විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ ලොව ප්‍රථම සම්මන්ත්‍රණය 'Tradmed International 2017 '


ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ලාංකිකයන්ගේ ඉංජිනේරු ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය ආදී මේ සෑම දෙයකටම සාපේක්ෂව දේශීය වෛද්‍ය ශාස්ත්‍රයද ඉතා දියුණු මට්ටමක පැවැති බව ඓතිහාසික මූලාශ්‍ර ගවේෂණයේදී අපට මැනවින් පැහැදිලි වේ.

ආදී ජනයා ස්වාභාවික ශාක සාරයන් මුසුකර තැනූ ඔසු මගින් රෝග සුවපත් කළ අතර, අනුභව කරන ආහාරය පවා ස්වාභාවික දේ වලින් සකස් කරගැනීමට ඔවුහු සැලකිලිමත් වූහ. එනිසා ඔවුන්ට අද මෙන් විවිධ අතුරු ආබාධ කිසිවක් එකල හටනොගැනිණි.
නමුත් අද මෙයට වඩා සංකීර්ණ ක්‍රියාවලියකට මිනිසා භාජනය වී ඇත. ඔවුන්ට සෑදෙන රෝග හමුවේ ප්‍රතිකාර සෙවීමට පවා දැන් දැන් අපහසු වී තිබේ. මේ අයුරින් නවීන තාක්ෂණය හමුවේ කඩිනම් රෝග සුවකිරීම් සඳහා ජනතාව යොමු වීම මගින් ආදී මිනිසාගේ ව්‍යවහාරික යහපත් ක්‍රියාකාරකම් මෙන්ම දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමද යටපත් විය. 
නූතනයේ ලාංකිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින අගාධයට යන අතර, විවිධ ක්ෂේත්‍රයන් සඳහා ගෙන්වන ඖෂධ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව තිබේ. 
අතීතයේ අප නීරෝගිමත්, ශක්තිමත් ජාතියක් බවට පසක් කළේ අපගේ පාරම්පරික දේශීය වෙදකම නිසාවෙනි. අප අපතේ යවන්නේ අපගේම සම්පත්ය. අත්දැකීම් බහුල දේශීය වෙදකමේ ඇති රෝග සුවපත් කිරීමේ ගුණය ප්‍රයෝජනයට ගනිමින් දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය ඇති කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන තිබේ. 
එය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්ව සංවිධානය කළ 'සාම්ප්‍රදායික හා අනුපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපන සහ වෙළෙඳ ප්‍රදර්ශනය'  ' Tradmed International 2017' අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා (23දා) කොළඹ 'වෝටර්ස් එජ්' පරිශ්‍රයේදී ආරම්භ විය.  
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත මෙම වෛද්‍ය ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම් විය. මෙය විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ ලොව ප්‍රථම සම්මන්ත්‍රණය වීමද සුවිශේෂී කාරණයකි.

76212
පර්යේෂණ ප්‍රකාශන 303ක් මෙහිදී සාකච්ඡාවට භාජනය කළ අතර, පුස්කොළ පොත් 600ක් සිංහලයට පරිවර්තනය කිරීමේ සාරාංශගත ග්‍රන්ථයක්ද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි.
දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ දැනුම සහ අත්දැකීම් පමණක් නොව ලෝකයේ අනෙක් රටවල දේශීය ඖෂධ භාවිත වන ආකාරය පිළිබඳවද අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව මේ හරහා උදා විය.
දෙස් විදෙස් නියෝජිතයන් 1800ක් පමණ මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටි අතර, ඉන් 400ක් විදේශීය නියෝජිතයන් විය. ඒ අනුව ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉරානය, නයිජීරියාව, තායිලන්තය, හාවඩ් වෛද්‍ය විද්‍යාලය, AIST, ජපානය ආදී විදේශීය රටවල් මේ සඳහා සහාභාගි විය. 
මේ සෑම රටක්ම සහ ආයතනයක් සඳහා කුටීරයක් හිමි වූ අතර, අන්තර්ජාතික ප්‍රදර්ශකයන් ඇතුළු ප්‍රදර්ශන කූටීර 120ක් මෙයට ඇතුළත් විය. 
තෙදිනක් පුරා පැවැති මෙම වෛද්‍ය ප්‍රදර්ශනය වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට පමණක් නොව, පාසල් ළමුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථියන්ට, ගෘහණියන්ට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් යෙදෙනන්න්ට අලුත් නිෂ්පාදන හඳුනා ගනිමින් ඒවා කෙරේ යොමු වීමට දොරගුළු විවිර කරන්නක් විය. 
දැන් දැන් සාම්ප්‍රදායික හා දේශීය වෛද්‍ය සේවා හා ඖෂධ සඳහා පවතින ඉල්ලුම පුළුල් වෙමින් පවතී. ඒ අනුව 2015 වර්ෂය වනවිට ගෝලීය සුභසාධක ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.7කි. එහිදී, 


01. රූපලාවණ්‍ය සහ ඖෂධ ප්‍රතිකාර - ඩොලර් බිලියන 999ක්
02. අනුපූරක සහ විකල්ප වෛද්‍ය විද්‍යාව - ඩොලර් බිලියන 199ක්
03. ස්පා කර්මාන්තය - ඩොලර් බිලියන 99ක්
04. ශාරීරික සහ මානසික යෝග්‍යතාව (යෝග සහ භාවනා) - ඩොලර් බිලියන 542ක්
05. පෝෂණ හා සෞඛ්‍ය සම්පන්න පෝෂණය (ශ්‍රී ලාංකික තේ, ස්වාභාවික ඖෂධ, කුළු බඩු, කුරුඳු) - ඩොලර් බිලියන 648ක් 

සඳහා මේවා බෙදා වෙන් කර තිබේ.

