සැමියාගේ සහාය නිසයි මේ දුර ආවේ


කාන්තාවකට ව්‍යවසායිකාවක ලෙස නැගී සිටීමට අභියෝගයක් වන්නේ යම් සේද, තොරතුරු තාක්ෂණය හා බැඳි ආයතනයක් ආරම්භ කිරීම අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවන්නක් බව නොරහසකි. ජංගම දුරකථනය අප රටට නුහුරු නුපුරුදු යුගයක ඇය අනාගතය පිළිබඳ නිවැරදි දෘෂ්ටියකින් පසුවීම නිසා ව්‍යවසායිකාවක ලෙස ව්‍යාපාර ලෝකය ජයගත්තාය.ඒ Z messenger නමින් ජංගම දුරකථන මෘදුකාංග හා ව්‍යාපාරික අදහස් සහිත උපායමාර්ග හඳුන්වාදීමේ ආයතනයක් ආරම්භ කරමිනි. 

වර්තමානයේ ව්‍යාපාර ලෝකයේ ඉහළ තලයක රැඳී සිටින ඇය නමින් ජයෝමි ලොකුලියන වේ. අවුරුදු 24 ක යුවතියක ලෙස ව්‍යාපාර ලොවට පිවිසි ඇය වර්තමානය වනවිට මෙරට බලවත්ම කාන්තාවන් 50 දෙනා අතර මෙන්ම අවුරුදු 40 ට අඩු බලවත් කාන්තාවන් 40 දෙනා අතරටද සිය නාමය ඇතුළත් කරගෙන ඇත්තේ සිය දූරදර්ශී හැකියාව හා මනා ව්‍යාපාරික දැනුම හේතුවෙනි. මේ ඇය තමන් පැමිණි ගමන්මග පිළිබඳ 'අද' සමග කළ සංවාදයකි.

පශු වෛද්‍යවරියක් වෙන්නයි ඕන වුණේ

මම ගල්කිස්ස ප්‍රදේශයේ හැදී වැඩුණේ. මුලින්ම ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා පසුව කොළඹ කාන්තා විද්‍යාලයට ඇතුළත් වුණා.
මම ජීව විද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඒ නිසා කවදාවත් හිතුවෙ නැහැ මම ව්‍යවසායිකාවක් වෙයි කියලා. මට ඕන වුණේ පශු වෛද්‍යවරියක් වෙන්න. නමුත් මට විශ්වවිද්‍යාල ප්‍ර‘වේශය ලැබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අංශයට. මම උසස් පෙළින් පසු ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරන්නයි අදහස් කරගෙන හිටියේ. නමුත් මම පසුව කල්පනා කළා අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක හොඳයි කියලා.

ඒ නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. නමුත් මාස කිහිපයකින් මට තේරුණා මේ මම කැමති ක්ෂේත්‍රය නොවෙයි කියලා. ඒ නිසා මම ජීවිතයේ ලොකුම තීරණයක් ගත්තා උපාධිය හැදෑරීම නතර කරන්න. ඒ වෙලාවේ මගේ යාළුවෝ ඇහුවා ඇයි මේ තරම් මහන්සි වෙලා විභාග සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇවිත් ඒ ගමන අතරමග නවත්වන්නේ කියලා. නමුත් මගේ තීරණය වුණේ අකමැති දෙයක නිරත වෙනවාට වඩා එතනින් ඉවත් වෙන එක හොඳයි කියලා. කොළඹට ආවට පස්සෙ මම CIM විභාගය සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කළා. ඒ අතරතුර තමයි මට ව්‍යාපාරකරණය පිළිබඳ මූලික දැනුම ලැබුණේ. මට ව්‍යාපාර දැනුම මුලින්ම අත්දකින්න ලැබුණෙ ඒ හරහායි. එහෙම ඉද්දි මට හිතුණා ව්‍යාපාර අංශයේ රැකියාවක් කරන්න ඕන කියලා.

ඒ අනුව මම ගෝල්ඩන් කී ආයතනයේ සේවය කළා. එහිදී අලෙවිකරණ අංශයේ හිටියේ මම විතරයි. ඒ අනුව මට තේරුණා මගේ දැනුම ආයතනය තුළ වර්ධනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම සමාගමේ ඉහළ කළමනාකරණයට දැනුම් දුන්නා අලෙවිකරණ සැලැස්මක් සකස් කිරීමට. ඒ අලෙවිකරණ සැලසුම් සකස් කරද්දි තමයි මට මේ ක්ෂේත්‍ර‘යේ විශාල අත්දැකීම් ලැබුණේ. ඒ අතරතුර මගේ සහායක ජනක හා දුෂී එකතු වුණා. දුෂී ඒ වෙද්දි ශාස්ත්‍රපති උපාධිය හදාරමින් හිටියා. ඔහු ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යයනය කරද්දී ඔහුට ලැබුණ මෘදුකාංග යෙදුමක් (Software Application) හරහා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් ගෙන ආවා.

