වෘත්තියෙන් මෙන්ම තම සහජ කලා දක්ෂතාවෙන් රෝගීන් සුවපත් කරන වෛද්‍යවරිය


'ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' යන්න ලෝකයේ බෝහෝ තැන්වල සත්‍යක් වූවත් බොහෝ දේවලට සමත් අය නම් එතරම් ලෙහෙසි පහසුවෙන් සොයාගත නොහැක. වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇය දක්ෂ නර්තන විශාරදවරියකි. මේ දෙඅංශයෙන්ම ඇය කරන්නේ රෝගීන් සුවපත් කිරීම වීම තවත් සුවිශේෂී වේ. ඇයගේ 'ඉඳුවර නූපුර' නර්තන ප්‍රසංගයද පිළිකා රෝහලක් ඉදිකිරීමට ආධාර පිණිස පැවැත්වෙන්නකි. එවැනි සංවේදී හදවතක් උරුම ඈ නර්තන විශාරද වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි මහත්මියයි. තම ජීවිතයේ නොයෙක් බාධක හමුවේ නැගී සිටි ඇය අප හා කළ සාකච්ඡාවේදී 'අද' ට මෙසේ පැවසීය. 


IMG_4162417966306

Q ඔබගේ වෛද්‍ය වෘත්තිය සහ නර්තන ශිල්පය ගැන කෙටි හැඳින්වීමක් කළොත්? 

මම වෘත්තියෙන් වෛද්‍යවරියක් වගේම නර්තන විශාරදවරියක්. මම වෛද්‍ය උපාධිය ලබාගත්තේ 2012 වර්ෂයේදී කරාපිටිය වෛද්‍ය පීඨයෙන්. මම නර්තනය ප්‍රගුණ කළේ ඉන්දියාවේ භාත්කණ්ඩ සංගීත විද්‍යා පීඨයෙන්. භරත නාට්‍යම් නර්තනය පිළිබඳ විශාරද උපාධියත් එම වසරේදීම ලබාගැනීමට හැකි වුණා. දෛවයේ වාසනාවක් විදිහට මට විෂය පථයන් දෙකක උපාධි දෙකක් එකම වසරක හිමිකර ගැනීමට මට හැකිවුණා.නර්තන විශාරද විභාගය ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යම, විශාරද 01 කොටස, විශාරද 2 කොටස ආදී වශයෙන් විභාග 05ක් ඔස්සේ වසර 5ක් තුළ සාර්ථකව නිම කළා. 

Q වෛද්‍ය ක්ෂේත්‍රයේ සිසුවියක් ලෙස කලාව හැදෑරීමේදී එය ඔබට අභියෝගයක් වුණාද?

කුඩා කාලයේ ඉඳලම කලාවට මගේ සිත තුළ දැඩි ආශාවක් තිබුණා. නර්තනය හදාරන්න, එය ගවේෂණය කරමින් දැනුම එකතුකර අලුත් දේවල් කරන්න තිබූ කැමැත්ත නිසා මම වෛද්‍ය සිසුවියක් කියන මතයේ ඉඳලා කලාවෙන් අයින් වුණේ නැහැ. තමන්ගේ සිතේ තියෙන අපරිමිත කැපවීම තමයි හැමදෙයකටම බලපාන්නේ. ඒ නිසා මට මේ අංශ දෙකක ගමන් කරන ක්ෂේත්‍ර දෙකක් වුණත් ඒවා සාර්ථකව නිම කරගන්නට හැකි වුණා. 
තමන්ට යමක් අවශ්‍ය නම් ඒ දේ කොහොම හරි ලබාගන්න පුළුවන් කියන එක තමයි මට ඔප්පු කරන්න අවශ්‍ය වුණේ. වෛද්‍යවරියක් වෙලා කවුරුත් නර්තන විශාරදවරියක් වීමට සිතනවා නම් ඒ පිරිස ගොඩක් අඩුයි. නමුත් මම කියන්නේ කුමක් හෝ දෙයකට ආසයි නම් ඒ දේ අත් නොහැර කරන්න ඕන කියලා. වෛද්‍ය වෘත්තියට මෙන්ම නර්තනය ප්‍රගුණ කිරීමටත් හොඳ මොළයක් තිබිය යුතුයි. 
සම්භාව්‍ය ශාස්ත්‍රීය නර්තනය ප්‍රගුණ කරන්න අපි වෘත්තිය තුළ මනස වෙහෙසවා කරන දේම කළ යුතුයි. ඒ නිසා තමයි මට ඒ දෙකම දෙකක් නොව එකක් ලෙස සාර්ථකව කරගෙන යාමට හැකි වුණේ.
කුඩා කාලයේ සිටම ඔබ 

AID_3655

Q කලාවට කැමතිද?

