සුද්දන් තැනූ ඩෙනිමට අපේ රටේ බතික් කලාව මුසු කළ පළමු කත


වසරක් ගෙවී, නව වසරට බලාපොරොත්තු ගොන්නක් සමග පා තැබුවා පමණයි. ඇත්තටම බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නෙ. ඒත් ඒ බලාපොරොත්තුවලින් කීයෙන් කීයද අපට සපුරා ගන්න පුළුවන් වෙන්නෙ. ආපස්සට හැරිලා බලන්න ගිය වසර ආරම්භයේ ඔබ බලාපොරොත්තු වූ දේවල්වලින් කීයෙන් කීයක් සාර්ථක වුණාද කියලා. සමහර විට එයින් අඩක්වත් සපුරා ගන්න නොහැකි වෙන්න ඇති. ඉතින් වසර ආරම්භයේම ඔබට මේ කියන්නට සූදානම් වෙන්නෙ ජීවිතයේ බලාපොරොත්තු ගොන්නක් සපුරාගෙන අද වෙද්දි ස්ථාවරයක් වගේම තමන්ගේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය දිරිය කාන්තාවක් ගැනයි. ඇය නමින් කාංචනා ප්‍රනාන්දු. ඇයගේ කතාවත් නිසැකවම ඔබට යම් දිරියක් වේවි. 


මොරටුව නගරයේ උපත ලබා ශ්‍රී ලාංකේය අනන්‍යතාවේ එක් සලකුණක් වූ ‘බතික්’ විලාසිතාව නව මානයකින් ලොව පුරා ව්‍යාප්ත කරන්නට කාංචනාට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. ඇය මොරටුව, රාවතාවත්ත මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයෙන් පාසල් ගමන අරඹා ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ඇතුළත් වූයේ බලාපොරොත්තු ගොන්නක් සමගයි. පාසල් ගමන සාර්ථකව නිමකර සරසවි වරම්ද ලබා ගනිමින් 2017 වර්ෂයේ හොඳම ව්‍යවසායිකාව ලෙස ඇය කිරුළු පැලඳුවාය. මේ ඇයගේ කතාවයි.

“බතික් කියන්නේ අපේ පවුලේ ව්‍යාපාරයක්. අම්මයි, තාත්තයි තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තෙ මීට වසර 30කට පමණ පෙරදී. අම්මයි, තාත්තයි කරන දේවල් මම පොඩි කාලයේ ඉඳන් දැකලා මටත් බතික් ඉගෙන ගන්න පුළුවන් වුණා. මට පොඩි කාලයේ ඉඳන් නිර්මාණවලට හැකියාවක් තිබුණා. මම කැමැති නැහැ වෙන කවුරුත් ඇඳන් යන එකක් ඇඳන් යන්න. අම්මට හොඳට මහන්න පුළුවන්. අම්මාගෙන් බලන් ඉඳලා මම හත වසරේදීම නිල ඇඳුම මහලා ඇඳන් යනවා. පන්ති යද්දි ඇඳුම් මහගෙන ඇඳන් යනවා. ඒ වගේම බතික් රෙදිකෑලි ඉතිරි වෙන ඒවායෙන් ඇඳුම් මහනවා. IMG_1492

