ශීතකරණයක නිවැරදිව ආහාර ගබඩා කරන්නෙ මෙහෙමයි


ශීතකරණය වර්තමානය වනවිට විදුලි බලය ලැබී ඇති සෑම නිවසකම පාහේ දැකගත හැකි විදුලි උපකරණයක් බවට පත්ව තිබේ. ශීතකරණය කියූ සැණින් අපට එක්වරම සිහියට නැගෙන්නේ අයිස් සහිත පෙට්ටියක් ලෙසය.  විදුලිය විසන්ධි වූ අවස්ථාවක නම් ශීතකරණයේ ඇතුළත තිබෙන ආහාරවලට කුමක් සිදුවේද යන්න අපට සිහියට නැගේ. ශීතකරණය ආහාර කල් තබාගැනීමට භාවිත කරන උපකරණයක් බව අපට සිහියට නැගෙන්නේ එවන් අවස්ථාවකය. ආහාර කල් තබාගැනීම සඳහා අප භාවිතයට ගන්නා මෙම විදුලි උපකරණය නිවැරදි අයුරෙන් පරිහරණය කිරීමෙන් එම කාර්යය මැනවින් ඉටුකරගත හැක. විශේෂයෙන් ශීතකරණය තුළ තබන ආහාර නිවැරදි ලෙස සෞඛය ආරක්ෂිතව ගබඩා කිරීම පිළිබඳවත්, ශීතකරණයේ තැබූ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව ආහාරයට ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් දැනුමක් ලබාසිටීම ඉතා වැදගත්ය.මන්දයත් ශීතකරණයේ තිබෙන ආහාර වර්ග ඔබ නිවැරදි ලෙස පරිහරණය නොකළහොත් ඔබේ සෞඛ්‍යට විවිධ හානි ඇති වීමට ඉඩක් පැවතීමයි. මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීම උදෙසා අප වයඹ විශ්වවිද්‍යාලයේ මානව පෝෂණවේද අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය රේනුක සිල්වා මහතා සම්බන්ධ කරගතිමු. මේ ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුය.


ශීතකරණයක තිබිය යුතු උෂ්ණත්වය

ගෘහාශ්‍රිතව භාවිත කරන ශීතකරණවල බොහෝවිට කුටීර දෙකක් දැකගත හැකියි. අධිශීතකරණය හා සාමාන්‍ය ශීතකරණ කොටස ලෙස මෙය බෙදා වෙන් කළ හැකියි. අධිශීතකරණ කොටසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ විස්සක් (-20ං C) විය යුතුය. සාමාන්‍ය කොටසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ හතරක (-4ං C) තිබිය යුතුය. අපේ රටේ කාමර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක විසිපහත් තිහත් අතර අගයක් ලෙස දක්වනු ලබන අතර, ඒ අනුව ශීතකරණයේ උෂ්ණත්වය ඉතා අඩු උෂ්ණත්වයක් බව ඔබට වැටහෙනු ඇති. 
මෙලෙස අධිශීතකරණයේ හා සාමාන්‍ය ශීතකරණයේ  උෂ්ණත්වයන් වෙනස්ව පැවතීමට හේතු වී තිබෙන්නේ ආහාර කල් තබාගැනීමේ කාලය අනුවයි. ඒ අනුව වැඩි කාලයක් කල් තබාගන්නා ආහාර අධිශීතකරණයේත්, අඩු කාලයක් කල් තබාගන්නා ආහාර සාමාන්‍ය ශීතකරණයේත් ගබඩා කළ හැකිය. 