පුංචි කලාකාරිනියක්, පුංචි නර්තන ශිල්පිනියක් පුංචි කාලේ සිටම මා තුළ සිටියා. නමුත් ඒ කාලයේ කලාවෙන් වැඩිපුරම දක්ෂ වුණේ නර්තනයට වඩා සංගීත පද රචනයට. මට පාසල් කාලයේ පාසල් සංගීත තරගවල රංගන 
ගී නළු ඉසව්වේ හොඳම ගී නළුවට හිමි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට හැකියාව ලැබුණා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා දින සහ සිංහල භාෂා දින ගද්‍ය රචනා සහ නිර්මාණාත්මක ලිවීම යන අංශවලින්ද ජයග්‍රහණය කිරීමට පාසල් සමයේ මට හැකියාව ලැබුණා. 
ඉංග්‍රීසි භාෂා දින තරගවල පද්‍ය ගායනා අංශයේ පළමු ස්ථානය දිනාගැනීමට හැකි වුණා. ඒ විදිහට වෙනත් ක්ෂේත්‍රවල වෙනස් තරග රැසක් ජයග්‍රහණය කිරීමට හැකි වුණා. 

Q මෙම දක්ෂතා ඔබ හිතන්නේ සහජයෙන්ම ලැබූ ඒවා ලෙසද?

අපි හරියට යමක් ප්‍රගුණ කළොත් එය සංසාරය පුරාම ගමන් කරනවා කියලා මතයක් තියෙනවා. මම හිතන්නේ මටත් මේ ලැබුණු හැකියා සංසාරය පුරාවටම ආ හැකියාවන් කියලා. මට අවුරුදු 10ක් 11ක් පමණ වෙනකොටත් ගොඩක් ලස්සනට සින්දු ලියන්න පුළුවන්. දැන් ඒවා බලනකොට මට හිතෙනවා මේ වගේ පොඩි වයසකදී මම කොහොමද ඒ වගේ නිර්මාණ කළේ කියලා. නිවැරදිව එළිසමය ගළපා ලස්සනට ලියපු කවි තියෙනවා. මම ලියු පළමු ගීතයක් මගේ ජීවිතයේ හොඳ මතක සටහනක්. මම මුල් කාලයේ කවි විතරයි ලියන්නේ. සංස්කෘතික අමාත්‍යාංශයෙන් සංවිධානය කළ විවෘත තරගයකට මගේ පළමු ගීතය රචනා කළා. 
මම නිර්මාණය කළ 'ගාමිණි ගජබා මහා පැරකුම්බා' කියන ගීතය ඒ වර්ෂයේ ජාතික රාජ්‍ය වීර දිනයේ වීර අභිමානී තේමා ගීතය වුණා. ඒ ගීතය ගායනා කළේ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ අක්කලා පිරිසක්. ප්‍රවීණ තනු රචක සේන වීරසේකරයන් එයට තනු නිර්මාණය කළා. නමුත් ඊට පසුව කාව්‍ය හා පද්‍ය රචනා‍වලට යොමු වීමට නොහැකි වුණා. අධ්‍යාපනයත් සමග මම වැඩිපුරම ආස දේ විතරක් මට කරන්න සිදුවුණා.

Q ජීව විද්‍යාව වගේ විෂයයක් තෝරා ගැනීමට ඔබේ විශේෂ හේතුවක් තිබුණද?

 අපොස සමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් සියල්ලටම විශිෂ්ට සමාර්ථ ලබාගැනීමට මට හැකි වුණා. අපේ ප්‍රදේශයේ තිබූ සම්ප්‍රදාය අනුව දක්ෂ ළමයා ජීව විද්‍යාව කළ යුතුයි කියලා මතයක් තිබුණා. ඒ නිසා මමත් ජීව විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා.
මම හැමදාම පන්තියේ පළවෙනියා. මගේ නිවස තුළ මුල සිටම ඉගෙනීමට සුදුසු පරිසරයක් තමයි තිබුණේ. මගේ අප්පච්චි පේරාදණිය වෛද්‍ය පීඨයේ සිට සිය උපාධිය සම්පූර්ණ නොකළ කෙනෙක්. ඔහු පසුව ගුරුවරයෙක් ලෙසට සේවය කළා. මගේ මවත් ගුරුවරියක්. ඒ නිසාම කුඩා කාලයේ සිටම අධ්‍යාපනයට නැඹුරු පරිසරයක් තිබුණා. මම 5 වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගැනීමට සමත් වුණා. මට එයින් කොළඹ උසස් පාසලකට පැමිණීමේ වාසනාව උදාවුණා. නමුත් මගේ මව මාව ඇය උගන්වන වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. 
එහිදීත් අධ්‍යාපන සහ සෞන්දර්ය ක්ෂේත්‍රයේ දක්ෂතා රැසක් පෙන්වීමට මට හැකිවුණා. සමහර විට සීතල කඳුකරයේ සුන්දර පැත්තක් වීම තුළින‍් කොළඹ ආවට වඩා මම කලාවට යොමු වීමට හේතුවක් වුණා. මොකද ඒ නිස්කලංක පරිසරය තුළ හොඳින් පාඩම් කිරීමට හැකි නිසා.