මට මුල් කාලයේ මගේ අනාගතය ගැන ලොකු සැලසුමක් තිබුණේ නැහැ. ඉගෙන ගන්න ඕන මොනවාද කියලා දැනගෙන හිටියට මොනවාද ඊළඟට කරන්නෙ කියලා දැනගෙන හිටියේ නැහැ. එහෙම ලොකු වගකීමක් නැහැ. ගෙදරින් හැමදේම ලැබුණු නිසා. මම උසස් පෙළ සඳහා ගණිත අංශය තෝරා ගත්තා.  උසස් පෙළ ප්‍රතිඵල ආවාම මම සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සමත් නමුත් රසායන විද්‍යාව අසමත්. අසමත් වුණොත් මොකද කරන්නෙ කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සෙ මම හිතුවා දෙවැනි පාර කරන්න බැහැ කියලා. මොකද මම සංයුක්ත ගණිතයට කැමැති වුණාට අනෙක් විෂයයන්ට කැමැති නැති නිසා. පස්සෙ ඩිසයිනින් පැත්තෙන් උපාධියක් කරනවා කියලත් හිතුවා. ඊට පස්සෙ මම නැවත උසස් පෙළ කරලා සරසවි වරම් ලබා ගන්නවා ජයවර්ධනපුර සරසවියේ. ඒත් මම සරසවියේදී ‘ස්ටැට් මැත්ස්’ පරිගණක පාඨමාලාව තෝරා ගත්තා. ඒත්  පළමුවැනි දවසේ ඉඳන් ඒ එක විෂයකටවත් මම කැමැති නැහැ. ඒ වෙලාවේ හිතුණා අපරාදෙ ඩිසයිනින් කරන්න තිබුණෙ කියලා. 

කැම්පස් ඉවර කරපුවාමත් මට ඕන ඩිසයිනින් පැත්තට යන්න. ඒ කාලය වෙද්දි අපේ බිස්නස් එක ටිකක් වැටිලා තිබුණෙ. ඒ සුනාමි ඇවිත්. යුද්ධය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටිලා තිබුණා. මොකද අපි ගොඩක් බතික් නිර්මාණ කළේ සංචාරකයන් වෙනුවෙන්. අපි ඊට පස්සෙ හිතුවා සංචාරකයන් වෙනුවෙන් පමණක් කරන්නෙ නැතිව දේශීය වෙළෙඳ පොළට මොනවාද කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ අම්මා ‘ඔඩෙල්’ එකට ගිහින් කතා කරලා අපට කොහොම හරි බ්ලවුස් 400ක ඇණවුමකුත් ලැබුණා. අම්මා ඩිසයිනින් කරන එක මම මැහුවා. මොකද ඒ ඕඩර් එකේ පොඩි නූලක පවා වෙනසක් තිබුණොත් ඒ අය රිජෙක්ට් කරනවා. ඊට පස්සෙ බිස්නස් එකේ ඒ පැත්තටත් ආස හිතුණා. 

2009 අවුරුද්දෙ ‘යුනිලීවර්’ ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවා ‘සිලොන්ටා තරුවක් වෙන්න වරම්’ කියලා රියැලිටි ෂෝ එකක්. ඒ තරගයට මම ඉල්ලුම් කළා. මම ඒකට තේරුණා. මේකෙ අවසාන තරගය තිබුණෙ ජනකලා කේන්ද්‍රයේ. අවසාන තරගයේදී අපට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට නිර්මාණයක් කරලා ඉදිරිපත් කරන්න ඕන. එහිදී මම සාරි එකක් ඩිසයිනින් කළා. ඒකෙන් මම තෙවැනි ස්ථානය ගත්තා. 