ff_207-open-door

ශීතකරණයේ ආහාර කල් තබාගැනීම

ශීතකරණයේ ආහාර කල් තබාගැනීම සිදුවන ආකාර දෙකක් පවතියි. එනම් ආහාර නරක් කරන ක්ෂුද්‍ර ජීවීන් හෝ බැක්ටීරියා වර්ග විනාශ නොකර ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩාළ කිරීමෙනි. කාමර උෂ්ණත්වයට වඩා ශීත උෂ්ණත්වයකදී (-20ං C පමණ) ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හා ඔවුන්ගේ වැඩීම සම්පූර්ණයෙන්ම පාහේ අඩාළ වී යයි. තවද ආහාර නරක් වීම බැක්ටීරියා හේතුවෙන් මෙන්ම ආහාරවල පවතින එන්සයිම වර්ග නිසාද සිදුවේ. ඒ හේතුවෙන් ශීතකරණය තුළ තිබෙන ආහාර කල් ගතවීමේදී නරක් වීම සිදුවිය හැකියි. නමුත් ශීතකරණයේ පවතින අඩු උෂ්ණත්වය ආහාර නරක් කරන එන්සයිමවල ක්‍රියාකාරීත්වයද අඩාළ කිරීමක් සිදුකරයි. 

ආහාරවල පවතින බැක්ටීරියා අතරින් රෝගකාරක බැක්ටීරියා වර්ග අපගේ ශරීරගත වීම නිසා විවිධ රෝගාබාධ ඇති වීම සිදුවේ. මෙහිදී රෝග ලක්ෂණ ලෙස පාචනය, වමනය, උණ, උදරයාබාධ ආදිය දැක්විය හැක. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ ඇතැම් රෝගකාරක බැක්ටීරියා වර්ග මරණය දක්වා ඔබව රැගෙන යාමට තරම් දරුණුවීමේ හැකියාවක් පැවතීමයි.

ආහාරවල පවතින අනෙක් බැක්ටීරියා වර්ගය මගින් ආහාර නරක් කිරීම සිදුකරයි. ආහාරවල රස හා පැහැය හා ගන්ධය වෙනස්වීම මෙහිදී සිදුවේ. මෙම බැක්ටීරියා වර්ග ආහාර නරක් වුවද ලෙඩ රෝග බෝ නොකරයි. නමුත් මෙම බැක්ටීරියා වර්ග දෙකම ශීතකරණයක් තුළදී පාලනය වුවහොත් පමණක් ප්‍රියමනාප ආහාර පරිභෝජනයට සේම සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයට අවස්ථාව උදාවේ. ඒ හේතුවෙන් ආහාර ශීතකරණයට දැමීමට පෙර එනම් ආහාර වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා අවස්ථාවේදීම සැලකිලිමත් වීම උචිතය. මන්දයත් ආහාරවල බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සිදුවන්නේ නිෂ්පාදන අවස්ථාවේ සිටමය.Renuka Silva

ආහාර මිලදී ගැනීමේදී මේ ගැන සිතන්න

ආහාර නිෂ්පාදකයා තම නිෂ්පාදනය සිදුකරන ආකාරය , එය අසුරණ ආකාරය මෙන්ම වෙළඳ සැලේ එය අසුරා තිබෙන ආකාරය පිළිබඳ සැලකිලිමත් වීම මෙහිදී වටී. ඒ අනුව වෙළෙඳ සැලේ දී ආහාර නිසි අයුරෙන් ගබඩා කර නොතිබුණේ නම් ඒවා මිලදී ගෙන ශීතකරණයේ බහා තැබීමෙන් කල් තබාගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත. මේ නිසා නියමිත උෂ්ණත්වයේ ගබඩා කර තිබේද යන්න ආහාර මිලදී ගැනීමේදී පරික්ෂා කර බැලීම නුවණට හුරුය. මේ සඳහා වෙළෙඳසැලක සාමාන්‍ය ශීතකරණයේ තිබෙන ආහාර ඔබ මිලදී ගැනීමේදී, ඒවා ඇල්ලීමේදී, ඔබේ අතට ශීතලක් දැනේද යන්න බැලිය යුතුය. 