Q විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔබේ කලා දිවියේ සාර්ථකත්වයේ මූලාරම්භය ලෙස ඔබ හිතනවාද?

ඔව්, මම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. එම ප්‍රවේශය මගේ කලා දිවිය දලුලා වැඩීමට වේදිකාවක් වුණා. 
මම නර්තනය විෂයයක් විදිහට ඒ වනකොට හදාරලා තිබුණේ නැහැ. අප්පච්චිත් නර්තනයට මූලිකත්වය දෙනවට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දක්ෂතා ඒ විදිහටම තිබුණා. මම රුහුණු විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමග එහි පැවති වෛද්‍ය පීඨ සරසවි කලා උලෙ‍ළේදී නර්තනයෙන් පළමු ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඒ මූලාරම්භයත් සමග මම අන්තර් විශ්වවිද්‍යාල මට්ටමින්ද නර්තන තරගයන්ට සහාභාගි වී තිබෙනවා. එහිදී නර්තන වින්‍යාසයන්ට පවා ඇගයීම් හිමි වුණා.

Q ඔබ ශාස්ත්‍රීය නර්තනය හැදෑරීමට යොමු වීම පිළිබඳ කතා කළොත්? 

යමක් හොඳ වෙන්නේ අපි ඒ දක්ෂතා ඔප මට්ටම් කළහොත්. ඉතින් මම හිතුවා එය පසුව වූවත් නිවැරදිව හදාරා ඒ දැනුම එකතු කරගන්න ඕන කියන එක. එක ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද, මම එතකොට ප්‍රථම වසර වෛද්‍ය ශිෂ්‍යාවක්. නමුත් මම මේ දෙකම සමබර කරමින් නර්තනයේ් විවිධ ඉසව් සොයා යෑමට සමත් වුණා. ප්‍රවීණ නර්තනවේදී ආචාර්ය මිරෙන්ඩා හේමලතා මහත්මිය යටතේ මම නර්තනය හැදෑරුවා. ඇයගෙන් නර්තනය හැදෑරීම සඳහා මම පොඩි කාලයක් දෛනිකව වෙන් කරගත්තා. මම අවුරුදු 05 පුරාවටම මේ ක්ෂේත්‍රයන් දෙකේම දෙවල් නිවැරදිව අධ්‍යයනය කළා. 
නිරන්තර අභ්‍යාසය තුළ තමයි ශාස්ත්‍රීය කලාවන් පිහිටන්නේ. ඒ නිසා මට පුළුවන් වුණා සායනික පුහුණුවීම් හෝ දේශන සඳහා ගොස් ඉතිරි වන පොඩි වේලාව නර්තන පුහුණුවීම්වලට යොදවන්න.
මේ නිසා මම ඉතා හොඳ ප්‍රගතියක් ලැබුවා. මම භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදායට අමතරව වෙනත් නර්තන සම්ප්‍රදායන්ද ඉගෙන ගෙන තිබෙනවා. බෝල් රෑම් නර්තන සම්ප්‍රදායද විශ්වවිද්‍යාලය තුළදී හැදැරූ අතර, එහිදී අන්තර්ජාතික ලෝකඩ පදක්කම දක්වා යෑමේ හැකියාවද මට උදා වුණා. 

IMG_3731

Q ඔබ වෛද්‍ය ශාස්ත්‍රය වෘත්තියක් වශයෙන් ආරම්භ කරන්නේ කවදා සිටද?

මම 2013 වර්ෂයේ වෛද්‍ය වෘත්තිය ප්‍රථමයෙන්ම ආරම්භ කළේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සීමා වාසික වෛද්‍යවරියක ලෙසයි. ඉන්පසුව 2014 වර්ෂයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හදවත් රෝග ඒකකයේ සේවය කළා. දැනට මම ඇල්පිටිය මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ සේවය කරනවා.

Q මේ වනවිට ඔබ කර ඇති නර්තන ප්‍රසංග ගැන සඳහන් කළොත්? 

