සීනිවලට අැබ්බැහි වන්නට පෙර


අප තවමත් ගෙවා දමන්නේ ජාතික පෝෂණ මාසයයි. මෙවර පෝෂණ මාසයේ තේමාව වී ඇත්තේ සීනි නැතිව රස බලමු යන්නයි. සීනි රසට ඇබ්බැහිවූවන් වැඩි පිරිසක් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් කළ හැකි වන්නේ සීනි අඩංගු කේක්, බිස්කට්, ඩෝනට්, ටොෆී ආදී කෑම වර්ග මෙන්ම සීනි අඩංගු පාන වර්ගද අප රටේ වඩාත් ජනප්‍රිය වීම හේතුවෙනි. 

නිවසේ සැමගේ සෞඛ්‍ය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ගෘහණියක ලෙස සීනිවලට පවුලේ සාමාජිකයන් ඇබ්බැහි වීමට ප්‍රථම ඔවුන් ගලවා ගැනීම ඔබේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.

පැණි රස කැවිලි වර්ගවලින් නිතර නිතර ඔබේ පවුලේ සාමාජිකයන් සතුටු කිරීමට උත්සාහ ගන්නා ඔබ දැනගත යුතුම දෙයක් වන්නේ කොකේන් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වනවාට වඩා සීනිවලට ඇබ්බැහි වීම බලවත් බවයි.

මේ හේතුවෙන්ම සීනිවලට ඇබ්බැහි වන්නට ප්‍රථමයෙන් දැනගත යුතු දෑ වගේම සීනිවලට ඇබ්බැහි වූ ඔබේ සමීපතමයන් ඉන් මුදාගන්නේ කෙසේද යන්න පිළිබඳවද දැනුවත්ව සිටීම වටී.

ඇත්තටම සීනි රසට අපි ඇබ්බැහි වෙලාද, එසේ සිදුවී ඇත්නම් සීනිවලට අපි ඇබ්බැහි වෙන්නේ කෙසේද යන්න පිළිබඳ විපරමක් පහත දැක්වේ.

සීනි ආහාරයට ගැනීමෙන් රුධිරයේ පවතින ස්නායු උත්ප්‍රේකයන් වන ඩොපමින්, ට්‍රිප්ටොෆන්, සෙරටොනින් නම් රසායනිකයන් ඉහළ යෑමක් සිදුවෙයි. මින් සෙරටොනික් රසායනිකය ශරීරයේ වේදනාවන් හා නිදිමත පාලනය කිරීමට උපකාරී වෙයි. එනිසා සෙරටොනික් මට්ටම ඉහළ යෑමෙන් පුද්ගලයෙකුට කායික හා මානසික සුවතාවක් දැනෙයි. එම නිසා බොහෝ දෙනා සීනි ආහාරයට ගැනීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි.

එසේම සීනිවලට ඇබ්බැහි වීම කොකේන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට වඩා බලවත් බව පැවසේ. මෙම මත්ද්‍රව්‍ය මගින් රුධිරයේ ඩොපැමින් රසායනිකය ඉහළ යාම සිදුවීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සිදුවන්නාක් මෙන් සීනි මගින්ද රුධිරයේ ඩොපැමින් රසායනික මට්ටම ඉහළ දමයි. මේ නිසා පුද්ගලයන් සීනිවලට ඇබ්බැහිවේ.

සීනි ආහාරයට ගැනීමේදී මිනිස් මොළය එය සිරුරට ලැබෙන තුටු පඬුරක් ලෙස බාරගනී. එසේ සිදුවන්නේ මොළයේ ඇති reward center නම් ප්‍රදේශය මගින් සීනි සිරුරට ලැබෙන ත්‍යාගයක් ලෙස අවබෝධ කරගැනීම හේතුවෙනි. මේ නිසාද සීනිවලට ඇබ්බැහි වීමක් සිදුවේ. 

යමකට ඇබ්බැහි වීමක් යනු මානසික ගැටලුවක් වන අතර, එය කායික ගැටලුවක් බවටද පත්වෙයි. කොකේන් වැනි මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීමේදී දැනෙන මානසික ගැටලු සීනි භාවිතයෙන් ඉවත් වීමේදීද දැනෙන අතර, එය කිරීමට නොහැකි දෙයක් ලෙස සිතුනද සැබැවින්ම සීනිවලට ඇබ්බැහි වීමෙන් මිදිය හැකිය.

සීනි හා පිරිපහදුකළ ආහාර සඳහා ඇබ්බැහි වීම බලවත්ව තිබුණද එයින් මිදීමට නිවැරදි පියවර අනුගමනය කරයිනම් මාසයකට අඩු කාලයකදී ඇබ්බැහි වීමෙන් නිදහස් විය හැකි බව පර්යේෂණවලින්ද ඔප්පු කර තිබේ.

සීනිවලට ඇබ්බැහි වූවකු ඉන් මුදවා ගන්නේ කෙසේද යන ගැටලුව ඔබට මීළඟට ඇති විය හැකි ගැටලුවකි. මේ සඳහා  ඔබට පියවර 7ක් අනුගමනය කළ හැක.