පස්සේ මම කැම්පස් අවුට් වෙලා රැකියාවක් සෙව්වා. නමුත් මම ආස කළේ ඩිසයිනින් පැත්තෙන් තියෙන ජොබ් එකකටයි. නමුත් මට තිබුණෙ ඩිසයිනින් සම්බන්ධ උපාධියක් නොවූ නිසා ඒ අවස්ථා මට ලැබුණෙ නැහැ. ඊට පස්සෙ රැකියා පුහුණු වීමක් ලැබෙනවා ලෝකයේ ලොකුම පරීක්ෂණ ආයතනයක් වන නීල්සන් ආයතනය. ඒත් මම කැමැති ඩිසයිනින් පැත්තට. අපේ කැම්පස් එකේ තිබුණා ‘AIESEC’ කියලා ශිෂ්‍ය සංගමයක්. ඒක අන්තර්ජාතික සංගමයක්. අපි ඒ හරහා වෙන රටවල අය සමග ගනුදෙනු කරනවා. ඒ හරහා වෙන රටවල තිබෙන රැකියා සඳහා ඉල්ලුම් කරන්න හැකියාව තිබෙනවා. එහි තිබුණා එක් රැකියා පුරප්පාඩුවක්. ඒක ඩිසයින් හවුස් එකක් පාකිස්තාන්වල. එහි ඉල්ලලා තිබුණු සුදුසුකම් තමයි පරිගණක කළමනාකරණය සහ ඩිසයිනින් පැත්ත. ඒ දෙක එකට මුසුවන අවස්ථා හරිම අඩුයි. මේ දෙපැත්ත ගැනම මට දැනුමක් තිබුණු නිසා මම ඒ සඳහා ඉල්ලුම් කළා. මාව ඒ සඳහා තේරුණා. ඊට පස්සෙ මම පාකිස්තාන්වල අවුරුද්දක් වැඩ කරලා ලංකාවට ආවා. මට සිහිනයක් තිබුණා ‘Mas’ එකත් එක්ක සම්බන්ධ වෙන්න. මම ඒ ආයතනයට සම්බන්ධ වුණා මර්චන්ඩයිසර් කෙනෙක් විදියට. 

695A9394

මේ කාලයේ අපි පටන් ගත්තා දේශීය වෙළෙඳ පොළට සාරි ඩිසයිනින් කරන්න. මේ කාලයේ ගොඩක් වෙලාවට යාළුවො මාර්ගයෙන් තමයි ගොඩක් අය අතරට ගියේ. මේ කාලයේ ෆේස්බුක් පේජ් එකකුත් පටන් ගන්නවා ‘සනාතන බතික්’ කියලා. ඒ මාර්ගයෙන් කටින්කට ගිහින් ගොඩක් අය අතරට යන්න පුළුවන් වුණා. අම්මා බතික් ඩිසයිනින් එක කරනවා, මම පැට්න් එක හදනවා. 
මට පුළුවන් ඕන ඇඳුමක් මහන්න. මට ඒ දේවල් කරන්න හැකියාව ලැබුණේ අම්මාගෙන්. මෙහිදී මම කරන්නෙ මට ඇඳුමක් ඩිසයින් කරගෙන මම ඇඳන් යනවා. එතකොට දකින අය අහනවා කොහෙන්ද ගත්තෙ කියලා. ඒ දෙයිනුත් ගොඩක් අය දැනගත්තා අපි ඇඳුම් ඩිසයිනින් කරනවා කියලා. ඇත්තටම මට හැමදාම ඔෆිස් යද්දි අලුත් ඇඳුමක් අඳින්න ඕන. කොහොම හරි ඔෆිස් එකේ මාස දෙකක් විතර හැමදාම අලුත් ඇඳුම් මහමහ ඇන්දා. හැමදාම ඇඳුම් මහන්න බැරි නිසා පස්සෙ මම හැම සඳුදාම අලුත් ඇඳුමක් අඳින්න ගත්තා. ඒ වගේම මම හිතනවා ලස්සනට වඩා පෞරුෂය වැදගත් කියන එක. ඔෆිස් එකේ වුණත් මම අඳින්නෙ මට යන්න ඕන ඊළඟ ලෙවල් එක ගැන හිතලා. හැමදාම මට හොඳ දවසක්. මම හැමදාම ඔෆිස් යන්නෙ එකම පිළිවෙළකට. හොඳ දවස් නරක දවස් කියලා මගේ ජීවිතේ නැහැ. මට හැමදාම අලුත් දවසක්. මම ලස්සනට ඇඳගෙන ඉද්දි මට කාහරි ඉදිරියට ගිහින් කතා කරන්න පුළුවන් හැකියාව වැඩියි. ‘eye look good’ කියන හැඟීම මට හැමදාම තිබෙනවා. ඒක මගේ ආත්ම තෘප්තියක් වගේම ඒක එක පැත්තකින් මගේ විලාසිතා නිර්මාණ ප්‍රවර්ධනය කර ගැනීමක්. ඇත්තටම මම ඩිසයිනර් කෙනෙක් නම් අනිත් අය දැනගන්න ඕන මම ඩිසයිනර් කෙනෙක් කියලා. ඒ අයට මම කියලා වැඩක් නැහැ, මම ඩිසයිනර් කෙනෙක් කියලා. ඒ අය ඇවිත් අහනවා නම්, මම ඩිසයිනර් කෙනෙක් නේද කියලා ඒක තමයි සාර්ථකත්වය.
ඒ වගේම මගේ ලොකු සිහිනයක් තිබුණා විලාසිතා දැක්ම කිහිපයක් කරන්න. ලංකාවේ තිබෙනවා ෆැෂන් ෆෙස්ටිවල් එකක් ‘AOD’ (Academy of design school) කියලා. 2013 දී ඒ තරගයේ මම පළමු වටයෙන් තේරුණා. මට ඒ හරහා ‘AOD’හි විදුහල්පතිවරයා හඳුනා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම මේ ෆැෂන් ෂෝ එකේ වැඩවලට මගේ ආයතනයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔෆිස් එකේ වැඩ අපි හොඳට කරනවා නම් අපේ බාහිර දේවල්වලට ඔෆිස් එකෙන් ගොඩක් 
උදව් කරනවා. 

