ආර්ථික ශක්තියට උරදෙන දකුණු ආසියාතික කාන්තාව


දකුණු ආසියාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. 2018 වසරේදී සමස්තයක් ලෙස කලාපයේ දල දේශීය නිෂ්පාදිතය සියයට 6.9 දක්වා වේගවත් කරමින් එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය බවට පත්විය. කෙසේ වෙතත් වේගයෙන් වර්ධනය වන දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සේවා නියුක්තියේ වර්ධනය වේගවත් වී නොමැත. මේ හේතුවෙන් කලාපය තුළ රැකියා නියුක්ති අනුපාතය පහත වැටී ඇති අතර, මෙම පිරිහීමෙන් වැඩි කොටස කාන්තා රැකියා කෙරෙහි බලපා තිබේ.


වසර 2005 සහ 2015 අතර කාන්තා රැකියා අනුපාතිකය වසරකට ඉන්දියාවේ සියයට පහකින්ද, භූතානයේ සියයට තුනකින්ද, ශ්‍රී ලංකාවේ සියයට එකකින්ද පහත වැටී ඇත. කාන්තා රැකියා අනුපාතිකය ආර්ථික වර්ධනයත් සමග පහත වැටීම හා යළි ඉහළ යෑම %U හැඩයේ කාන්තා ශ්‍රම බළකාශ්‍රිතය^ ලෙස හඳුන්වන අතර එය දකුණු ආසියාවේ දක්නට ලැබෙන ප්‍රවණතාවක් වේ.
දකුණු ආසියාවේ කාන්තා රැකියා අනුපාතිකයේ අසාමාන්‍යතා දක්නට ලැබෙන අතර, දකුණු ආසියාවේ පිරිමි රැකියා අනුපාතිකය එම ආදායම් මට්ටමේ අනෙකුත් රටවල්වලට සමාන වන අතර කාන්තා රැකියා අනුපාතිකය ඊටත් වඩා පහළය. කාන්තා රැකියා අනුපාතිකය පහත වැටීම හේතු කරගෙන වැදගත් සමාජ පිරිවැයක් ඇතිවිය හැක. එයට බලපාන ප්‍රධාන කාරණා තුනකි.
ගෘහස්ත තෝරා ගැනීම් කාන්තා අභිරුචියට නොගැළපෙන ලෙස සිදු වීම. මෙම තෝරා ගැනීම් තුළින් පිළිබිඹු වන්නේ කාන්තාවන්ගේ කාර්යයන් හා පිරිමින්ගේ කාර්යයන්වල පවතින වෙනස, කාන්තාවන් නිවසේ වැඩකටයුතු සහ දරුවන් ගැන සැලකිලිමත් විය යුතු ආකාරයයි.

කාන්තාවන් විසින් ගෘහස්ථ ආදායමෙන් වැඩි කොටසක් පාලනය කරන විට, දරුවන් සෞඛ්‍ය සම්පන්න සහ ඔවුන්ට වඩා හොඳ පාසල් අධ්‍යාපනයක් හිමිවේ.
කාන්තාවන් වැටුප් ලබන රැකියාවක නියැළෙන විට පවුල තුළ, ප්‍රජාව තුළ හා සමාජය තුළ වැඩි හඬක් නැගිය හැකි වීම.

සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තා රැකියා සහභාගිත්වය වෙනුවෙන් ගෙවන වැටුප් වැඩිවීම නිසා පසුගිය අවුරුදු 30 පුරා ලෝක ශ්‍රම බළකායට එකතු වූ කාන්තා ශ්‍රමය බිලියන භාගයකට ආසන්නය.
ශ්‍රම වෙළෙඳ පොළට කාන්තා සහභාගිත්වය සමානව වැඩිකිරීමෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය වැඩිවිය හැක. මෑතකදී කළ අධ්‍යනයකට අනුව දකුණු ආසියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සමස්ත ප්‍රතිලාභය සේවා නියුක්තියේ ස්ත්‍රී පුරුෂ පරතරය නැති කිරීමෙන් හා ව්‍යවසායකත්වය ඉහළ නැංවීමෙන් සියයට 25 දක්වා ළඟා විය හැකි බව පෙන්වා දේ.
කාන්තා රැකියා නියුක්තිය වැඩි දියුණු කිරීමේ අරමුණින් දකුණු ආසියාවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනස් විය යුතුය. කාන්තා ව්‍යවසායකත්වය ඉහළ නැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසීම, විශේෂිත කුසලතා පුහුණුව ලබාදීම මේ අතර වැදගත් වේ. කාන්තාවන්ට රැකියා ලබාදීම අරමුණු කරගත් අඛණ්ඩ පර්යේෂණ හා ඇගයීම් අත්‍යවශ්‍ය වේ.