සුපිරි වෙළෙඳ සැලක නම් අදාළ ශීතකරණවල කුඩා උෂ්ණත්ව මානයක ශීතකරණයේ උෂ්ණත්වය ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිය. ඒ අනුව සාමාන්‍ය ශීතකරණයක 0ං C ත් -4ං Cත් අතර උෂ්ණත්වයක් සටහන්ව තිබෙනු දැකගත හැකිවනු ඇත. එසේම අධිශීතකරණයක නම් -20ං Cක උෂ්ණත්වය සටහන් විය යුතුය. 

නමුත් කුඩා වෙළෙඳ සැල්වල මෙලෙස පහසුකම් නොමැති නිසා විශ්වාසදායී ස්ථානවලින් ආහාර මිලදී ගැනීම නුවණට හුරුය.

මිලදී ගත් ආහාර නිවසේ ශීතකරණය තුළ ගබඩා කිරීමේදී 

ඔබ මිලදී ගත් එළවළු හා පලතුරු වර්ග අද මිලදී ගෙන අදම අනුභව කරන්නේ නම් එය වඩාත් උචිත වේ. නමුත් නිරන්තරයෙන් වෙළෙඳ පොළට ගොස් මිලදී ගැනීම් සිදුකිරීමට කාලය නොමැති නිසා ශීතකරණයේ ගබඩා කිරීම සිදුකළ යුතු වේ. එළවළු, පලතුරු අප ශීතකරණයේ සාමාන්‍ය කොටසේත්, වැඩි දින ගණනක් කල් තබාගන්නා මස් මාළු අධිශීතකරණයේත් ගබඩා කිරීම සාමාන්‍යයෙන් සිදුකරනු ලබයි. 

ශීතකරණයේ දොරේ ආහාර ගබඩා කිරීම සඳහා පහසුකම් සපයා තිබුණද දොරේ ආහාර ගබඩා කිරීම නම් එතරම් සුදුසු දෙයක් නොවේ. මන්දයත් දොර පිටතට නිරාවරණය වීම නිසා නිරන්තරයෙන් උෂ්ණත්වය වෙනස් විය හැකි වීමය. විශේෂයෙන් ඔබ බිත්තර ශීතකරණයේ තබයි නම් දොරේ ගබඩා නොකර බිත්තර අසුරණයක බහා රාක්කයක ගබඩා කිරීම නුවණට හුරුය. මන්දයත් දොරේ ගබඩා කරන බිත්තර නරක් වීමට ඉඩක් පැවතීමයි.වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා ආහාර සියල්ලම ගෙනා බෑගයේම ශීතකරණය තුළට දැමීම නොකළ යුතුය. මන්දයත් ඇතැම් ආහාර ශීතකරණයට දැමීමට පෙර ශුද්ධ කිරීම සිදුකළ යුතු බැවිනි. 

පලතුරු වර්ග ගබඩා කිරීමේදී ඒවා ආවරණය නොකර ගබඩා කිරීම සිදුකළ හැකිය. එසේම පලතුරු වර්ග ගබඩා කිරීමේදී ශීතකරණයේ බිත්තිවල ගෑවෙන ලෙස ගබඩා කිරීමෙන් පලතුරුවලට සීතල වැඩිවී ඒවාට හානි සිදුවිය හැක. කෙසෙල් වර්ග ශීතකරණයේ තැබීමෙන් පොත්ත කළු පැහැ වීම වැනි දේ සිදු වේ. මේ නිසා ඇතැම් පලතුරු වර්ග ශීතකරණයේ නොතබා කාමර උෂ්ණත්වයේ තැබිය හැකිය. එළවළු නම් ශීතකරණයේදී විජලනයට පත්ව මැලවී යා හැකිය. එහිදී එළවළුවල පෝෂණ කොටස් විනාශ වීමට හැකියාවක් ඇත. 
එළවළු ගබඩා කිරීමේදී පත්තරවලින් එතීම හෝ ප්ලාස්ටික් බෑග හෝ භාජනවල බහා ගබඩා කිරීම නුවණට හුරුය. එළවළු භාජනවල තැන්පත් කර හෝ වෙන වෙනම පොලිතීන් උරවල බහා ගබඩා කිරීම සිදුකළ හැකිය. එළවළු මිශ්‍රව ගබඩා කිරීම ආහාර නරක් වීමට හේතුවක් විය හැකි නිසා වෙන වෙනම පොලිතීන් උරවල බහා ගබඩා කිරීම යෝග්‍යය. තවද ශීතකරණය තුළ එළවළු, පලතුරු සමග මස් මාළු එකට ගබඩා කිරීම නොකළ යුතු වේ. මස්, මාළු අධිශීතකරණයේ හෝ සාමාන්‍ය ශීතකරණයේ මස් මාළු සඳහා වෙන් කළ කොටසේ ගබඩා කළ හැකිය.