22894494_1547565665324199_1944937688178500884_n

ඒ ෆැෂන් ෂෝ එකෙන් පස්සෙ හැඳුනුම්කම් ගොඩක් ඇතිවුණා. ඒ හරහා අපට ඇණවුම් ගොඩක් ලැබුණා. ඊට පස්සේ 2015 දී නැවත වතාවක් ඒ තරගය පැවැත්වුණා. එහි නම වෙනස් කළා ‘Mercedes Benz Fashion Week’ කියලා. ඒ අය තමයි ලෝකෙ ගොඩක් ෆැෂන් වීක් කරන්නෙ. ඒ පාරත් තරගය පැවැත්වුණා. මම ඒ පාරත් තරගය සඳහා ඉල්ලුම් කළා. ඒ පාර තරගය ‘Sustainable Award’ කියන අංශයකින් පැවැත්වුණා. එහිදී ඔවුන් බැලුවේ ඉවතලන දෑ උපයෝගී කරගෙන සිදු කරන නිර්මාණ සම්බන්ධවයි. 
මේ තරගය සඳහා ඉදිරිපත් වූ ගොඩක් අය විලාසිතා නිර්මාණකරණය සම්බන්ධ උපාධි තිබෙන අය. ඒ අයට අලුත් අදහස් ගොඩක් තිබුණා. අපි සාමාන්‍ය දෙයක් කළාට අපට උඩට යන්න බැහැ. ඒ වගේම පළමු වටයේදී දැනගත්ත දෙයක් තමයි මිනිස්සු අවුරුද්දක් විතර පරීක්ෂණ කරලා තමයි නිර්මාණ ඉදිරිපත් කරන්නෙ. 