උදාහරණයක් වශයෙන්, බටහිර අප්‍රිකාවේ සහ පේරු රාජ්‍යයේ  කාන්තා ව්‍යවසායක ආදායම සාර්ථක ලෙස ඉහළ නැංවීම සඳහා ව්‍යවසායකත්ව  මානසිකත්වයක් ඇති කිරීමට පුද්ගලික පුහුණු වැඩමුළු ආරම්භ කර ඇත. කාන්තා රැකියාවලට බාධා ඇතිකරන හේතු හඳුනාගත යුතුය. මැදිහත්වීම් කාන්තාව ඉලක්ක කර සිදු විය යුතු යැයි උපකල්පනය කිරීමට වඩා මැදිහත්වීම් කාන්තාව තුළ විශාල වෙනසක් ඇතිකිරීමට යොදාගත යුතුය.

විදුලි බල සැපයුම 

ග්‍රාමීය විදුලි බල සැපයුම මගින් පවුල්වල ජීවන තත්ත්වය හා යහ පැවැත්ම කෙරෙහි බලවත් ධනාත්මක බලපෑමක් ඇතිකළ හැකි අතර, දේශීය ආර්ථික වර්ධනය කෙරෙහිද ඉන් ධනාත්මක බලපෑමක් ඇති කරයි.
බංග්ලාදේශයේ කාන්තා ශ්‍රම බළකායේ සහභාගිත්වය විදුලි බල සැපයුම නොමැති පවුල් ඒකකවලට වඩා, විදුලි බල සැපයුම ඇති පවුල් ඒකකවල සියයට 07කින් ඉහළය. පකිස්තානයේ එම වෙනස සියයට දෙකකි. විදුලි බල පහසුකම කාන්තාවන්ට තවත් ප්‍රතිලාභ ගෙනදෙයි. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා වැයකළ හැකි කාලය වැඩි වේ. ජෛව බලශක්ති රැස්කිරීමේ කාලය ඉතිරි වේ. රෝගාතුර වීම නිසා අහිමිවන කාලය අඩු වේ.

වෙළෙඳ කටයුතු  

ගෝලීය ආර්ථිකයට දකුණු ආසියාවේ ඇල්මැරුණු එකාබද්ධවීම් සහ අතිවිශාල නුපුහුණු ශ්‍රමය එම රටේ සාපේක්ෂ වාසි න්‍යායට පටහැනි වූ ආර්ථික ව්‍යුහයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ඇඟලුම් ක්ෂේත්‍රය වැනි ශ්‍රම සූක්ෂම අංශ සඳහා ගෝලීය වෙළෙඳ පොළට පිවිසීමේ ඇති විවෘතභාවය කලාපයේ කාන්තා සේවා නියුක්තිය කෙරෙහි විශාල බලපෑමක් කර තිබේ. 2012 ලෝක සංවර්ධන වාර්තාවට අනුව ස්ත්‍රී පුරුෂ සමානත්වය හා සංවර්ධනය ජාත්‍යන්තර වෙළෙඳාම හා කාන්තා රැකියා සඳහා ඇති විවෘතභාවය අතර දැඩි සම්බන්ධතාවක් තිබුණි.  

