අභියෝග ජය ගනිමින් කඹුරුගමුවේ මල් ශාලාවක් පවත්වාගෙන යන දිරිය කත


මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය මේ වනවිට කඹුරුගමුව නගරය තුළ ප්‍රසිද්ධ මල් ශාලාවක් පවත්වාගෙන යමින් පළාතේ ජනතාවට ඉමහත් සේවයක් සලසමින් සිටින්නීය. සමාජ සේවා වැඩ කටයුතුවලටද තම දායකත්වය සපයන අතර නැති බැරි අයටද තම හැකි පමණින් උදව් උපකාර කරමින් ඇය තමාගේ වැඩ කටයුතු කරගෙන යන්නට උත්සාහය දරන දිරිමත් කාන්තාවකි. මේ වනවිට ඇයගේ මේ සමාජ සත් කාර්යයන් වෙනුවෙන් විවිධ සම්මාන සහතිකවලින්ද පිදුම් ලබා ඇත. ඇය නමින් එස්.පී. රේණුකා තිලකරත්නය.

මේ ඇගේ කතාවයි.

“මගේ පදිංචිය කඹුරුගමුව, තුඩැල්ල පාරෙ, රත්නායක වත්තෙ, අංක 01 ස්ථානයේ. මම පාසල් ගියේ මාතර මිරිස්ස මහා විද්‍යාලයට. එහි උසස් පෙළ දක්වා මම ඉගෙනුම ලැබුවා. මම ගමේ තිබුණු සර්වෝදය පෙරපාසලේ පෙර පාසල් පාලිකාවක් විදියට වසර දෙකක් පමණ වැඩ කරනු ලැබුවා.
1989 වර්ෂයේදී තමයි මම විවාහ වුණේ. එතකොට මගේ මහත්තයට තිබුණෙ පෙට්ටි මඩුවක්. මගේ සැමියාගේ තාත්තා තමයි එහි පාලකයා විදිහට වැඩ කටයුතු කරගෙන ගියේ. මගේ සැමියත් ඒකෙ සේවකයෙක් විදිහට තමයි මුල්ම කාලෙ වැඩ කළේ. මුලින් නම් ගෙවල්වලට පෙට්ටිය දෙක තමයි සැපයීම සිදු කෙරේ. ඉන්පස්සෙ තමයි අපි ටික ටික දියුණුවට පත්වුණේ.

පස්සේ කඹුරුගමුවෙ හන්දිය මල් ශාලාවක් දාගෙන වැඩ කරන්න පටන්ගත්තා. මගේ සැමියගෙ තාත්තා නැති වුණාට පස්සේ මගේ මහත්තයා තමයි ඒ වැඩ කටයුතු සියල්ල බලාගෙන ඒ වැඩ කටයුතු සිදු කළේ. ඔහොම ඉන්න අතරෙ මගේ සැමියා රෝගාතුර වුණා. ඒ නිසා එයාට උදව් උපකාර කරන්න මමත් නිතර නිතර ඒ මල් ශාලාවට යන්න පටන්ගත්තා. මේ අතරෙ මගේ සැමියාගේ අසනීප තත්ත්වය එන්න එන්නම වැඩිවීම නිසා පසුකාලීනව රෝහල්ගත කරන්න සිද්ධ වුණා. මාස තුනහමාරක් පමණ සැමියා රෝහලේ නවත්වාගෙන ප්‍රතිකාර කරනු ලැබුවා. එහෙම ඉන්න අතරෙ 2013 වසරේදි මගේ මහත්තයා නැති වුණා.

මේ කාලෙ වෙනකොට මට දූල තුන් දෙනෙකුත්, එක් පුතෙකුත් හිටියා. මට ලොකුම අභියෝගය වුණේ මගේ ළමයි හතර දෙනා ජීවත් කරවීම කරන්නේ කොහොමද කියන එකයි. ඒ වගේම මල් ශාලාවේ වැඩ කරපු පිරිසද අනාථ කරන්න බැරි තත්ත්වයක තිබුණා. ඒ හින්දා මම කොහොමහරි මගේ හිතට ධෛර්ය අරගෙන මං මේ මල්ශාලාව කරගෙන යනවා කියලා ලොකු ශක්තියක්, ධෛර්යයක් ඇති කරගත්තා. ඉන්පස්සෙ මම මල් ශාලාවේ වැඩ කරගෙන යන්න පටන් ගත්තා. මුලදි මුලදි නම් පොඩි චකිතයක් වගේම හිතේ ලොකු බයකුත් තිබුණා. මට මේ වගේ දෙයක් කරගෙන යන්න පුළුවන් වේවිද කියලා. මට මේ සඳහා උපදෙස් දෙන්න කවුරුවත් හිටියේ නෑ. අඩුම ගානෙ මට බිලක් ලියාගන්නවත් තේරුමක් තිබුණෙ නෑ. මම ගොඩක් වෙලාවට කළේ මගේ සැමියා මුල් කාලෙ ලියපු බිල් හා අනෙකුත් ලියකියවිලි අධ්‍යයනය කරලා ඒ දේවල් කරන්න ඉගෙන ගැනීම.