මම ඒ නිසා හිතුවා මොකක් හරි අලුත් දෙයක් කරන්න. එතකොට තමයි මට අදහසක් ආවේ මගේ පරණ ඩෙනිම් එකක් තිබුණා. ඒකෙ පැල්ලමක් ගෑවිලා තිබුණෙ. මට හිතුණා ඒකට බතික් එකක් කරලා බලන්න. ඊට පස්සෙ ඩෙනිම් එකට බතික් එකක් කරලා මම ඒක අඳින්න ගත්තා. ඒක ලස්සනට ආවා. මම ඊට පස්සෙ පරණ ඩෙනිම්ස් එකතු කළා. ඊට පස්සෙ ඒවා ඩිසයින් කරලා තරගයට ඉදිරිපත් කළා. ඒකට ඒ අය ගොඩක් කැමැති වුණා. ඒ තරගයෙන් මම පළමුවැනියා වුණා. ඊට පස්සෙ ගොඩක් අය මාව හඳුනා ගත්තා. 
මට ඕන වුණා ඩෙනිම් බතික් එක ප්‍රමෝට් කරන්න. මොකද ලංකාවේ ගොඩක් බතික් ඩිසයිනර්ස්ලා ඉන්නවා. ඒත් ඩෙනිම් බතික් ඩිසයිනර්ස්ලා නැහැ. ඒ වගේම කොළඹ තිබෙනවා සෑම සෙනසුරාදා, ඉරිදාවකම තිබෙන වෙළෙඳ පොළක් ‘Good Market’ කියලා. මම මගේ කතාව ලියලා මම ඒ වෙළෙඳ පොළෙහි කුටියක් ගන්න ඉල්ලුම් කළා. එහි අලෙවිකරුවෙක් වෙන්න පරිසරයට හානි නොකරන දෙයක් අලෙවි කරන්න ඕන. ඒ අතරේ ඉතිරි වෙන බතික් රෙදි කෑලිවලින් මම සෙරෙප්පු හදන්න ගත්තා. ඊට පස්සෙ මාව තෝරාගත්තා ‘Good Market’ අලෙවිකරුවෙක් විදියට. ඒ හරහා ගොඩක් පාරිභෝගිකයො පිරිසක් ලැබුණා. අපි ඩෙනිම් බතික් මාකට් කළේ ‘පරණ ඩෙනිම ගෙනත් දෙන්න. සතියකින් අලුත් ඩෙනිමක් දෙනවා’ කියලා. ඊට පස්සෙ අපට ගොඩක් අය පරණ ඩෙනිම් ගෙනත් දුන්නා. 
2016 දී මට සහකාර කළමනාකරුවෙකු විදියට උසස් වීමක් ලැබෙනවා. ඒකට හේතුවක් තමයි මම ඔෆිස් එකේ වැඩයි, මේ වැඩයි දෙකම සමබරව කරගෙන යන එක. මගේ ආයතනය වන ‘Mas’ ආයතනයේ විශාල පිරිසක් සේවය කරන්නෙ කාන්තාවන්. ඒ නිසා අපේ ආයතනය හැම විටම උත්සාහ කරනවා කාන්තාවන් නගාසිටුවන්න. ඒ වගේ දේවල්වලට විවිධ වූ වැඩමුළු පවත්වනවා. එහෙම තරගයක් තමයි ‘Women go be on’ කියන්නෙත්. අපට හිතෙනවා නම් අපට විශේෂ හැකියාවක් තිබෙනවා නම්, නායකත්ව හැකියාව තිබෙනවා කියලා අපට පුළුවන් ඒ තරග සඳහා ඉල්ලුම් කරන්න. 2017 වසරේත් මේ තරගය පැවැත්වුවා. එහි වෙනම අංශයක් තිබුණා වසරේ හොඳම ව්‍යවසායිකාව තෝරන. ඒ තරගයෙන් මම ජයග්‍රහණය ලැබුවා. ඒක විශේෂ සම්මානයක්. 
ඒ වගේම ‘2017 Mercedes Benz Fashion Week’ එක සඳහා නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. එහිදී මම නිර්මාණ එකතු දෙකක් කළා. මට අවශ්‍ය වුණේ මේ නිර්මාණ ඊළඟ මට්ටමට ගෙනියන්න. මට හිතෙනවා මේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න පුළුවන් කියලා. මොකද ඒ ඩෙනිම් බතික් එකට විදේශිකයො ගොඩක් කැමැතියි. 

23031320_1547565591990873_5672568224001662468_n

මගේ ඊළඟ ඉලක්කය තමයි මගේ විලාසිතා චීනයේ සහ ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ පොළ කරා ගෙන යෑමට ‘Pop up Stores’ සංකල්පය භාවිත කිරීම. ඒකත් හරියට ‘Good Market’ වගේ. මම ඒකට මේ වනවිට නිර්මාණ එකතුවක් සූදානම් කරගෙන යනවා. මගේ ඊළඟ සිහිනය තමයි ‘New York  Fashion Week’ එකේ මගේ නිර්මාණ එකතුවක් කරන එක. 

