Intelligence, Personality, Inner Beauty all important for a Beauty Queen


මෙවර ජපානයේ පැවැති Miss International රූප රාජිනී තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ මෙරට රූප රාජිනිය ලෙස කිරුළු දැරූ පවනි විතානය. මෙවර සමස්ත තරගාවලිය අතර තුර විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද පවනි වෙත වැඩි අවධානයක් යොමු කර තිබෙනු දැකගත හැකිවිය. ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබමින් ඇය කිරුළට හිමිකම් කීම සඳහා තෝරාගත් අවසන් රූමතියන් 15 දෙනා අතරට එක්වූයේ යම් සේද, දේශීය ඇඳුම් විලාසිතා අනුඅංශයේ හොඳම ඇඳුම් නිර්මාණ හත අතරටද ඇය නිරූපණය කළ දේශීය අනන්‍යතාවෙන් යුතු විලාසිතාව එක්විය. කැලණිය විශ්වවිද්‍යාලයේ  සිසුවියක වන ඇය අද %Wonder Woman^ කවරය සරසන්නීය. ඇය අප සමග මෙසේ අදහස් දැක්වූවාය. 


මෙවර Miss International තරගාවලියේ විශේෂත්වය වන්නේ ආසියාතික රටවල් අතර ලොකු තරගයක් තරගාවලිය ආරම්භ කිරීමට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ වී තිබීමයි. මෙම අවසන් තරගාවලිය ජපානයේ ආරම්භ වුණාම වඩාත් තීව්‍ර වුණා. Top 15වලට තේරී පත්වුණ රූ රැජිනියන් බොහෝමයක් ආසියාතික රටවල් නියෝජනය කළ අය වුණා. ඒ වගේම මෙවර කිරුළ දිනාගනු ලැබුවේත් ආසියානු රටක් වන තායිලන්තය විසිනුයි. ඉතින් මේ Competition එකට මුහුණදීමම මගේ ජීවිතයේ අලුත් අත්දැකීමක් බවට පත්වුණා. බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවල අවසන් 5 දෙනා අතරට එකතු වේවි යැයි අනුමාන කළ රූමතියන් පස්දෙනා අතරට මාවත් එකතු කර තිබීම පිළිබඳ ඇත්තටම මට ලොකු සතුටක් දැනුණා. නමුත් තරගාවලියේ තීරණ ගනු ලබන්නේ විනිසුරු මණ්ඩලයක් විසින්. ඔවුන්ගේ තීරණ ගොඩක් වෙනස්. නමුත් මම හරහා  ලංකාවේ නම විදෙස් මාධ්‍යවල සටහන් වෙනවා කියලා කියන්නේ අපේ රට ගැනයි මේ විදේශ අවධානය යොමු වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව මට ලොකු සතුටක් තිබෙනවා. 

ඔටුනුවලට මට පොඩි කාලයේ ඉඳන්ම ආසාවක් තිබුණා. මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ කළමනාකරණ පීඨයට. එහි Marketing Department එකෙන් Stylish Marketer නමින් වැඩසටහනක් සංවිධානය කරනු ලබනවා. එහිදී මට රූප රාජිනී තරගය සඳහා ඉදිරිපත් වීමට හිතුනා. ඒ අනුව මම දෙවැනි වසර සිසුවියක්ව සිටියදී එම තරගාවලියට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. ඒ වෙලාවේ මට බ්‍රයන් කොර්කෝවන් මහතාව මුණගැසුණා. ඔහු තමයි මාව මෝස්තර නිරූපිකාවක් වන හීනය කරා රැගෙන ඇවිත් මේ තරම් දුරක් අරගෙන ආවේ. 

මම නිරූපණ කටයුතුවල නියැළෙන්නේ විනෝදාංශයක් විදිහටයි. විනෝදාංශයක් කියන දේ ඇතැම් වෙලාවකට තාවකාලික දෙයක් බවට පත්වෙන්න පුළුවන්. මම කැමති මගේ අධ්‍යාපනයෙන් ඉහළට යන්නයි. මම ඉගෙන ගත්ත දෙයින් ප්‍ර‘යෝජනයක් ගන්න මම ගොඩාක් කැමැතියි. වර්තමානයේ රූප රාජිනී තරගාවලි ගැන බැලුවත් රූපය විතරක් නොවෙයි ඔවුන්ගේ අධ්‍යාපනය හා පෞරුෂත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලබනවා. එයට හොඳම උදාහරණය තමයි මෙවර තේරී පත්වුණ Miss International^ජයග්‍රාහිකාව. 

