2030දී අවු. 18ට අඩු ගැහැනු ළමා විවාහකයන් අතරට අලුතින් ගැහැනු දරුවන් මිලියන 150ක්


ගෝලීය වශයෙන්, කාන්තාවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු 18 වැනි උපන්දිනයට පෙර විවාහ වන තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. මෙලෙස ගැහැනු ළමයින්ට අඩු වයසේදී විවාහ වීමට බල කරන විට ඇය ක්ෂණික මෙන්ම දිගුකාලීන ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබයි. 


මෙලෙස විවාහ පත්වන තරුණ ගැහැනු ළමයින්ට පාසල් ජීවිතය අහිමි කෙරෙන අතරම ඔවුන් ගෘහස්ථ වශයෙන් හිංසනයට ගොදුරු වීමද සිදුවෙයි. එසේම මොවුන් පරිණත වන්නට ප්‍රථමයෙන් ගර්භිණීභාවයට පත්වෙන අතරම ගර්භිණීභාවය නිසා ඇතිවන සංකූලතා මෙන්ම දරු ප්‍රසූතියේදී  ඇතිවන සංකූලතා හේතුවෙන් ජීවිතය අහිමිවන අවස්ථාද බහුලය. 
අවුරුදු 20 සම්පූර්ණ වෙන්නට ප්‍රථමයෙන් මෙලෙස මවු පදවිය ලබන යෞවනියන් හේතුවෙන් දිළිඳු බවේ චක්‍රය ආරම්භයට මග පාදන බවද එම සංවිධානය සඳහන් කරයි. ගෝලීය වශයෙන් මෙම තත්ත්වය අවසන් කිරීමේ කටයුතු දියත් කර තිබුණද ඒවායේ ප්‍රගතිය දැකගත හැක්කේ මන්දගාමීවය. 

තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීමේ වැඩසටහන යටතේ 2030 වර්ෂය වනවිට ළමා විවාහ සමස්ත ලෝකයෙන්ම තුරන් කර ගැනීමට නම් වේගවත් ගමනක අවශ්‍යතාව මතුව තිබේ.
එසේ නොමැතිව පවතින තත්ත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වුවහොත් 2030 වර්ෂය වනවිට ළමා විවාහවලට ගොදුරුවන අවුරුදු 18ට අඩු ගැහැනු ළමයින් අතරට තවත් ගැහැනු ළමයින් මිලියන 150ක් අලුතින් එකතු වනු ඇති බවට යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර ඇත.

ලොව පුරා ආදරවන්තයන්ගේ දිනයේදී ආදර සම්බන්ධතා ඇතිකර ගන්නා හා ආදර සම්බන්දතාවලට කෙරෙන ඇරයුම්වලට මුහුණ දෙන තරුණ තරුණියන් බහුලයි. නමුත් ලොව වටා සිටින දශලක්ෂයක් පමණ ගැහැනු ළමුන් මෙලෙස තමන්ගේ විවාහය තෝරාගැනීම තුළින් සිදුකරන්නේ අවාසනාවන්ත ලෙස තමන්ගේ ළමා කාලයට හා වාසනාවන්ත අනාගතයක් ලැබීමේ තත්ත්වයට අවසන් තිත තැබීම බව යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හෙන්ඩ්‍රියෙටා මහත්මිය පවසයි.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඇති විසඳුම ඉතා සරල එකක් බවත්, ඒ උදෙසා කළයුතු වන්නේ ළමා විවාහ තහනම් කිරීම බවත් ඒ මහත්මිය සඳහන් කරයි.
එසේම අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමත්, තරුණ ප්‍රජාව බලාත්මක කිරීමත්, පවුල් හා සමාජය ධනාත්මක වශයෙන් වෙනස් කිරීමත් සිදුකළ යුතු බවත්, එසේ සිදුකිරීමෙන් 2030 වර්ෂය වනවිට තර්ජිත මිලියන 150ක් වන ගැහැනු ළමයින් මෙම තත්ත්වයෙන් මුදාගත හැකි බවත් අධ්‍යක්‍ෂවරිය වැඩිදුරටත් පවසා ඇත.