ඒ වගේම මගේ ළඟ දැනට වැඩ කරන්න ඉන්නෙ පස්දෙනෙක් වගේ. බතික් කර්මාන්තය පැත්තෙන් වැඩ කරන අය හොයා ගන්න හරිම අමාරුයි. මොකද මේ කාර්යය පහසු කාර්යයක් නොවන නිසා. ඒ නිසා දැන් මම වෙනම වැඩපිළිවෙළක් ලෙස කළුතර පරිවාසයක් සමග සාකච්ඡා කර තිබෙනවා. එමගින් ළමයින්ව බතික් සම්බන්ධ පුහුණුවක් ලබාදීලා ඒ අයට රැකියාවක් ලබාදීම මගේ අරමුණ වෙලා තිබෙනවා. ඒක ලොකු වගකීමක්. නමුත් ඒක හොඳ වැඩක් නිසා අපි තීරණය කළා ඒ අයට රැකියාවක් ලබා දෙන්න.* 
අද කාලයේ හොඳට අලෙවිකරණය (Marketing) පුළුවන් නම් ඕන දෙයක් විකුණන්න පුළුවන්. වැඩිපුර වැදගත් වෙන්නෙ ව්‍යාපාරයකදී ඒ දේට දක්‍ෂතාවටත් වඩා අපි කොහොමද ඒක වෙළෙඳ පොළට දාන්නෙ කියන කාරණය. මොකද මොන තරම් දක්‍ෂ ව්‍යවසායකයෙකු වුණත් වැඩක් නැහැ අපි ඒ දේ අලෙවි කරන්න දන්නෙ නැත්නම්. ඒ එක්කම තමන් ආස වෙන්නත් ඕන කරන දේට. බිස්නස් එකක් බලන පැති ගොඩක් තියෙනවා. අපි මුලින්ම හිතන්න ඕන අපි මොකද්ද කරන්න කැමැති කියලා. සමහර වෙලාවට හොඳම දෙයක් නිර්මාණය කරන කෙනා නෙමෙයි ඒ දේ හොඳට විකුණන්න පුළුවන් කෙනා සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් ලාභයක් ලබන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හැම අවුරුද්දකම සැලසුමක් තියෙන්න ඕන මොකද්ද අපි මේ අවුරුද්දෙ කරන්නෙ කියලා. මේ අවුරුද්දෙ සමහර විට ආයෝජනයක් පමණක් වෙන්න පුළුවන්. ලබන අවුරුද්දෙ අපි ලාභ ලබන්නෙ කොහොමද කියලා හිතන්න අවශ්‍යයි. ඉස්සෙල්ලාම කරන්න ඕන බය නැතිකර ගන්න එක. මොකද ව්‍යාපාරයක් කියන්නෙ වගකීමක්. සමහර වෙලාවට ව්‍යාපාරය සාර්ථක වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. තමන්ට සිහිනයක් තියෙනවා නම්, මට මේ දේ කරන්න ඕන කියලා. ඒ දේ සාර්ථක කර ගන්න අපහසු වෙන එකක් නැහැ. 

අප මේ ඔබට පැවසුවේ ඇයගේ සාර්ථකත්වයේ කතාවයි. ඇත්තටම ඔබේ ජීවිතයට ඇයගේ මේ කතාව වැදගත් වේවි. මේ ලැබූ නව වසර අලුත් විදියකින් අරඹන්න පන්නරයක් වේවි. ඒ නිසා ‘අද’ අප කාංචනාට වගේම ඔබටත් ඔබේ බලාපොරොත්තු ඉටුවන වසරක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. 
ඔබට ජය.

695A9402 695A9416 23167778_1853487324691501_5556729386299926123_n 23172391_1547565675324198_7513947234390472740_n

 



Recommended Articles