මම ඒ වෙද්දි Oriflame ආයතනයේ සේවය කළේ. මම එතනින් අස්වෙලා  මේ ව්‍යාපාරය පටන්ගත්තා. මෙයට මම කැමති වුණේ මට තිබුණු නිදහස අනුව මගේ දැනුම යොදාගන්න හැකියාවක් ලැබුණ නිසයි. ඒ අනුව මම උපරිමයෙන් මගේ දැනුම යොදාගත්තා Z messenger කියන මේ ව්‍යාපාරය වැඩිදියුණු කරන්න. 2003 වර්ෂය වනවිට Mobile එක ව්‍යාපාරයකට යොදවන සංකල්පය කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක හඳුන්වාදෙන එක හරිම අභියෝගයක් වුණා. නමුත් මම මේක අතරමග අතහරින්න කැමති වුණේ නැහැ. පාරිභෝගිකයන් නැති ව්‍යාපාරයක් විදිහට ගොඩක් අය මේක හැඳින්වූවා. එක වතාවක් මම ආයතන නිලධාරීන් පිරිසක් හමුවුණා.

සාකච්ඡාවකදී ඔවුන් කිව්වා ජංගම දුරකථනය කියන්නෙ හැමෝම ළඟ තියෙන දෙයක් නොවෙයි. අපි මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන්නෙ, ඉතිං ඕක අපට ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් මම ඔවුන්ට කිව්වා සමහර වෙළෙඳ නාම තියෙනවා ඒ අතළොස්සට හඳුන්වා දිය හැකි අයුරින් කියලා. 
කොහොමහරි එහෙම මම මේ ව්‍යාපාරය අමාරුවෙන් ගොඩනගාගත්තා. මොකද ව්‍යාපාරයක් ආරම්භ කරලා මුල් අවුරුදු කීපයේ පාඩු ලැබුවාම ගොඩක් අය ඒවා අතඇරලා දානවා. නමුත් මම මේ වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරලා, හරි තීරණය අරගෙන ඉදිරියට අරගෙන ආවා. 

අලුත් දේවල් හිතන්න වෙනවා

වෙළෙඳ පොළේ පවතින ප්‍රමුඛ වෙළෙඳ නාම සන්නිවේදන මාධ්‍යයක් ලෙස ජංගම දුරකථන භාවිත කරන තත්ත්වයක් දැන් ගොඩනැගිලා. අපි Z Messenger ආයතනය තුළින් ඔවුන්ට අවශ්‍ය මෘදුකාංග, අදහස් හා උපායමාර්ග හඳුන්වා දෙනවා.ඒ වගේම විවිධ ආයතන මගින් ජං‘ගම දුරකථනවලට විවිධ තොරතුරු බෙදාහැරීම සිදුකරනවා. උදාහරණ ලෙස ජනප්‍රිය තරු පිළිබඳ තොරතුරු, ඉංග්‍රීසි දැනුම, ජ්‍යෝතිෂ දැනුම, ප්‍රවෘත්ති වගේ දේවල් ජංගම දුරකථන හරහා බෙදාහැරීම පිළිබඳ අවශ්‍ය මෘදුකාංග සැකසීම, අදහස් හා උපායමාර්ග සකස් කිරීම අප විසින් සිදුකරනවා.

 මට මේ ආයතනයේ ප්‍රධානියා විදිහට අලුත් දේවල් හිතන්න වෙනවා. මොකද ගිය අවුරුද්දේ වෙළෙඳ පොළේ තිබුණු ජංගම දුරකථනය නොවෙයි අද තියෙන්නේ. ඉතින් මට ලොකු වගකීමක් තියෙනවා ඉදිරියට යන තාක්ෂණයත් එක්ක කොහොමද මේ සේවාව පවත්වාගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මට ලැබෙන අභියෝග වැඩියි. මොකද තාක්ෂණය ශීඝ්‍රයෙන් වෙනස් වීම සිදුවෙන නිසා. හැබැයි මගේ ශක්තිය වෙලා තියෙන්නේ මගේ සේවක නිලධාරීන් පිරිස. මොකද සුළු ව්‍යාපාරයක් මධ්‍යම ව්‍යාපාරයක් දක්වා වර්ධනය වෙන්න ආයතනයේ සේවක මණ්ඩලය ලොකු දායකත්වයක් ලබා දෙන්න ඕන. අපේ පසුගිය අවුරුදු තුන හතරක කාලය  තුළ 100% ක වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒකට හේතුව සොයා බැලුවම මට නිවැරදි මෙන්ම දක්ෂකම් සපිරි කණ්ඩායමක් ලැබීමයි ඊට හේතු වෙලා තියෙන්නේ.