ළමා විවාහ පිළිබඳ ගෝලීය තත්ත්වයන් 

ගෝලීය වශයෙන් වර්තමානයේ ජීවත්ව සිටින කාන්තාවන්ගෙන් මිලියන 650ක්ම විවාහ වී තිබෙන්නේ වයස අවුරුදු 18ට සම්පූර්ණ වීමට ප්‍රථමයෙන් බව ඇස්තමේන්තු කර ඇත.
වසරකට ළමා විවාහ මිලියන 12ක් ගෝලීයව සිදුවන බවට ගණන් බලා ඇත.
ළමා විවාහ අතරින් වැඩි ප්‍රතිශතයක් සිදුවන්නේ දකුණු ආසියානු රටවලයි. එය සමස්තයෙන් 40෴කට අධික වේ. (සංඛ්‍යාත්මකව මිලියන 285ක් ලෙස දැක්වේ.) මීළඟට ළමා විවාහ බහුල කලාපය වන්නේ අප්‍රිකානු සහරා කලාපයේ රටවලයි. එය සමස්තයෙන් 18%කට අධික වේ. (සංඛ්‍යාත්මකව මිලියන 115කි.)

ළමා විවාහ ලෝකයේ සියලුම රටවල පාහේ අඩුවෙමින් පවතියි. පසුගිය දශකය තුළ ළමා විවාහ 15%කින් අඩු වී ඇති අතර, ඉන් ළමා විවාහ මිලියන 25ක් ලොව පුරා වළක්වා ගැනීමට හැකි වී ඇත. ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමේ වැඩසටහන්, ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා නීතිය බලාත්මක කිරීමේ වැඩසටහන් මේ සඳහා වැඩි දායකත්වයක් ලබාදී ඇත.
දකුණු ආසියාතික රටවල ළමා විවාහ මේ වනවිට තුනෙන් එකක්ම අඩුකර ගැනීමට හැකි වී ඇති අතර, මීට දශක තුනක කාලයකට පෙර 50%ක්ව පැවැති තත්ත්වය මේ වනවිට 30෴ක් දක්වා අඩු වී තිබේ.
විශේෂයෙන් ඉන්දියාව තුළ සිදුවන ළමා විවාහ අවම කර ගැනීමට සිදුකළ වැඩසටහන්වල ප්‍රගතිය මෙයට බලපා ඇත.‍

දකුණු ආසියාවේ හා අප්‍රිකානු සහරානු කලාපයේ ශීඝ්‍ර‍ෙයන් ජනගහනය වර්ධනයවීමේ තත්ත්වයක් පැවතීම හේතුවෙන් ළමා විවාහ අවම කර ගැනීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කෙරෙයි.  
ලතින් ඇමෙරිකානු හා කැරිබියානු රටවල ළමා විවාහ අවම කර ගැනීම වෙනුවෙන් ප්‍රගතියක් පෙන්වන තත්ත්වයක් වාර්තා නොවෙයි.

ඉහළ ආදායම් ලබන රටවලද ළමා විවාහ සිදුවන බවට වාර්තා වන අතර, එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 තුළ අවුරුදු 18ට අඩු ළමා විවාහ වාර්තා වෙයි. 
එසේම යුරෝපා රටවල් 04ක 2017 වර්ෂයේදී විවාහ වීමේ නීත්‍යනුකූල වයස අවුරුදු 18 ලෙස දක්වමින් අවුරුදු 18ට අඩු විවාහවලට නීතියෙන් වැට බැදීම සිදුකර ඇත. 
ළමා කාලය තුළ විවාහ වීමේදී ගැහැනු ළමයෙකුගේ ජීවිතයේ බොහෝ පැතිවලින් අවදානමට ලක්ව ඇත. ඉතියෝපියාවේදී ළමා කාලය තුළ විවාහ වූ  ගැහැනු දරුවන් බොහෝ දෙනෙකු  අවුරුදු 20 වන්නට පෙර ගැබ් ගන්නා අතර, ඔවුන්ගේ ගර්භිණී සමයේ හා ප්‍රසූතියේදී ලැබිය යුතු අවම සැලකිලි පවා අහිමි වීම ඒ සඳහා කදිම නිදසුනකි.

2030 වනවිට තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ ළමා විවාහ වළක්වා ගැනීමේ අරමුණ සපුරාගැනීමට නම් පසුගිය දශකයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් තවත් 12 ගුණයකින් වේගවත්ව ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු වෙයි. 

 



Recommended Articles