තිස්සමහාරාම මහින්දපුර පදිංචි තුෂාරි සංජීවනී තම සැමියාට අත්වැලක් වෙමින් ජීවිතය ජයගැනීම සඳහා වෙහෙස මහන්සි වන දිරිය කාන්තාවකි. තම නිවසේ වැඩ කටයුතු කරන අතරම ඇයට ලැබෙන ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් විවිධ වූ ආදායම් මාර්ගවල නිරත වී සිටිති.
ඇය ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ අදහස් දැක්වූවාය. “මම පාසල් ගියේ තිස්සමහාරාම ජාතික පාසලට. එහිදී මම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලැබුවා. ඉන් අනතුරුව මම විවාහ වුණා. දැන් මට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා මුලින්ම කළේ වෙනත් කෙනෙක් යටතේ රථවාහන සර්විස් කරන මධ්‍යස්ථානයක කුලියට වැඩ කරන එක. පස්සෙ ඒ ලැබෙන ආදායම පවුලේ වියහියදම් කටයුතුවලට මදි වෙන නිසා අපි දෙන්නම කතා කරගෙන අපේම කියලා වාහන සර්විස් කරන වැඩ පොළක් දා ගත්තා,
දැන් ඒ වැඩපොළේ මගේ මහත්තයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. මම ගොඩක් දුරට කරන්නේ එතැනට සර්විස් කරන්න එන වාහන වතුර අල්ලලා සෝදන එකට උදව් වෙන එකයි, ඒවා පිහදාලා පිරිසුදු කරන ඒවා තමයි. සමහර වාහනවල පොඩි පොඩි කෑලි ගලවලා දීල මහත්තයාට උදව් කරනවා. එයා තමයි අන්තිමට වාහනේ ඔක්කොම වැඩ කටයුතු ඉවර කරලා අයිතිකාරයන්ට බාර දෙන්නේ. ඒ විතරක් නොවෙයි මම මේ අතරතුරේ ගෙදර බ්ලොග් ගල් කපලා විකිණීමත් කරනවා. බිම්මල් වගා කරලා ඒවත් ගමේ අයට විකුණනවා. අපේ ගෙදර ළමයි තුන්දෙනාටම අවශ්‍ය ඇඳුම් මහලා දෙන්නෙත් මම. ඒ අතරතුරේ තව තව ලස්සන අත්කම් නිර්මාණත් කරනවා. මට ඉඩ ලැබෙන හැම වෙලාවම මම නිකම් ඉන්නේ නැහැ. මොනවාහරි වැඩක නිරත වෙලයි ඉන්නේ.
මම ගොඩාක් කල් ඉඳලා ගමේ සමිති සමාගම්වලටත් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඒ ගැන කියද්දි මම විශේෂයෙන් මතක් කරන්න ඕන සමාජ නියාමක සංවර්ධන පදනම. ඒ ආයතනය තමයි මගේ මේ වැඩ කටයුතුවලට මුල් කාලෙ ඉඳලම අවශ්‍ය වන හැම මොහොතකදිම ණය මුදල් ලබා දුන්නේ. මේ වෙනකොට නම් මම තවත් ආයතන කීපයකින් මේ වැඩ කටයුතු සඳහා ණය මුදල් ලබාගෙන තියෙනවා. හැබැයි ඒ සියලුම ණය මුදලුත් මම නිසි පරිදි ගෙවාගෙන යනවා.
ගොඩක් අය කියනවා ගෙදර එදිනෙදා වැඩ ටික කරනකොට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ කියලා. ඒත් මට නම් කියන්න තියෙන්නේ තමන්ට වුවමනාවක් කැපවීමක් තියෙනවා නම් ඕන වැඩක් කරගන්න වෙලාවක් හදා ගන්න පුළුවන් කියන එකයි. ඒ නිසාම තමන්ගේ ගෙදරට එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් ටික හොයාගන්නත් හැකියාව ලැබෙනවා."
රෝහණ ආරියරත්න - හම්බන්තොට