මම කාන්තාවක් විදියට මේ මල් ශාලාවේ පරිපාලන කටයුතු කරගෙන ගියත් මෙහි සියලුම වැඩ කටයුතු කරන්නෙ පිරිමි අය. ඒ නිසා ඒ අය පාලනය කරගෙන මෙහි වැඩ කටයුතු කරගෙන යාමත් ලොකු වගකීමක් වුණා. ඒ නිසා මම මගේ ගොඩනැගිල්ලේ සියලුම ස්ථාන ආවරණය වෙන විදිහට සීසීටීවී කැමරා පද්ධතියක් සකස් කරගත්තා. ඒ තුළින් එහි වෙන සියලුම දේවල් මම මගේ ඔෆිස් කාමරයේ ඉඳගෙන නිරීක්ෂණය කර අවශ්‍ය වෙලාවට ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදෙනවා.

සමහර අවස්ථාවල එන අයගෙන් කරදරකාරී අවස්ථා උදාවෙන වෙලාවල් තියෙනවා. ඒ මිනිය අරගෙන එන අය බීමත්ව ඇවිල්ලා අපට මේ වැඩ ටික හරියට කරගෙන යන්න ඉඩ නොදෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට නම් කාන්තාවක් වුණත් මම තදින්ම ඉඳලා ඒ අයව හසුරුවාගෙන ඒ වැඩ කටයුතු කරගෙන යන්න කටයුතු කරනවා.

ගැහැනු ළමයෙකුගේ මෘතදේහයක් ගෙන ආවොත් එහි එම්බාම් කටයුතු සිදුකළායින් පසු මම මුල් වෙලා එහි ඇන්දීමේ කටයුතු සිදු කරනු ලබනවා. මට ඒවා කරනකොට පිළිකුලක් බයක් නම් දැනෙන්නෙම නැහැ. මම පොඩි කාලේ ඉඳලම කැත කුණුවලට එහෙම බයක් වුණේ නැහැ. දැනට අවුරුදු හතරකට ආසන්න කාලයක් මං මේ කටයුතු දිගටම මේ විදියට කරගෙන යනවා. ඊට අමතරව සමහර අවස්ථාවල මගේ වාහනවල වැඩ කරන රියදුරු මහත්වරු නොමැති වෙන අවස්ථාවල මමම වාහනේ පදවාගෙන ගිහිල්ලා මිනී රැගෙන එන අවස්ථා තියනවා. සමහර වෙලාවට රාත්‍රී දොළහට එකට ගිහිල්ලා මිනී අරගෙන එන වෙලාවල් තියෙනවා. හැබැයි ඒවා වාහනේට පටවගන්න නම් මං කවුරුහරි මගේ සේවකයෝ දෙන්නෙක් අරගෙන යනවා.

දැනට මේ ප්‍රදේශය තුළ අවුරුදු 02ට අඩු කුඩා ළමයින් මියගියහොත් ඒ අයගේ මිනී එම්බාම් කරන්න, ඒ පෙට්ටිය වෙනුවෙනුත් මං මුදල් අය කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි ඒ මෘතදේහය මල් ශාලාවෙ ඉඳලා මළගෙදරටම නොමිලේම ප්‍රවාහනය කරලා දෙනවා. ඒ වගේම වසර ගණනක් තිස්සෙ අහංගම තියෙන දේනුවල වැඩිහිටි නිවාසයේ යම් අයකු මිය ගියොත් ඒ අයට මම මගේ ගාණේ පෙට්ටිය ඉඳලා නොමිලේ සපයනවා. මාතර දිස්ත්‍රික්කය තුළ තිබෙන පන්සල්වලට පෙර පාසල්වලට මට පුළු පුළුවන් විදියට යම් යම් උදව් උපකාර කරනවා.

 

2015 වසරේදී සියලු ජාතීන්ගේ නව සමගි සංවිධානයෙන් සාම ශ්‍රී දේශබන්දු ගෞරව නාමයෙනුත්, 2016 වර්ෂයේදී සමස්ත ලංකා නැණ ගුණ පදනම මගින් පළාතේ හොඳම ව්‍යවසායිකාව හා දිරිය කාන්තාව වශයෙනුන් මම සම්මානවලින් පිදුම් ලැබුවා. ඊට අමතරව 2017 වර්ෂයේ ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධාන සාමාජිකත්වය පිරිනැමීමද සිදු කරනු ලැබුවා.
කාන්තාවක් විදිහට මට කියන්න තියෙන්නෙ උත්සාහය. ධෛර්යය, කැපවීම තියෙනවා නම් කොතරම් බාධක ආවත් ඒවා මැඬගෙන ඒ වෙලාවට අපි මානසිකව වැටෙන්නේ නැතුව සිත ශක්තිමත් කරගෙන ඒ වැඩ කටයුතු ටික කරගෙන යනවා නම් අපේ ජීවිතවලට එන ගොඩක් අභියෝග ජය ගන්න පුළුවන් කියන එකයි. 

හම්බන්තොට - රෝහණ ආරියරත්න 

 



Recommended Articles