඳී ඇතිදැයි යන්න සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. එවැනි ආහාර භාවිතයට සුදුසු නොවේ. එමෙන්ම කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ ඉතාමත් සැලකිලිමත් විය යුතුය.

E අංකය

පිරිසැකසුම් කළ ආහාරවලට එකතු කරනු ලබන කල් තබාගැනීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය, එනම් ආහාර කල් තබාගැනීමේ ද්‍රව්‍ය, වර්ණ කාරක, රසකාරක, සුවඳකාරක, ආහාර ඇසුරුමේ සඳහන් කර ඇතිදැයි මෙන්ම ඒවාට අනුමත E අංකය සඳහන් කර ඇතිදැයි යන්න පිළිබඳව සැලකිලිමත් වන්න.

ආහාර පිසීම

ආහාර පිසීමට පෙර බඳුන් හොඳන් සෝදා වියළා ගැනීම වැදගත්වේ. මෙම බඳුන් මැටි බඳුන් නම් වඩාත් සුදුසුවේ. එමෙන්ම මස්, මාළු කැපීමට යොදා ගන්නා පිහිය සබන් යොදා පිරිසිදු කිරීමෙන් පසුව එළවළු, පලතුරු කැපීමට භාවිතා කළ යුතුය. 
පිසූ ආහාරය බෙදීමට වෙනමම හැඳී භාවිතා කිරීම වැදගත් වන අතර, ආහාර පිසීමට පෙර ආහාර අනුභවයට පෙර හා වැසිකිළි භාවිතයෙන් පසු හා කුඩා ළමයින්ට ආහාර කැවීමට පෙර සබන් යොදා හොඳින් අත්සෝදාගත යුතුය.

ආහාර පිසීමේදී එහි අඩංගු විෂබීජ විනාශ වන බැවින් විශේෂයෙන් මස්, මාළු, බිත්තර හොඳින් පිස ගැනීම වැදගත්වේ. පිසූ ආහාර පැය දෙකක් ඇතුළත ආහාරයට ගත යුතු අතර, පසුව ආහාර ගැනීමට අදහස් කරයි නම් ශීතකරණයක ගබඩා කර නැවත ආහාරයට ගැනීමේදී හොඳින් රත්කර ගැනීම යෝග්‍ය වේ.

ආහාර සුරක්ෂිතව තැබිය හැකි උණුසුම් පරාසය 

ආහාරයේ රෝග කාරක විෂබීජ වළක්වා ගැනීමට සේ.ග්‍රේ. අංශක 5 පහළ උෂ්ණත්වයක ගබඩා කිරීම හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 70ක ඉහළ උෂ්ණත්වයේ පිස ගැනීම වැදගත් වේ.

( සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ ඒකකයේ ප්‍රකාශනයක් වන ආහාර නිවැරදිව තෝරා ගැනීම සඳහා මග පෙන්වීමේ කෘතිය ඇසුරෙණි)

- නදීශානි පතිරණ

 



Recommended Articles