ඇඟලුම් අපනයනයේ ගෝලීය බලාගාරයක්ව පැවැති දකුණු ආසියාවේ එකම රට වන බංග්ලාදේශය තම කාන්තා ශ්‍රම බළකායේ සහභාගිත්වය කිසිසේත්ම පහත වැටීමට ඉඩ නොදුන්නේය. නුපුහුණු ශ්‍රම බළකාය තුළ දකුණු ආසියාවේ සංසන්දනාත්මක වාසිය චීනය තුළ වැටුප් වැඩිවීමක් මෙන්ම ශක්තිමත් විය යුතුය. චීනයේ ඇඟලුම් මිල සියයට දහයකින් වැඩිවීම නිසා, ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තා සේවා නියුක්තිය පාකිස්තානයේ සියයට අටකින්ද, ශ්‍රී ලංකාවේ සියයට හතකින්ද, ඉන්දියාවේ සියයට පහකින්ද, බංග්ලාදේශයේ සියයට හතරකින්ද වැඩිවී ඇත.
ආර්ථිකය ප්‍රසාරණය වුවත් ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බළකායේ සහභාගිත්වය 2010දී සියයට 41 සිට 2016දී 36% දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකාව ශ්‍රම බළකා සහභාගිත්වයේ ස්ත්‍රී පුරුෂ පරතරය අතින් ලෝකයේ 14 වැනි  ස්ථානයේ පසුවෙයි. එම කාල සීමාව තුළ පිරිමි ශ්‍රම සහභාගිත්වය 75% ඉක්ම වීය.

සමස්තයක් වශයෙන්, රැකියා ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළ තුළ කාන්තාවන්ගේ අත්දැකීම් අඩු සහභාගිත්වය, ඉහළ විරැකියාව හා නොනැසී පවතින වැටුප් විෂමතාවන් මගින් සනිටුහන් වේ. රැකියා වෙළෙඳ පොළ විසින් ඉල්ලා සිටින නිසි කුසලතා අත්පත් කර නොගන්නා බව වාර්තාව මගින් පෙන්වා දෙයි.
අධ්‍යාපනයේ සෑම මට්ටමකදීම කාන්තාවන්ට උසස් කුසලතාවන් සහ ඉහළ වැටුප් සහිත රැකියාවන් ලබා ගැනීම සඳහා වඩාත් දුෂ්කර වී ඇත.  එම වැටුප් කප්පාදුව කාලයත් සමග අඩු වී ඇතත් වෘත්තීයමය ආරම්භයේදී විරැකියාව සමග පොරබදන්නට බොහෝ කාන්තාවන්ට මුහුණදීමට සිදු වී තිබේ.

භෞතික සම්බන්ධතා

ඒකාබද්ධ හා කාර්යක්ෂම ප්‍රවාහන ජාලයක් තිබීම රටක ආර්ථික සංවර්ධනය උත්තේජනය කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරයි.
ගමනාගමන හා ප්‍රවාහන වියදම් අඩු කිරීම, වෙළෙඳාමේ සිදුවන වෙනස්කම්වලට අනුගත වීම, සංක්‍රමණය අඩුකිරීම ආර්ථික සංවර්ධනයට ඇති බලපෑම වැඩි කරයි.
ආයෝජන අවස්ථාවන් ඇදගැනීම, නිෂ්පාදන හා සේවාවන්හි නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම සහ අපනයන සඳහා සහාය සැපයීම ආර්ථික කොරිඩෝවට සිදුකළ හැකිය. මෙම කොරිඩෝව හරහා කාන්තාවන්ට නව රැකියා, හොඳ රැකියා සහ ප්‍රයෝජනවත් රැකියා අවස්ථාවන් ලබාගත හැකි වී ඇත.
කාන්තාවන්ගේ රැකියාවට හා ආර්ථික බලගැන්වීම සඳහා විශාලතම තල්ලුව වන්නේ කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන් අවධානය යොමු කරන ප්‍රතිපත්තිවලින් නොවේ. එහෙත් කාන්තා සේවා නියුක්තිය සංවර්ධනය කිරීම සඳහා පවතින ගැටලු නිරාකරණය කිරීම මගින් මෙය වඩාත් ප්‍රතිඵලදායී විය හැකිය.

මූලාශ්‍රය :  ලෝක බැංකු ප්‍රකාශනය ඇසුරෙනි.

- රොහාන් ඩයස්

 



Recommended Articles