1. සීනි සහ සැකසූ ආහාර නිවසින් ඉවත් කරන්න

ඔබගේ මුළුතැන්ගෙයි, ශීතකරණයේ, කබඩ්වල ඇති සියලුම සීනි සහිත බීම වර්ග, කිරි පැකට්, යෝගට්, කැවිලි හා සීනි අඩංගු අනෙකුත් ආහාර  හැකි තරම් ඉවත් කිරීමටත් නැවත ඒවා නිවසට නොගෙන සිටීමටත් වග බලාගන්න. 

2. මහා පෝෂක සමබලව ඇති උදෑසන ආහාර වේලක් ගැනීම 

ප්‍රෝටීන් , කාබෝහයිඩ්‍රේට්, මේදය යන මහා පෝෂක ඇතුළු නිවැරදි පෝෂක කොටස් සිරුරට අහිමි වීමෙන් සීනිවලට ඇති දැඩි ආශාව උත්තේජනය වෙයි. මේ හේතුව නිසා මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක ඇතුළත් සමබල ආහාර වේල් ලබාගැනීමට සැමවිට උත්සාහ කළ යුතුය.

3. වැඩිපුර ජලය පානය කිරීම

දීර්ඝ කාලීනව පවතින විජලන තත්ත්වය සීනි සඳහා ඇති ආශාව වැඩිකරයි. එසේම ඉන් පරිවෘත්තීය ක්‍රියා මන්දගාමී කර  වැඩි සීනි මේදය බවට පත්කරන ලෙස සිරුර පොළඹවයි. මේ නිසා දිනකට වතුර වීදුරු අවම වශයෙන් 8ක්වත් පානය, කළ යුතු වෙයි.

4. සෞඛ්‍යමත් කෙටි ආහාරවලට හුරුවීම

බිස්කට්, ක්‍රැකර් වර්ග, යෝගට්, කේක් ආදී සීනි අධිකව අඩංගු පිරිපහදුකළ ධාන්‍ය ඇතුළත් ආහාර වෙනුවට සීනි අඩංගු නොවන කෙටි ආහාර වැඩි ප්‍රමාණයක් සකස්කර ආහාරයට ගතහැකි පංගුව බැගින්  වෙනමම භාජනවල දමා ඔබ නිවසෙන් පිටතට යනවිට රැගෙන යන්න.

දිගු වේලාවක් කුසගින්නේ සිටීමෙන් සීනිවලට ඇති ආශාව ප්‍රභලව වර්ධනය වීම, සීනිවලට තිබෙන ආශාව ඉහළ දැමීම මින් වළක්වාගත හැක.

5. හිතාමතා ශරීරයේ විවිධ චලනයන් සිදු කිරීම

සීනිවලට ඇබ්බැහි වීම නවතා ගැනීම රුධිරයේ සීනි ප්‍රමාණය සමබරව පවත්වා ගැනීම මත රඳා පවතියි. ඒ අනුව සීනි සහිත ආහාර ගත් පසු ඔබේ සිරුර සීනි ශක්තිය නිපද වීමටත් වැඩි සීනි මේදය බවට පත්කිරීමටත් යොමුවෙයි.

මේ නිසා ව්‍යායාම කිරීම මගින් රුධිරයේ ඇති වැඩි සීනි ශක්තිය ලෙස දහනය කිරීමට සරල ව්‍යායාම්, දරුවන් සමග ක්‍රීඩා කිරීම ආදිය යෝග්‍ය වේ.

6. මානසික පීඩනයෙන් ඈත් වීම

මානසික ආතතිය මගහරවා ගැනීමට මනස ඉහිල් කිරීමේ ක්‍රියාවන් ලෙස භාවනාව, මිහිරි සංගීතයට සවන්දීම, පරිසරයේ සුන්දරත්වය වින්දනය කිරීම ආදිය සිදුකළ හැකිය.එසේ නොමැති වුවහොත් සීනි සඳහා ඇති කැමැත්ත  පරාජය කිරීම ඉතා අසීරු විය හැක.

7. සුවපහසු නින්දක් ලැබීම

සීනි සඳහා තීව්‍ර ආශාවක් ඇතිවන්නේ සාමාන්‍යයෙන් දවස අවසානයේය. පර්යේෂණ අනුව සීනි සඳහා ඇල්මක් ඇති වන්නේ දෛනික රිද්මය හා නිදාගැනීමේ රටාව මතය. මේ අනුව නින්ද අඩු ඔබ සීනිවලට වැඩි වශයෙන් ඇබ්බැහි වීමක් ඇති විය හැක. මේ නිසා ගුණාත්මක නින්දක් ලබාගැනීමට හුරුවිය යුතුය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය පෝෂණ සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ රසාංජලී හෙට්ටිආරච්චි මහත්මියගේ අදහස් ඇසුරෙනි.

Desperation Sugar-addiction



Recommended Articles