Plan 2020 in style


අලුත් අවුරුද්දකට පා තබන විට දින දර්ශන හා දින පොත් කෙරෙහි වැඩි අවදානයක් යොමුවෙනවා. මෙලෙස විවිධ ආයතනවලින් මෙන්ම හිත මිතුරන්ගෙන් ලැබෙන දින පොත් තමන්ගේ අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන විට ඒවා තමා සන්තකයේ තබාගැනීමට ඇතැමුන් යොමුවෙනවා. 



එසේ නොවන විට තමන්ට ගැළපෙන දින පොතක් මිලදී ගැනීමට දින පොත්වල අවශ්‍යතාව ඇති අය යොමු වන අතර, ඩිජිටල් යුගයේ සිටින නූතන පරම්පරාවට දිනපොතක් පරිහරණය කිරීම යල්පැනගිය දෙයක් ලෙස සිතුනද Diaries සඳහා ලෝකයේම පවතින ඉල්ලුම තවමත් අඩු වී නැහැ.

යමෙක් ඩයරියක් තෝරා ගැනීමේදී ලස්සන ආවරණයක් සහිත  ඩයරියකට සිත යයි නම් එය පෙළඹවීමකි. ප්‍රායෝගිකව භාවිත කළ හැකි ඩයරියකට නොගොස් ලස්සන පිටකවරයක් සහිත ඩයරියක් ඔබේ තේරීම බවට පත්වන විට සිදුවන්නේ එය රාක්කයක තැබීම වන අතර, එය කිසි විටෙකත් භාවිතා නොකෙරේ. ඒ අනුව බලන කල එය මුදල් නාස්තියක්ම පමණි. ඒ නිසාම දෛනික කටයුතු පිළිවෙළට අත්නොහැරෙන ලෙස සැලසුම් කරන ඔබට ගැළපෙනම ඩයරිය තෝරා ගැනීමට මේ උපදෙස් වඩාත් වැදගත්වනු ඇත.

Understand your needs

ඔබ දින පොතක් මිලදී ගන්නේ දිනයක අවසානයේ එම දවසේ සිදුවූ සියල්ලම A to Z සටහන් කිරීමට නම් ඔබට අවශ්‍ය වන්නේ වැඩි පිටුගණනක් ඇති විශේෂාංගයන්ගෙන් අඩු දින පොතකි.
නමුත් වර්ෂය වඩාත් යහපත්ව ඔබේ දෛනික කර්තව්‍යයන්  පෙර සිටම සැලසුම් කර ඒවා මග නොහරින්නට ඔබ වැඩි අවධානයක් යොමු කරන අයෙකු නම් මුලින්ම ඔබේ අවශ්‍යතාවන් හඳුනාගත යුතු වේ.
එහිදී ඔබට අවශ්‍ය වන දින පොතට ඇතුළු විය යුතු විශේෂාංගයන් මොනවාද? යන්න පිළිබඳ දළ අදහසක් ඔබ තුළ තිබිය යුතුවේ.

ඔබට අවශ්‍ය වන්නේ  appointments පමණක් සටහන් කරගැනීමට විය හැකිය. එසේ නැතහොත් ඔබට සවිස්තරාත්මකව සැලසුම් සටහන් කරගැනීමට අවශ්‍යතාවක් තිබිය හැකිය.
තවද පවුලේ සියලුම දෙනාව ඔබේ සැලසුම් යටතට ගෙන සටහන් තබාගැනීමට ඔබට අවශ්‍ය වනු ඇත. එසේ නැතහොත් ඔබේ පෞද්ගලික සැලසුම් පමණක් සටහන් කිරීම අවශ්‍ය වනු ඇත. මේ සියලුම අවශ්‍යතා නිවැරදි ලෙස අවබෝධ කර අවසන්වූ පසු ඔබ Dairy / planner එකක් තෝරා ගැනීම වටී.

ප්‍රමාණය

මට අවශ්‍ය වන්නේ මගේ අත්බෑගයට ගැළපෙන ප්‍රමාණයකට සැකසූ ඩයරියකි. එවිට  එය ඕනෑම තැනක රැගෙන යෑමට පහසුවේ. ඒ අනුව A5 ප්‍රමාණයක් මට වඩාත් ගැළපේ. කෙසේ වෙතත්, ඔබට විශාල රැස්වීමක් හෝ හමුවීම් වැඩි ගණනක් සටහන් කිරීමට සිදුවන්නේ නම් හෝ ඔබට විශාල පවුලක් සිටීනම් සහ ක්‍රීඩා කටයුතුවල නියැළීමට සිදුවුවහොත්, දරුවන්ගේ පාසල් ක්‍රියාකාරකම් හා පාසල් ඉසව්වන් පිළිබඳව ඔබට බොහෝ සටහන් ගැනීමට සිදුවුවහොත්, වඩා විශාල ඩයරියක් ඔබට තෝරා ගැනීමට සිදුවනු ඇත. ඒ අනුව ඩයරියේ සෑම දිනක් සඳහාම කොපමණ ඉඩ ප්‍රමාණයක් වෙන් කර ඇතිදැයි සොයා බලා එය ප්‍රමාණවත්ද යන්න පිළිබඳව විනිශ්චයක් කරන්න. 

