අන්තර්ජාල භාවිතයෙන් ළමා ලිංගික සූරාකෑමේ වර්ධනයක්


අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන ළමා ලිංගික සූරාකෑම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් පරිසරය සහ සැමතැන වෙසෙන ළමුන් සුරකීමේ සංවිධානය හෙවත් %පීස්^ සංවිධානය මගින් (Peace) විශේෂ වැඩමුළුවක් ඊයේ (03දා) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සංවිධානය කර තිබිණ. 


එහිදී එම ආයතනයේ නීතිවේදිනී අප්සරා කස්තුරිආරච්චි මහත්මිය ළමා අපයෝජනය සහ අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන ලිංගික සූරා කෑම පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකළාය. 

එහිදී ඇය විසින් ඉදිරිපත් කළ කරුණු හා ඔවුන් මාධ්‍ය වෙත ලබාදුන් තොරතුරු අනුව මෙම ලිපිය සැකසූයේ මවුවරුන් ලෙස ඔබ අප සියලු දෙනාම අපගේ දරුවන් මෙම අපයෝජනයට ගොදුරුවීමට පෙර ආරක්ෂා කර ගැනීම වටිනා බැවිණි.

කායික, මානසික, නොසලකා හැරීම හා ලිංගික යන කොයියම් ආකාරයකින් හෝ ළමයෙකු අපයෝජනයට ලක්විය හැකි නමුත් අප සමාජයේ අපයෝජන යන වචනයෙන් බොහෝ දෙනා සිහියට ගන්නේ ලිංගික අපයෝජනය යන්නයි. කෙසේ හෝ මේ කුමන ආකාරයකින් වුවත් අවුරුදු 18ට අඩු දරුවෙකු අපයෝජනයට ලක්කිරීම නීතිවිරෝධී වේ. වර්තමානය වනවිට තාක්ෂණයේ දියුණුවත් සමග ලිංගික අපයෝජනය යන්න ස්පර්ෂයක් නැතිව වුවද සිදුකරන තැනට පත්ව තිබේ. 

එනම් යමෙකු දරුවෙකු ස්පර්ෂ නොකර එම දරුවන්ට අසභ්‍ය ප්‍රකාශන, අසභ්‍ය පණිවුඩ ලබාදීම, දරුවන් ලිංගික කටයුතු කරන ආකාරය  රඟ දැක්වීමට යොදා ගැනීම වැනි දේවල් සිදුකරනු ලැබේ. මේ කිනම් කටයුත්තක් වුවද නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදවල් ලෙස දැක්වේ. 

අපයෝජනයකදී ගනුදෙනුවක් සිදුවේ නම් එය සූරා කෑමක් ලෙස දැක්වෙන අතර, මෙහිදී අපයෝජකයා විසින් දරුවාට යම්කිසි ද්‍රව්‍යමය ත්‍යාගයන්, මුදල් හෝ යම් කිසි ප්‍රතිලාභයන් ලබාදිය හැකිය. 
2017 වර්ෂයේ සිදුකරන ලද සමීක්ෂණයක් අනුව මෙරට ළමුන් සිය දෙනෙකු අතරින් හැටපස්දෙනෙකුම දැනුවත්ව හෝ නොදැනුවත්ව ෆේස්බුක් ගිණුමක හිමිකරුවන් බවට පත්වී ඇති බවට සොයාගෙන තිබේ. තාක්ෂණය සමග බද්ධව මෙලොවට ඉපදෙන වත්මන් දරු පරපුර අන්තර්ජාලයේ සැරිසරන්නේ ඇඟිලි තුඩක දුරකිනි.  දෙමවුපියන්ගේ අවධානයට ලක්නොවන ඇසිල්ලකදී වුවද අන්තර්ජාලය හරහා දරුවෙකු අපයෝජනයකට ගොදුරුවීමේ හැකියාවක් පවතින බැවින් ජංගම දුරකථන හා අන්තර්ජාල භාවිත කිරීමේදී දෙමාපියන් හා දරුවන් විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් මෙම සංවිධානය මෙලෙස පෙන්වා දුන්නේය.

