වියළි කාලගුණයෙන් ආරක්ෂා වන්න


මේ දිනවල සාමාන්‍යයෙන් අපේ රටේ පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3 ත් 5 ත් අතර අගයකින් වැඩි උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්‍යාඥයන් පවසයි.ඒ අනුව පවතින වියළි කාලගුණික තත්ත්වය ඔබේ සිරුරේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙන බව නොරහසකි.

විශේෂයෙන් අපේ සමේ ඇතිවන වෙනස්කම් මෙහිදී පෙන්වාදිය හැකිය. මේ නිසාම වියළි කාලගුණයෙන් සිරුරට සිදුවන හානි වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සැලකිලිමත් විය යුතුවේ. මේ දිනවල බොහෝවිට පහත තත්ත්වයන් අත්විඳීමට ඔබට දැනටමත් සිදුවී තිබෙන්නට පුළුවන.

- අව්වට සම පිච්චීම හා දද ඇතිවීම.

- සමේ දහඩිය බිබිළි ඇතිවීම.

- සමේ කොරළ ඇතිවීම.

- තොල් වියළීම හා පැළීම.

- යටිපතුල් පැළීම හා කැසීම.

- සම වියළි ස්වභාවයක් ගැනීම.

- සම කැසීම.

- සම මතුපිට ඉරිතැළීම.

- දද, එක් සීමා (Eczema) වැනි තත්ත්ව උග්‍ර වීම.

- කල් පවතින තුවාල හා දද වැනි තත්ත්ව උග්‍ර වීම.

මෙහිදී සමේ සිදුවන වෙනස්කම් පිළිබඳ සැලකිලිමත් වෙමින් ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත් වෙයි. එමෙන්ම සමට සිදුවන හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපක්‍රම අනුගමනය කිරීමටද ඔබ සැලකිලිමත් විය යුතුය.

ඒ සඳහා ඔබට පහත උපදෙස් පිළිපැදිය හැකිය.

1) දිනකට පානය කරන ජල පරිමාව වැඩිකිරීම. (දිනකට ජලය ලීටර 06ක් වත් පානය කිරීම යෝග්‍ය වේ).

2) ජලය මෙන්ම තැඹිලි, දොඩම් වැනි දියරමය පාන වර්ග වැඩි වශයෙන් පානයට ගැනීම.

3) ඇඟ සේදීමට, නෑමට උණු ජලය භාවිතකිරීමෙන් වැළකී සාමාන්‍ය වතුර භාවිතයට ගැනීම.

4) මෘදු සබන් වර්ග පමණක් භාවිතයට ගැනීම (මේ සඳහා ළදරු සබන් වර්ග භාවිත කළ හැකිය.)

5) දිනකට තෙවරක් සමට මෘදු බේබි ක්‍රීම්වලට වඩා වැඩි තෙතමනයක් ලබාදෙන මොයිස්චරයිසර් ක්‍රීම් (moisturizer  cream) වර්ගයක් භාවිත කිරීම. උදාහරණයක් ලෙස aqueous cream වැනි රාජ්‍ය ඔසුසලෙන් ලබාගත හැකි ක්‍රීම්වර්ග භාවිත කළ හැකිය.

6) යටි පතුල් සඳහා හිතකර තෙල් සහිත ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම. (උදාහරණ Emulsifying Ointment භාවිත කළ හැකිය. මේවාද රාජ්‍ය ඔසුසලෙන් ලබාගත හැකිය).

7) තොල් වියළීම හා පැළීම වළක්වා ගැනීමට පැය දෙකකට වරක් වත් වැස්ලින් (Vaseline) වැනි ආලේපනයක් ගැල්වීම.

8) හිරු එළියට යන සෑමවිටම හිරු ආවරණ ක්‍රීම් (sun cream) වර්ගයක් අලේප කිරීම.

9) තවද තොප්පි, කුඩ වැනි අව්වෙන් ආරක්‍ෂා වීමට පාවිච්චි කරන ආවරණ පැලඳීම .

10) දරුවන්ට විනාඩි 45ක් පමණ කාලයක් වතුරේ සෙල්ලම් කිරීමට හෝ ස්නානය කිරීමට ඉඩ ලබාදීම.

11) මේ දිනවල එළිමහන් අවුරුදු උත්සව සඳහා සහභාගිවන්නේ නම් විජලන තත්ත්ව වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගැනීම ආදියද සිදුකළ යුතු වෙයි.

උපදෙස් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා මහත්මියගෙනි.

cracked_feet woman-in-hot-heat



Recommended Articles