ආයතනය ආරම්භ කර වසර දෙකකින් සම්මානයට පාත්‍රවුණා

මගේ ව්‍යාපාරය ලද සම්මාන ගැන කතා කළොත් මගේ ව්‍යාපාරය ආරම්භ කළේ 2003 වර්ෂයේ. මට 2005 වර්ෂයේ ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා. මම පාරේ යද්දි දැක්කා ඡන්ද කාලසීමාවකදී මැතිවරණ ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්න කියලා දැන්වීම් අලවා තිබෙනවා. මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය  සිදුවෙන්නේ මිනිසුන් අතින්මයි. ඉතින් මම හිතුවා මිනිස්සු මුහුණදෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කරන්න යම් ක්‍රමයක් අවශ්‍යයි කියලා. එයට සුදුසුම දේ  ජංගම දුරකථනය කියලා මම හිතුවා. ඒ හරහා මම ජංගම දුරකථන යෙදුමක් නිර්මාණය කළා පැෆරල් එකත් එක්ක එකතු වෙලා. එය  2005  වර්ෂයේ පිට පලාත්වලින් පවා පාවිච්චි කරලා තොරතුරු ලබා දුන්නා.

මෙයට ප්‍රංශයෙන් අපට සම්මානයක් පිරිනැමුවා. එම වර්ෂයේම ස්ලීම් නීල්සන් ආයතනයෙන් අපට සම්මානයක් ලැබුණා. හොඳම නව නිර්මාණය වෙනුවෙන්. ඊටපස්සේ අපි බ්‍රිතාන්‍ය කවුන්සිලයත් එක්ක ඉංග්‍රීසි දැනුම බෙදාහරින්න යෙදුමක් නිර්මාණය කළා. එය සමග මිලියන අඩක පිරිසක් එකතු වෙලා ඉන්නවා. එයට ICTA සම්මාන හිමිවුණා. ඉන්පසුව ලංකාවේ බලවත්ම කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුව සකසද්දි මම එයට ඇතුළත් වුණා. එහිදී අවුරුදු 40 ට අඩු බලවත්ම කාන්තාවන් 40 දෙනා අතරටත් මම ඇතුළත් වුණා.

ආරම්භ කරද්දී අවුරුදු 24 යි

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර‘යේ රැඳී සිටින කාන්තාවන් හරිම අඩුයි. ඒ නිසා මම ඇගයීමට ලක්වුණා. මගේ ගෙදර ගැන කිව්වොත් තාත්තා නීතිඥවරයෙක්. අම්මා ගෘහණියක්. මගේ පවුලේ කවුරුත් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. ඉතින් අපට උවමනා වුණේ නීතිඥ‍, වෛද්‍ය වැනි වෘත්තියක යෙදෙන්න. නමුත් මම තුළ පොඩි කාලෙ ඉඳන් නිර්මාණශීලී හැකියාවක් තිබුණා.මගේ යාළුවෝ නෑදෑයෝ කියනවා පොඩිකාලේ ඉඳන් මම නිර්මාණශීලීයි කියලා. ඉතින් ඒ හැකියාව තමයි මගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට බලපාන්න ඇත්තේ. මම පාසල් කාලෙ හරිම නිශ්ශබ්ද චරිතයක්. ඉතින් මගේ ගුරුවරු විශ්වාස කරන එකක් නැහැ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න මට පුළුවන් වුණාද කියන එකවත්.මම ව්‍යාපාර ආරම්භ කරපු මුල් කාලයේ ලොකුම අභියෝගය වුණේ ප්‍රා‘ග්ධනය හොයාගන්න එක ගැන. අපේ අදහස්වලට මෘදුකාංගයට ලොකු ඉඩක් තිබෙයි කියන විශ්වාසය අපට තිබුණා. නමුත් අපේ දැක්ම බැංකුවලට පෙනුණෙ නැහැ. ඒ අය අපි දිහා බැලුවේ සැකෙන්. සමහර බැංකු අපට  කිව්වා ඔයාලා සුපර් මාකට් එකක් දැම්මොත් සල්ලි දෙන්නම්, මෘදුකාංග සමාගමක් නම් සල්ලි දෙන්න බෑ කියලා.