lifestorage-foodstorage-1

නමුත් සාමාන්‍ය ශීතකරණයේ පවතින කොටසේ මස් මාළු ගබඩා කළ යුත්තේ අද මිලට ගත් මස් හෝ මාළු හෙට ආහාරයට ගනී නම් පමණි. ඒවාද භාජනවල අසුරා තැබිය යුතුය. දින දෙකකට වඩා කල් තබාගන්නා මස් මාළු අනිවාර්යෙන් අධිශීතකරණයේ තැබිය යුතුය. අධිශීතකරණයේ ආහාර එම ආහාර නිෂ්පාදනය කළ දිනයේ සිට අවුරුද්දක කාලයක් ගබඩා කර තැබිය හැකිය.

දියර කිරි වර්ග ශීතකරණයේ තබයි නම් නිෂ්පාදිතයා සඳහන් කර තිබෙන අයුරෙන් ශීතකරණයේ ගබඩා කිරීම සිදුකළ යුතුය. විවෘත කළ දියර කිරි ඇසුරුමක් දිනක් හෝ දින 4ක් ශීතකරණයේ තබාගත හැකිය. නමුත් ඔබ කිරි ඇසුරුම ශීතකරණයේ දොරේ ගබඩා කරයි නම් මඳක් සැලකිලිමත් විය යුතුය.

පිසූ ආහාර ශීතකරණයේ ගබඩා කරන විට සෑම විටම පියනකින් හොඳින් වැසිය හැකි බඳුන්වල දමා ගබඩා කිරීම සිදුකළ යුතුවේ. එසේ නොමැතිව ආහාර මේසයට බෙදූ දීසිවලම ශීතකරණය තුළට දැමීම සිදු නොකළ යුතුම දෙයකි. එලෙස දීසිවල ශීතකරණයේ තබයි නම් වාතය ඇතුළු නොවන ලෙස වැසීම සිදුකළ යුතුය. එසේ නොමැතිව ගබඩා කළහොත් අඩු උෂ්ණත්වයේ වුවත් ඔක්සිජන් හොඳින් ලැබෙන නිසා බැක්ටීරියා වර්ග වර්ධනය වීමක් සිදුවිය හැකිය. එයින් ආහාර නරක් වීම මෙන්ම ආහාර විෂ වීමක්ද සිදුවිය හැකිය. තවද ආහාර විවෘතව ගබඩා කිරීමෙන් ආහාරවල සුවඳ මිශ්‍ර වීමක් සිදුවිය හැකිය. උදාහරණ ලෙස කිරි හා වෑන්ජන විවෘතව ශීතකරණයේ තැබීමෙන් කිරිවලට තුනපහ සුවඳ අල්ලා තිබිය හැකිය. එසේම මස් මාළුවලින් ඉස්ම බේරී විවෘත ආහාරවලට එකතු විය හැකිය.
අධිශීතකරණයේ ආහාර ගබඩා කිරීමේදීද මස් මාළු වෙන වෙනමද, අයිස්ක්‍රීම් වෙනමද තැබිය යුතුය. අධිශීතකරණයේ තිබෙන ආහාරවල පෝෂණයට හානි වීම ඉතාම අවම ලෙස සිදුවේ. නමුත් සාමාන්‍ය ශීතකරණයේ වැඩි කාලයක් ආහාර ගබඩා කර තැබීමේදී පෝෂණය අඩු වීමක් සිදුවේ.