භාවිතය

ජංගම දුරකථනය හා අන්තර්ජාලය යහපත් ලෙස භාවිත කළ හැකි ක්‍රම බොහෝ ඇත. එය විශ්ව දැනුම ඔබගේ දෙපා මුලට ගෙන එයි. දැනුම යාවත්කාලීන කරයි. ඉඳිකටුවක් නිෂ්පාදනයේ සිට විශ්වයේ රහස් සොයායන අභ්‍යාවකාශ යානය දක්වා එය විහිදී යයි. එය සැමගේ ජීවිත පහසු කරයි. එහෙත් එය ප්‍ර‘වේශමෙන් භාවිතයට ගතහොත් පමණි.

අවභාවිතය

ජංගම දුරකථනය සහ අන්තර්ජාලය අනිසි ලෙස යොදාගත හැකි ක්‍රම බොහෝ ඇත. මේ මගින් බොරු කියා රැවටීමේ සිට සියදිවි නසාගැනීම දක්වා වූ සමාජ විරෝධී ක්‍රියාද, සියලුම ගණයේ අපරාධ සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහාද යොදාගත හැකිය. ඒ පිළිබඳව ඔබ හොඳින් දැනුවත් වන්න.

දැනුවත් වන්න

ඔබගේ විද්‍යුත් තැපෑල දුරකථනයට ලියාපදිංචි වී ඇත්නම් ඔබ නොදැනුවත්වම ඔබගේ ස්මාර්ට් දුරකථනයේ ඇති තොරතුරු අන්තර්ජාලයට මුසුවේ. එසේ වීම අවාසිදායක වන්නේ එම දුරකථනයේ ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු සහ ඔබට අවාසි වන ඡායාරූප වීඩියෝ මුරපද ගබඩා කළහොත් පමණි. එවැනි දේ ජංගම දුරකථනයේ තබා නොගන්න.

රැවටීම

අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකු ඔබ රැවටීමට උත්සහ දැරිය හැකිය. මෙය සිදුවන්නේ ඉතා සෙමෙන් පියවරෙන් පියවරය. එසේ වීමෙන් ඔබට දැඩි අපහසුතාවන්ට මුහුණදීමට සිදුවේ. ඔබ සතු අතිශය පෞද්ගලික තොරතුරු ඡායාරූප වීඩියෝ මුරපද මෙන්ම තමාට අවාසිවන දේ කිසිවකුට නොපවසන්න. අන්තර්ජාලයට මුදා නොහරින්න. 
සමාජ ජාල වෙබ් අඩවි 
සමාජ ජාල වෙබ් අඩවි ගිණුමකින් ඔබගේ තොරතුරු දන්නා හෝ නොදන්න ඕනෑම අයෙකු සමග සම්බන්ධ කළ හැකිය. මේ තොරුතුරු අතර හොඳ නරක සභ්‍ය හෝ අසභ්‍ය ඒවා තිබිය හැකිය. එම අයහපත් දේ නිසා ඔබට දැඩි අපහසුතාවලට මුහුණපෑමට සිදුවේ.

නාඳුනන පුද්ගලයන්

සමාජජාල වෙබ් අඩවිවලින් හමුවන පුද්ගලයන්ගෙන් ප්‍ර‘වේසම් වන්න. එසේ හමුවන්නන් දිගු කලක් ඇසුරු කළද ඔවුන්ට යටි අරමුණක් තිබිය හැකිය. මෙවැනි අය හඳුනා ගැනීම ඉතාමත් අපහසු බැවින් ආගන්තුකයන්ට ඔබේ පෞද්ගලික තොරතුරු ලබා නොදෙන්න. එවැනි තොරතුරු ලබාදීමෙන් ඔබ වෙනත් අයකුගේ පහත් අරමුණු සඳහා මුදලට විකිණෙනවා ඇත.

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය

ඔබ සතු පෞද්ගලික ඡායාරූප වීඩියෝ හඬපට කිසිවක් අන්තර්ජාලයේ හෝ වෙනත් අන්සතු වියහැකි තැනක ගබඩා නොකරන්න. එවැනි දේ නවීන තාක්ෂණය යොදාගෙන සූක්ෂම ලෙස වෙනස් කර ඔබට හානිවන අයුරින් සකසා අන්තර්ජාලය වෙත මුදා හැරිය හැකිය. එලෙස වෙනස් කළ දේ පෙන්වා ඔබගෙන් කප්පම් ලබාගත හැකිය. දැඩි අපහසුතාවට පත්කළ හැකිය.