ඇය ජීවිතයේ පළමු වරටයි මෙවැනි තරගයකට සහභාගි වී තිබුණේ. ඇය වෘත්තියෙන් ඖෂධවේදිනියක්. ලස්සන කියනදේ පුද්ගලයන්ට අනුව වෙනස් වෙන දෙයක්. ඉතින් අපි තුළ තිබෙන ලස්සන වගේම අපේ දැනුම, පෞරුෂය වගේම අපි කොහොමද අනිත් අයත් එක්ක වැඩ කරන්නේ, අපේ හැසිරීම මොනවගේද, අපි කොහොමද අපිව මතුකරලා පෙන්වන්නේ, කියන ඒවා ගොඩාක් දේවල් මේ වගේ තරගවලදී සොයා බලනවා. 
අපි මේ වගේ තැනක හැසිරෙන විදිහ අපේ අධ්‍යාපනය හා අපි හැදී වැඩුණු පරිසරයත් එක්කයි තීරණය වන්නේ. මම හිතන්නේ රූප රාජිනියක් වෙන්න හොඳ පෞරුෂත්වයක් තිබිය යුතුයි. එහෙම නැතිව නිරූපිකාවක් පමණක් නොවිය යුතුයි.

ලංකාවේ දැන් පොඩි පොඩි දේවල්වලටත් Beauty Pageants සංවිධානය කරනවා. අපේ රටේ වාර්ෂිකව Miss Sri Lanka කියන Title එකට පත්වෙන අය ගොඩාක් ඉන්නවා. මම සහභාගි වුණ මේ  Pageant එක ලෝකයේ පවත්වනු ලබන ප්‍රධාන රූප රාජිනී තරගාවලි අතර තුන්වැනි තැන පවතින තරගාවලියයි. මෙය ලොකු තරගයක් දෙන්න සිද්ධවෙන තරගාවලියක්. මෙවර එය පැවැත්වුණේ 59 වැනි වරටයි. හොඳ ඉතිහාසයක් මේ තරගාවලියට තිබෙනවා. මම කියන්නේ මේ මොන තරගාවලියකට සහභාගි වුණත් අපි ඒ තැන හැසිරෙන විදිහට තමයි හොඳට හෝ නරකට හේතු වෙන්නේ. 

අපිට ඒ Pageant එක ගැළපෙන්නේ නැහැ කියලා දැනෙනවා නම් එතනින් ඉවත් විය යුතුයි. නමුත් අපිට හීනයක් තියෙනවා නම් ඒ තැනට යන්න හොඳ Pageant එකක් තෝරා ගන්නත් අපිට දැනුමක් තිබිය යුතුයි. එහෙම කරන්න නම් මේ ක්ෂේත්‍රයේ නමක් තබාගෙන ඉන්න පුද්ගලයෝ කවුද ? ඔවුන් සංවිධානය කරන Pageants මොනවාද? කියන දේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එහෙම හොයලා බලලා හරි දෙයක් සිදුවන තරගාවලියකට යොමු වීමයි සිදුවිය යුත්තේ. 

අපිට හීනයක් තියෙනවා නම් ඒ හීනයට බාධාකරන්න කාටවත් ඉඩ දෙන්න එපා. Model කෙනෙක් කිව්වම අපේ රටේ තිබෙන්නේ අඩු පිළිගැනීමක්. එය තීරණය වෙන්නේ අපේ හැසිරීම මතයි. කවුරු මොනවා කිව්වත් අපේ හීනයක් තිබෙනවා නම් අපි ඒ තැනට ගමන්කළ යුතුයි. මට හීනයක් තිබුණා රූප රැජිනියක් ලෙස කිරුළක් දරන්න. ඒ හීනයට යන ගමනට මුල් කාලයේ මගේ දෙමාපියන් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් ඔවුන් පසුව තේරුම් ගත්තා මම වැරදි දෙයක් නොවෙයි මේ කරන්නේ  කියලා. ඒ අනුව මම මගේ හීනය සැබෑවක් කර ගත්තා. මම තරුණියන්ට කියන්නේ ඔබට හීනයක් තිබෙනවා නම් ඒ කරා යන්න, නිවැරදි දේ සිදුකරනවා නම් ඒ හීනය කරා යන්න බය වෙන්න එපා.

මගේ සිහිනය සැබෑ කරගන්න ගමන් කළ මාර්ගයේදී මට සහය දුන්න බ්‍රයන් කොර්කෝවන්, කමින් හේවාවිතාරණ, රුචිරා කරුණාරත්න යන අයටත් %samitha Sheek Clothes store^, %Jaff tea^ යන ආයතන හා තරගාවලිය සඳහා ඇඳුම් පැලඳුම් ආභරණ ලබාදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා මට විශාල සහයෝගයක් ලබාදුන් සියලුම දෙනාට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ හරහා Like, Commentsවලින් පවා මට මගේ සිහිනය කරා යෑමට විශාල ධෛර්යයක් ලැබුණා.



Recommended Articles