එසේම ආහාර කල් තබාගැනීම සඳහා භාවිත කරන ශීතකරණයේ වෙනත් දෑ ගබඩා කර තබයි නම් ඒවා සීල් කර තැබිය හැකි අසුරණවල බහා ගබඩා කිරීම සිදුකළ යුතුය. උදාහරණ ලෙස ක්‍යුටෙක්ස් බෝතල්, බෙහෙත් ද්‍රව්‍ය ආදිය සඳහන් කළ හැකිය. 
එවැනි දෑ ශීතකරණයේ ගබඩා කිරීමේදී දොර භාවිත කළ හැකිය. තවද රසායනික ද්‍රව්‍ය ශීතකරණයේ ගබඩා කිරීම නොකළ යුතුය. එසේම යම් ආහාරයක් ශීතකරණයේ අසුරා තැබීමෙන් පසු වෙනත් ආහාරයක රසක් හෝ සුවඳක් මිශ්‍ර වී තිබේ නම් එම ආහාර ආහාරයට එකතු කරගැනීම නොකළ යුතුය.

mbd105166_1109_fridge6_xl

විශේෂ තත්ත්වයක් මත රැකියාවකට යන කිරි දෙන මවක් මවුකිරි ශීතකරණයේ ගබඩා කර යයි නම් සෑම විටම සාමාන්‍ය ශීතකරණය ඒ සඳහා භාවිත කළ හැකිය. එයද වාතාශ්‍රය එකතු නොවන ලෙස අසුරා ගබඩා කළ යුතුය. මෙලෙස ගබඩා කළ මවුකිරි දරුවාට ලබාදීමට පෙර උණුසුම් කරගැනීම සඳහා උණුවතුර භාජනයක කිරි භාජනය බහා තැබීම පමණක් සිදුකළ යුතුය. එසේ නොමැතිව කිරි උණුකිරීම සඳහා භාජනය ලිපේ තැබීම හෝ උදුනක තැබීම නොකළ යුතුය. එසේම උණුසුම් කළ කිරි දරුවාට පොවා ඉතිරි වුවහොත් එය යළි ශීතකරණයේ දැමීම නොකළ යුතුය. ඒ හේතුවෙන් වේල් කිහිපයකට අවශ්‍ය මවුකිරි වෙන වෙනම අසුරා තැබිය යුතුවේ.

ශීතකරණයේ තැබූ ආහාර ආහාරයට ගැනීමේදී

සාමාන්‍ය ශීතකරණයෙන් පිටතට ගත් ආහාර මද වේලාවකින් ආහාරයට ගතහැකි උෂ්ණත්වයට පත්වෙයි. එසේ නොමැති නම් උණුසුම් කරගැනීමක් සිදුකළ හැකිය. මෙයින් ආහාර ප්‍රියමනාප ලෙස ආහාරයට ගැනීමට හැකියාවක් ලැබෙයි. එසේ නොමැතිව බැක්ටීරියා විනාශ කිරීමේ අභිප්‍රායෙන් ආහාර රත් කරයි නම් උතුරන නැත්නම් නටන උෂ්ණත්වයට රත් කිරීම කළ යුතුය.