මම මේක පටන්ගනිද්දී වයස අවුරුදු 24 යි. ඉතින් මම කාන්තාවක් නිසාත් ඔවුන් මාව විශ්වාස  කළේ නැහැ මේ තරම් දුර යයි කියලා. මේ තත්ත්වය මම තේරුම්ගත්ත නිසා මගේ සහායකයන් ඒ සඳහා නිතරම යොමු කරනු ලැබුවා. මම ආයතනයේ අනෙකුත් දෑ පිළිබඳව සොයා බලනු ලැබුවා. රාජ්‍ය ආයතනවල වුණත් කාන්තාවක් ගියාම ඒ තරම් පිළිගැනීමක් නැහැ. නමුත් පෞද්ගලික අංශයේ ලොකු වෙනසක් දැක්කෙ නැහැ. ඔවුන් බැලුවෙ මොකක්ද මම හඳුන්වාදෙන සංකල්පය කියන දේ. ඉතින් මට හිතුණෙ කාන්තාවක් විදිහට යම් අදහසක් ප්‍රකාශ කළාම එය පිරිමි අයට මූලිකත්වය දෙන තැනක් නම් අපේ අදහස්වලට එතරම් සැලකිල්ලක් ලැබෙන්නෙ නැහැ. අපි කියන දේ කොතරම් නිවැරදි වුණත් ඒ අදහස්වලට ලැබෙන සැලකිල්ල අඩුයි.
එය ලංකාවේ පමණක් තිබෙන තත්ත්වයක් නොවේ. අපි එය දැනගෙන කටයුතු කරන්න අවශ්‍යයි. අපේ ආයතනය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක ආදායමක් ලබන තත්ත්වයක් පවතිනවා. අපි පසුගිය වසර කිහිපය තුළ ලබපු සාර්ථකත්වය එයයි.

මම හිතන්නේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලේසිම කාන්තා නායකත්වයකටයි. මොකද කාන්තාවක් බලන්නෙ පවුලක් එකතු කරනවා වගේ හැමෝම එකතු කරගෙන ගමනක් යන්න. පිරිමි බලන්නේ තමන්ගේ නායකත්වය තුළ අනෙක් අයව පාලනය කරන්න.මම බලන්නේ මගේ කණ්ඩායම මීළඟ පියවර දක්වා අරගෙන යන්න. ඒ නිසා අපි පසුගිය වසර හතර තුළ අපේ කණ්ඩායමේ පසුපෙළ හොඳට ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබුණා. මම අපේ ආයතනයේ සේවයට එන අයගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ගේ තනතුරු පවා මාරුකරනු ලැබුවා. 

සැමියාගෙන් ලැබුණු සහාය නිසයි මේ තරම් දුර යන්න ලැබුණේ

මගේ ජීවිතය දිහා බලලා ඇතැම් අය ගොඩනැගී තිබෙනවා. ඒ අයට මම අත දුන් අවස්ථාත් තියෙනවා. නමුත් ඇතැම් අය තමන්ගේ පවුලේ සහයෝගය නැතුව ව්‍යාපාර නවත්වලා තිබෙනවා. ඉතින් පවුලේ කටයුතුයි, ව්‍යාපාරයයි හොඳින් පවත්වන්න නම් පවුලේ සහාය අත්‍යවශ්‍යයි. මට හොඳ මෙන්ම මාව තේරුම්ගන්න ස්වාමිපුරුෂයෙක් ලැබිලා තිබෙනවා. මම ව්‍යාපාරය ආරම්භ කළාට පසුවයි මගේ ශාස්ත්‍රපති උපාධිය නිම කළේ. එවිට මගේ දෙවන පුතාට අවුරුදු දෙකක් විතර ඇති. මට සැමියාගෙන් ලැබුණු සහාය නිසයි මට මේ තරම් දුර යන්න ලැබුණෙ. ඒ වගේම මගේ දෙමවුපියන් මට සහාය ලබාදුන්නා. මගේ දරුවන්ටත් මම කියන්නෙ කාලය කළමනාකරණය කරගත්තොත් හැමදෙයක්ම කළ හැකියි. අපේ ඔළුව ඇතුළෙන් තමයි හැමදේම කළමනාකරණය කරන්නේ.

ගොඩක් අය මගෙන් අහනවා රැකියාවක් කරන එකද? ව්‍යාපාරයක් පවත්වාගෙන  යන එකද පහසු කියලා. ඉතින් මට කියන්න තියෙන්නෙ තමන්ට කැමති දෙයක් කරන්නයි අවශ්‍ය කියලා. ව්‍යවසායිකාවක් ලෙස අභියෝග තිබුණත් වෙලාව කළමනාකරණය කරගත්තොත් 9.00 සිට 5.00 දක්වා රැකියාවක නිරත වෙනවාට වඩා නිදහස්ව එය කළ හැකියි. ඒ වගේම කාන්තාවක් ලෙස දුරකථන ක්‍රියාකාරිනියක හෝ පෞද්ගලික ලේකම්වරියක ලෙස රැකියාවකට යනවාට වඩා ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න අවස්ථාවක් ලැබෙනවා නම් එම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි.

සාකල්‍යා සඳමාලි/නදීශානි පතිරණ



Recommended Articles