ඔබට ලිවීමට ප්‍රමාණවත් ඉඩක් ඇති බව තහවුරු කර ගැනීම සඳහා රේඛාවල ප්‍රමාණය සලකා බැලීම පවා සිදුකළ යුතු වන අතර, විශේෂයෙන් ඔබට විශාල අත්අකුරු තිබේ නම් මෙය පිළිබඳව වඩාත් සැලකිළිමත් විය යුතුවේ.

බර

මගේ අත්බෑගය තරමක් බර විය හැකි බැවින් විශාල දිනපොතක් එක් කිරීමට මට අවශ්‍ය නැත. ඒ නිසාම පටු A5 ප්‍රමාණයේ දිනපොතක් යළි මගේ තේරීම බවට පත්වනු ඇත. මන්ද එය බර හෝ විශාල නොවන බැවිනි. දිනපොත විශාල වන තරමට එය බරින් වැඩි වන අතර, ඒ සඳහා ඔබේ බෑගයේ වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. 
පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන අයෙකු නම් සෑමවිටම අත්බෑගයේ සැහැල්ලුව පිළිබඳව සලකා බලා අත්බෑගයට එක්කරගන්නා දේවල් තීරණය කරනු ලබයි. නමුත් ඔබ පෞද්ගලික වාහනයක් දෛනික භාවිත කරන අයෙකු නම් ඔබගේ අවශ්‍යතාවන්ට අනුව විශාල හෝ බර වැඩි දින පොතක් තෝරා ගැනීමට පුළුවන.

ගුණාත්මකභාවය

 නිතරම දින පොත පෙරළමින් සැලසුම් කළ වැඩකටයුතු මග නොහරින්නට කටයුතු කරන අයෙකු නම් ඉහළ ගුණාත්මක බවක් ඇති ඩයරියක් තෝරාගත යුතුවේ. විශේෂයෙන් මුළු වසර පුරාම කොළ නොගැළවෙන ලෙස අමුණා තිබේදැයි යන්න පිළිබඳ සොයා බැලිය යුතුය. එසේම පිටු එකට බැඳී ඇති ආකාරය සලකා බලා කඩදාසි වල ගණකම පිරික්සා බැලිය යුතුය. මන්දයත් තීන්ත බොඳවීම සිදුවුවහොත් ඔබට අත්විඳින්නට සිදුවන්නේ කනස්සල්ලකි.

පිටු සැලසුම

මෙය බොහෝ දුරට ඔබගේ දිනපොතේ සටහන් කිරීමට කොපමණ ඉඩ ප්‍රමාණයක් වෙන්කර ඇතිද යන්න මත රඳා පවතී. පිටු 02ක් පුරා සතියක විස්තර සටහන් කිරීමට හැකි ආකාරයෙන් පිටු සකස් කර ඇති ඩයරියකට මම කැමති වන්නේ එවිට මට මුළු සතියේම සැලසුම් එකවර දැකගත හැකිවන බැවිනි. නමුත් ඔබට කොපමණ ප්‍රමාණයක් දෛනිකව සටහන් කරගත යුතුද යන්න සහ ඔබ කළමනාකරණය කළ යුතු පවුලේ සාමාජිකයන් කොපමණ ද යන්න මත පදනම්ව, ඔබට එක් දිනකට එක් පිටුවක් හෝ දින 2කට එක් පිටුවක් වෙන් කර පිටු සැකසුම සිදුකළ ඩයරියකට ඔබ වැඩි කැමැත්තක් දැක්විය හැකිය. ඔබට දෛනික සැලසුම් සටහන් කිරීම සඳහා හිස් පිටු හෝ වෙනත් විශේෂ Notes සහ ලිපිනයන්, දුරකථන අංක සටහන් කිරීමට වෙනමම කොටසක් අවශ්‍ය දැයි කල්පනා කර බැලිය යුතුවේ.

පෙනුම 

බොහෝ දේ මෙන්ම දින පොත්ද විවිධ හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් නිර්මාණය වේ. මම අඳුරු ආවරණයක් සහිත දින පොතක් සඳහා නැඹුරුවන්නේ අවුරුද්දේ වැඩිම කාලයක් එය මගේ අත්බෑගයේ බහා තබන බැවිණි. නමුත් ඔබ වර්ණවලට ඇලුම් කරන්නේ නම්, ඔබට ප්‍රිය කරන අලංකාර දින පොතක් මිලට ගත හැකිය. එවිට ඔබ එය ප්‍රියමනාපව භාවිත කිරීමට වැඩි ඉඩක් පවතී.

කවරය

මම සාමාන්‍යයෙන් ප්ලාස්ටික් හෝ වයිනයිල් ආවරණයක් සහිත කවරයක් ඇති දිනපොතක් තෝරා ගන්නේ එමගින් ඇතුළත පිටු හොඳින් ආරක්ෂා වන බැවිනි. මෙම වර්ගයේ ආවරණ පිරිසුදු කිරීමටද පහසු වන අතර, පැල්ලම් ඉවත් කිරීම වඩාත් පහසුවේ.

වියදම

දින පොතක් මිලදී ගැනීමේදී අධික මුදලක් වැය කිරීම යනු එතරම් සුදුසු දෙයක් නොවේ. තමන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සාධාරණ මිලකට ඇති දිනපොතක් තෝරා ගැනීමෙන් ඔබේ අවශ්‍යතාවන් වඩාත් සාර්ථකව සැලසුම් කිරීමට ඔබට හැකිවනු ඇත.
නදීශානි පතිරණ

 



Recommended Articles