කෙසේ නමුත් ශීතකරණයෙන් පිටතට ගෙන රත් කළ හෝ නොකළ ආහාර වැඩි වේලාවක් කෑම මේසයේ තබා ආහාරයට ගැනීමට සැලැස්වීම නුවණට හුරු නොවේ. ශීතකරණයෙන් ඉවතටගත් විගස පැයක් ඇතුළත ආහාරයටගත යුතුවේ. එසේ නොමැති නම් බැක්ටීරියා හෝ ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාකාරී විය හැකිය. එසේම මෙලෙස ඉවතට ගත් ආහාරයක් නැවත ශීතකරණයේ තබා ආහාරයට ගන්නේ නම් ඔබට පළමු වරට වඩා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අධික ආහාරයක් ආහාරයට ගැනීමට සිදුවෙයි.
මේ නිසා ඔබ ශීතකරණයට ආහාර දැමීමේදී පවුලේ සාමාජිකයන් ගණනට එක් වේලකට සෑහෙන ලෙස වෙන් වෙන්ව වෙනමම ගතහැකි ලෙස භාජනවල බහා ශීතකරණයේ දැමීම සිදුකිරීම යෝග්‍යය. උදාහරණ ලෙස ව්‍යාංජනයක් ඉරිදා පිස දවස් 3කට ආහාරයට ගැනීමට සිතා ශීතකරණයේ ගබඩා කරයි නම් ඒ ඒ දවසට ප්‍රමාණවත් ලෙස භාජන තුනක වෙන වෙනම අසුරා ගබඩා කළ යුතුය.
එසේම අමු මස් හෝ මාළු අධිශීතකරණයේ දමා කැපීමට එක් වරක් පිටතට ගෙන ශීත ඉවත් කර කැපීමෙන් පසු යළි ශීතකරණයට දැමීම, ඉන්පසු පිසීමට අවශ්‍ය වූ විට යළි ශීත ඉවත් කර අවශ්‍ය ප්‍රමාණය රැගෙන යළි ශීතකරණයට දැමීම ලෙස කිහිපවරක් ශීත ඉවත් කර යළි ශීතකරණයේ තැබීම නොකළ යුතුය.මන්ද කිරි, බිත්තර, මස්, මාළුවල පෝෂක අධික නිසා බැක්ටීරියාවල පැතිරීම වැඩිය. 

එසේම මස් හෝ මාළු අයිස් දිය වීමට තැබීමේදී එළියේ නිකන්ම වැඩි වේලාවක් තැබීම නොකළ යුතුය. මන්දයත් වැඩි වේලාවක් පිටත තැබීමේදී බැක්ටීරියා වර්ධනය අධිකව සිදුවන බැවිනි. වතුර භාජනයකට මස් හෝ මාළු දමා ශීත ඉවත් කර ගැනීමට ඔබ 
උත්සාහ ගනී නම් ඒ සඳහා උණුසුම් ජලය වෙනුවට සීත ජලය හෝ ටැප් වතුර භාවිත කළ යුතුය. උණුසුම් ජලය 
දැමීමෙන් මස් හෝ මාළු භාගෙට තැම්බීමක් සිදුවී ආහාරයට හානි සිදුවිය හැකිය. එසේම අසුරණය සමගම ජලයේ බහාලීම සිදුකළ යුතුය.
ශීතකරණයෙන් පිටතටගත් මස් හෝ මාළු මැරිනේට් කිරීම නැත්නම් ලුණු ඇඹුල් ඇල්ලීම සඳහා තැබීමට අවශ්‍ය නම් සාමාන්‍ය ශීතකරණයේ තැබීම උචිත වන අතර, කාමර උෂ්ණත්වයේ තැබීම නුසුදුසුය. උදාහරණ ලෙස කුකුල් මස් ඩෙවල් සෑදීමට අවශ්‍ය නම් කුළුබඩු එකතු කරගත් මස් භාජනයක දමා සාමාන්‍ය ශීතකරණයේ තැබීමෙන් පසු පිසීමට අවශ්‍ය මෙහොතේ පිටතට ගැනීම සිදුකළ යුතුය. 
එසේ නොමැති වුවහොත් බැක්ටීරියා වර්ධනය සිදුවේ. සාමාන්‍යයෙන් පෝෂණවේදීන්ගේ මතය වන්නේ මස් මාළු මැරිනේට් කිරීම නැත්නම් පහේ වර්ග තැවරීම සිදුකළ යුතු හොඳම ක්‍රමය වන්නේ එම මස් හෝ මාළු හොඳින් තම්බා ගැනීමෙන් පසුව වන බවයි. 
එසේම අධිශීතකරණයේ අයිස් කැට මිදීමට තිබෙන තැටිය උඩ මස් මාළු ගබඩා කර තැබීමද නොකළ යුතුය.  