අසභ්‍ය තොරතුරු

ඡායාරූප වීඩියෝ ලිපි හඬපට වැනි ඕනෑම මාධ්‍යක ඇති අසභ්‍ය තොරතුරු හෝ කෙනෙකු අපහසුතාවට පත්වන කිසිවක් අන්තර්ජාලය හෝ වෙනත් කිසිදු මාධ්‍යකින් ප්‍රකාශයට පත්කළ නොහැකිය. එවැනි තොරතුරු තමා සන්තකයේ තබාගැනීම, විකිණීම, වෙනත් අයෙකුට පැවරීම වෙනත් කෙනෙකුට පරිහරණය කළ හැකි අයුරින් ගබඩා කිරීම වරදකි.

මාධ්‍ය භාවිත කිරීම

ජංගම දුරකථනය හෝ අන්තර්ජාලය භාවිතා කිරීමේදී නාඳුනන දුරකථන ඇමතුම් කෙටි පණිවිඩ විද්‍යුත් තැපැල් ලිපි යොදා ගනිමින් ඔබ වෙත උදවු දීම, නොමිලේ යම් යම් දේ දීම, ඔබගේ ගිණුමට මුදල් තැන්පත් කිරීම ඔබ ත්‍යාග හිමියෙකු සේ පවසා මුදල් ලබාදීම, නිවසේ ඇති පරිගණකයේ මුදල් ඉපයීම, වැනි දේ සඳහා ඔබ යොමු කරවාගත හැකිය. කිසි විටකත් කිසිදු උවමනාවක් සඳහා ඔබගේ ගිණුම්වල මුරපද කිසිවකුට ලබා නොදෙන්න. අන්තර්ජාලය පිළිබඳ හොඳින් අවබෝධයක් ඇති කරගෙන ඔබේ අවශ්‍යතාවට පමණක් එය යොදා ගැනීමට හැකි දක්ෂයෙකු වන්න.

අන්තර්ජාල භාවිතයේදී පිළිපැදිය යුතු ආචාරධර්ම

ව්‍යාජ ඊමේල් ගිණුම්, සමාජ ජාල වෙබ් අඩවි සෑදීමෙන් වළකින්න. 
අන් අයගේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ තොරුතුරු අන්තර්ජාලයට එක් නොකරන්න.
අන්තර්ජාලය තුළ පුද්ගලිකත්වය ආරක්ෂා නොවන තොරතුරු භාවිත නොකරන්න.
පුද්ගලයෙකුට, ආයතනයකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අපහාස වන අයුරින් අන්තර්ජාලය භාවිත නොකරන්න.
පුද්ගලයෙකුගේ සේයාරුව වෙනස් කිරීම, බද්ධ කිරීම, එවැනි දේ කර මුහුණු පොතට හෝ වෙනත් වෙබ් අඩවිවලට ඇතුළත් නොකරන්න.

අපරාධ දැනුම් දීම 

ඉහත සඳහන් කළ ඕනෑම තත්ත්වයක් අපරාධයකි. එවැනි අපරාධ අන්තර්ජාලයෙන් හෝ ඕනෑම මාධ්‍යයකින් ඉදිරිපත් කිරීම වරදකි. ඉහත අපරාධ ඔබට සිදු වුවහොත් හෝ ඔබ දන්නා හෝ නොදන්නා කෙනෙකු හට සිදු වුවහොත් එය පහත සඳහන් ආයතනවලට දැනුම් දෙන්න.
අන්තර්ජාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 0112691982
ජාතික ළමාරක්‍ෂක අධිකාරිය - 1929
සර්ට් ශ්‍රී ලංකා ආයතනය - 0112691692  විද්‍යුත් තැපෑල - [email protected]
පීස් සංවිධානය - 0112819397/ 0712733037

 



Recommended Articles