අපව ජීවත් කරවන සතුට තියෙන්නේ කොහෙද?


සතුට යනු සෑම පුද්ගලයකුටම අත්‍යවශ්‍ය දෙයකි. එනම් පුද්ගලයෙකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට සතුට බොහෝ සෙයින් උපකාරී වේ. මිනිසෙක් තමාගේ බුද්ධි මට්ටම, තත්ත්වය සහ පාරිසරික පවුල් පසුබ්ම් මත සතුට ලබන ආකාර වෙනස් විය හැකිය.පොදුවේ තමන්ගේ හෝ පවුලේ ඇතිවන දියුණුව, ලාභය, තමාගේ බලාපොරොත්තු ඉටුවීම වැනි කරුණු හමුවේ, ඕනෑම පුද්ගලයෙකු තම තමන්ගේ අාකාරයට සතුට පත්වේ. නමුත් අපට සතුට ගෙන එනුයේ අපගේ සිතුම් පැතුම් අනුවය. එබැවින් අප සිතන අයුරු වෙනස් කර ගනුයේ නම් අපට සතුට අත්විඳිය හැකිය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා පුහුණු පාසලේ ආචාර්ය ධම්මික බටපොල මහතාව අපි සම්බන්ධ කර ගත්තෙමු.


බොහෝ පිරිසක් සිනහවත්, සතුටත්, දුකත් සෑම විටම බාහිර අරමුණක් මතම රඳා පැවතීමට ඉඩ සලසාගෙන තිබෙනවා. ඒ සැමවිටම බාහිර පුද්ගලයන් මත ඔබේ සතුට රැඳී පවතින බැවිනි. අද බොහොමයක් දෙනා සතුටු වන්නේත්, පසු දිනෙක දුකට පත්වන්නේත් බාහිර ලෝකයෙන් සැපයුණු හේතුවක් නිසාවෙන්ම පමණයි. බොහෝමයක් කාන්තාවන්ගේ සිත් බාහිර අයගේ වචන මත ඉතා තදින් දුකටත්, සතුටටත් පත්වෙනවා. එය කාන්තාවන්ගේ සංවේදී බව නිසා සිදුවන බව සත්‍යයක්. නමුත් එතනින් එහා ගිය සංවේදී බවක් ඔබට සාදාගත හැකියි. 

ඔබේ සිත තවත් මෘදු, මොලොක් කරගන්න. ඔබට ප්‍රශංසාව දෙන පුද්ගලයාත්, ඔබට නින්දාව දෙන පුද්ගලයාත් යන දෙදෙනා කෙරෙහිම මෙත්තා, කරුණා, උපේක්ෂා සිත පුරුදු කළ හැකි නම් ඔබට සතුටින් කල් ගෙවිය හැකියි. ඔබේ සිතේ සතුට, දුක තීරණය කරන්නට බාහිර ලෝකයේ අරමුණකට නොව, ඔබේම සිතට ලබාදිය හැකි තරම් සිත දියුණු කරගත හැකි නම්, ඔබේ සිතේ සතුට ගැන බයක්, අඩමානයක් ඇති කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේම ඕනෑම කෙනෙකුගේ බලාපොරොත්තුව සතුටින් ජීවත් වීමයි. සාමයෙන්, සමගියෙන් ජීවත් වීමයි. සාමාන්‍ය විශ්වාසය නම් සතුට ලබන්නට ධනය ඇවැසි බවයි. බලය, සමාජ තත්ත්වය තිබිය යුතු බවයි. වෙනත් විවිධ සාධක බලපැවැත්විය යුතු බවයි. සත්‍ය වශයෙන්ම මේ සියල්ල හිමි වුවද නියම සතුටක් ලැබෙනවාද? යන්න පිළිබඳව ඔබ අවබෝධයෙන් සිතිය යුතුයි.

මෙම කවර සම්පත් ලැබුණද නියම සතුටක්, තෘප්තියක් ලැබෙනවාද? වෛරයෙන්, ක්‍රෝධයෙන්, ලෝභයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් සිත දැවෙනුයේනම් ලැබෙනුයේ කවර සතුටක්ද? එසේනම් ඒ සියල්ලට වඩා වැදගත් වනුයේ සිතේ දැක්මයි. එබැවින් ඔබ සිත පුරුදු පුහුණු කළ යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වීමට හැකියි. එනම් සංසාරය හා නිර්වාණයයි. මේ කරුණු දෙකම එක්කර බැලූවිට පෙනෙනුයේ එකම දෙයක් ගැන බුදුදහම තුළින් දේශනා කර ඇති බවයි. එනම් සිතයි. සිත කිළිටි නම් එය සංසාරයයි. සිත නොකිළිටි නම් එනම් පිරිසුදුනම් එය නිර්වාණයයි. අප සංසාරය දිගු කර ගනුයේ අප සිතන අයුරින්මයි. සමහරු සතුට වෙනුවෙන් විවිධාකාර අකුසලයන්හි යෙදෙනවා. නමුත් ඒ ලැබෙන සතුට ඉතාම කෙටිකාලීනයි. නමුත් අප සිතට එකඟව විඳින සතුට දීර්ඝකාලීනයි. 

ඒ අනුව අපිරිසුදු වීම සංසාරයට සමානයි. පිරිසුදුවීම නිර්වාණයට සමානයි. මේ අනුව පැහැදිලි වන්නේ අපේ සතුට තිබෙන්නේ අපි හිතන පතන දේ අනුව සහ අප කරන කියන දේ අනුව බවයි. ඒ නිසා කිසිවිටෙක අනෙකාට ඇති දෙයින් තමන්ගේ සතුට තීරණය කරන්න එපා. ඒ වගේම කෙටිකාලීන සතුට වෙනුවෙන් අකුසල් ක්‍රියා නොකළ යුතුයි. එසේ ජීවත් වීමට ඔබ පුරුදු පුහුණු වුවහොත් ඔබගේ ජීවිතය සතුටින් ගෙවිය හැකියි. 

සටහන - සරසි නෙත්මිණි

 



Recommended Articles