ශීතකරණයේ ආහාර ගබඩා කර තැබිය හැකි දින ගණන්

එළවළු, පලතුරු හා පළාවර්ග සාමාන්‍ය ශීතකරණයේ දින 4ක් හෝ 5ක්.
අමු මාළු හා මස් සාමාන්‍ය ශීතකරණ කොටසේ දිනක් හෝ දෙකක්. අධිශීතකරණයේ නම් නිෂ්පාදිත දිනයේ සිට අවුරුද්දක්
පිසූ ආහාර සාමාන්‍ය ශීතකරණයේ උපරිම දින 4ක්
කිරි නිෂ්පාදිතයා සඳහන් කර ඇති කල් ඉකුත් වීමේ දිනය දක්වා. විවෘත කළ පසු නම් දින 4ක්

ශීතකරණයේ පවිත්‍රතාව

නිවසක නිරන්තරයෙන් පවිත්‍රව තිබිය යුතු එනම් විෂබීජ අධිකවම පවතින ස්ථානය ලෙස සඳහන් කරන්නේ වැසිකිළිය හෝ නාන කාමරයයි. ඉන් පසුව පවිත්‍රව තිබිය යුතු ස්ථානය ලෙස සඳහන් කරන්නේ ශීතකරණයයි. 
ඒ හේතුවෙන් ශීතකරණය සතියකට වරක් පිරිසුදු කළ යුතුය. මාසයකට වරක් සියලු දෑ ඉවතට ගෙන ඉවත් කළ යුතු දේ ඉවත් කර පිරිසුදු කළ යුතුය. මේ සඳහා සබන් දියර පෙඟ වූ රෙදි කඩක් භාවිත කළ හැකිය. එසේම විනාකිරි වතුරට මිශ්‍ර කර පොඟවාගත් රෙදිකඩක්ද භාවිත කළ හැක.
ශීතකරණයෙන් දුඟදක් හමයි නම් බේකිං පවුඩර්/ ආප්ප සෝඩා විවෘත කුඩා බඳුනක දමා ශීතකරණයේ දොරේ තැබිය හැකිය.
එසේ නොමැතිව වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා ශීතකරණය පිරිසුදු කිරීම නොකළ යුතුය.

මේ ගැනත් සැලකිලිමත් වන්න

විදුලිය විසන්ධි වූ අවස්ථාවක පැය දෙක තුනක් විදුලිය නොමැති නම් වැඩි වාර ගණනක් විවෘත නොකර ශීතකරණය භාවිත කළ හැකිය.
එසේ නොමැතිව අධිශීතකරණයේ මිදුණු අයිස් දිය වී යන අයුරෙන් වැඩි වේලාවක් විදුලිය විසන්ධි වී තිබුණේ නම්  ශීතකරණයේ තැබූ ආහාර භාවිතයට ගැනීම නුවණට හුරු නොවේ. මෙවැනි අවස්ථාවක අධික වේලාවක් විදුලිය විසන්ධි වන බව කලින් දැනුවත් නම් මස්, මාළු විගස කල් තබාගත හැකි අයුරෙන් පිස ගැනීම( මාළු නම් ඇඹුල්තියල් දැමීම) යෝග්‍යය.
මස් මාළු හා අධිශීතකරණයේ ගබඩා කරන ආහාර වෙළෙඳ සැලින් මිලදී ගැනීමේදී අනෙකුත් භාණ්ඩ මිලදීගෙන අවසානයේ ඒවා මිලදී ගැනීමට වග බලාගන්න.



Recommended Articles