 මගේ භරත නාට්‍යම් කලඑළි මංගල්‍යද 2014 වර්ෂයේ පැවැත්වීමට හැකි වුණා. ඉන්පසුව නර්තන ශිල්පිනියක ලෙසින් ප්‍රථම වතාවට 'නර්තන සෙව්වන්දි' නමින් 2016 වර්ෂයේ  ඒක පුද්ගල ප්‍රසංගයක් ළමා හදවත් රෝගී දරුවන් වෙනුවෙන් පැවැත්වීම මගේ ජීවිතයේ සහ නර්තනයේ සුවිශේෂී මතක සටහනක්.  
නැවතත් වසර 05කට පසුව මගේ සරසවිය තුළදීම මීළඟ නර්තන ප්‍රසංගය පැවැත්වීමට මම අපේක්ෂා කරනවා. ඒ අනුව කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී %ඉඳුවර නූපුර^ නමින් එය පැවැත්වෙනවා. මෙය ලංකාවේ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් පිළිකා රෝහලක් කරාපිටියේ ඉදිකිරීමට ආධාර පතා කෙරෙන ප්‍රසංගයක්. 
ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවට ආධාර පිණිස මේ ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි. 
එය මේ මස 25 වැනි සෙනසුරාදා සවස 05.00ට ආරම්භ වෙනවා. මෙම ප්‍රසංගයේදී ප්‍රවේශ පත්‍ර මතම පදනම් නොවී පිළිකා රෝහලට ආධාර කිරීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට පිළිකා සංගමයේ නිලධාරීන් අතටම තමන්ට හැකි පුංචි හෝ ආධාරයක් ලබාදිය හැකියි.  

Q මෙවර ප්‍රසංගය පිළිකා රෝගීන් උදෙසා පැවැත්වෙන්නක්. මේ සඳහා විශේෂ හේතුවක් තිබෙනවාද?  

මගේ අම්මා පිළිකාවකින් තමයි නැතිවුණේ. මම අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාවක් වී සිටි අවධියේ තමයි මෙම සිදුවීම සිදුවුණේ. අම්මට තිබූ පිළිකා තත්ත්වය නිසා මාස 8ක් වැනි කාලයක් මගේ අම්මා ළඟ සිටින්නට වුණා. ඒ නිසා මට ඔවුන් පිළිබඳ මනා අවබෝධයක් තිබෙනවා. හොඳට කතා කරන අය පිළිකා රෝහලේ බෝධිය ළඟ සතියකට විතර පස්සේ මුණගැසෙද්දී එයාලගේ කටහඬින් තමයි මම අඳුරාගන්නේ. මිනිස් ජීවිතයේ වෙනස් වීම පිළිබඳ ගොඩක් දේ මට එයින් හම්බවුණා. ඒ සංවේදීකම නිසාම තමයි මෙවැනි දෙයක් සිදුකිරීමට මම යොමුවුණේ. 

IMG_3884

Q ඔබ වෙනත් නර්තන ශෛලීන් පිළිබඳව හදාරා තිබෙනවාද? 

වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කළත් මම නොයෙක් නර්තන ශෛලීන් හැදෑරීමට අමතක කළේ නැහැ. මම දැනට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ කතක් නර්තන කලාව හදාරනවා මෝක්ෂා සමරසූරිය මහත්මිය යටතේ. රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී බැලේ නර්තනය හැදෑරුවා. එහිදී මට රන් පදක්කමක් දිනා ගැනීමට හැකිවුණා. 

Q නර්තනයයි වෛද්‍ය ශාස්ත්‍රයයි එකට මුසුවන සුවිශේෂී දේ ගැන සඳහන් කළොත්?

නර්තනයයි වෛද්‍ය ශාස්ත්‍රයයි එකට එකතු වන නර්තන චිකිත්සාව යොදා ගැනීම. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් නර්තනය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා ව්‍යාපෘතියක් අපි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පළමු වරට ආරම්භ කර තිබෙනවා. මෙය නොයෙක් රටවල භාවිතයට ගත්තත් ලංකාවේ ප්‍රථම වතාවටයි මෙවැනි ක්‍රමයක් ආරම්භ කර තිබෙන්නේ. ඉතින් මෙය නර්තනය වගේම වෛද්‍ය වෘත්තියටත් සුවිශේෂීයි. නමුත් තවම ලංකාවේ එය පර්යේෂණාත්මක මට්ටමින් තමයි ක්‍රියාත්මක වන්නේ. එමගින් විශාල දියුණුවක් අපි දැනට දකිනවා. මෙම නර්තන චිකිත්සන කටයුතු දැනට ස්වෙච්ඡාවෙන් පවත්වාගෙන යනවා. මගේ නර්තන ගුරුමැණියන් වන මිරෙන්ඩා ගුරු මැණියන්ගේ සම්පූර්ණ සහාය මට ඒ සඳහා ලබාදීම පිළිබඳව මා අනිවාර්යෙන්ම සිහිපත් කළ යුතුයි. 

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

IMG_299630479734



Recommended Articles