23795554_10155481240749130_5847813980480444125_n
නමුත් මෙම ක්ෂේත්‍රයන් සඳහා දේශීය දේ යොදා ගැනීමට හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා මෙම ව්‍යාප්ත ගෝලීය වෙළෙඳ පොළට දායක වීමට ජෛව විවිධත්වයෙන් අධික රටක් ලෙස ලංකාවට මහඟු අවස්ථාවක් මෙමගින් උදා කරගැනීම අපහසු ක්‍රියාදාමයක් නොවේ. 
අපෙන් කෙමෙන් කෙමෙන් තුරන් වී යන දේශීය ඖෂධ වර්ග කර්මාන්තය සඳහා දිරි ගැන්වීමක් ලබාදීම මගින් එය නැවත අපේ සමාජය නීරෝගිමත් කිරීම සඳහා යොදාගත යුතුය. 
නූතනයේ පාසල් ළමයා පවා %දියවැඩියා^ රෝගයට ගොදුරු වී සිටින අතර, අද සමාජයේ බහුතරයක් දෙනා %කොලොස්ටරෝල්^ රෝගයෙන්ද පසුවේ. අද නිරන්තරයෙන් මිනිසුන් ගොදුරු වන ඇල්සයිමර්, පාකින්සන්, අංශභාගය, දියවැඩියාව ආදී බොහෝ රෝගයන් නිට්ටාවටම සුව කළ නොහැකිය. යම්තාක් පාලනයක් සඳහා බෙහෙත් නියම කිරීමක් පමණක් බටහිර වෛද්‍ය ක්‍රමය මගින් සිදුකෙරේ.
එම නිසා නූතන විද්‍යාව ජයග්‍රහණය කර ඇති බවක් අපට පැවසීමේ හැකියාවක් නොමැත. අපගේ දේශීය වටිනාකම දැන එය භාවිතය තුළින් සුභසාධක කටයුතු සඳහා විදේශ රටවලට ඇදී යන මුදල් ඉතිරි කරගත හැකි මෙන්ම එය දේශීය වෛද්‍ය ශාස්ත්‍රය නැංවීම කෙරේ ආයෝජනයක් කළ හැකිය. 

මෙම සම්මන්ත්‍රණය අවසානයේදී 'කොළඹ ප්‍රකාශනය'ට අත්සන් කිරීම සිදුකළ අතර, එය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25දා) පස්වරුවේදී සිදුවිය.

එම ප්‍රකාශනයට සෞඛ්‍ය ප්‍රවර්ධනයට, රෝග නිවාරණයට සහ කළමනාකරණයට ජාතික සෞඛ්‍ය සේවය වැඩිදියුණු කිරීම සහ ශක්තිමත් කිරීමට කැපවීම, සාම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම යනාදී කාරණා 15ක් ඇතුළත් කරමින් අත්සන් කිරීම සිදුවිය.

මෙහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් මේ සඳහා සහයෝගය දැක් වූ ආයතන සහ පුද්ගලයන්ට සහතික හා සම්මාන පිරිනැමීමක්ද සිදු කරන ලදී. 
එහිදී මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා සහාභාගි වූ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරියටද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සම්මානයක් පිරිනැමීමද සිදුවිය.  
මේ අවස්ථාවට සහාභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවයි.
දේශීය හෙළ වෙදකමේ ශක්තිය නැවත සමාජය අතරට ගෙන එමින් දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරයා වෙත හිමිවිය යුතු සමාජ ගෞරවය සහ පිළිගැනීම නැවත ලබාදීමට මෙවන් සමුළු තුළින් විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්. මෙය ලංකාවට සේම ලෝකයටම අලුත් අත්දැකීමක් මෙන්ම පාරම්පරික වෛද්‍ය ශිල්පයේ උන්නතියටද මහත් පිටිවහලක් වන බවත් ඒ මහතා පැවසීය.

23843406_10155481240514130_2925839065528268973_n

'දේශීය වෛද්‍ය ක්‍රමය ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි ප්‍රවර්ධනය කිරීම අපේ එකම අරමුණයි.'සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

“දේශීය වෛද්‍ය විද්‍යාවට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි රෝග රැසක් දේශීය වෛද්‍ය විද්‍යාවෙන් සුව කරනවා. එම නිසා සම්ප්‍රදායෙන් එළියට ඇවිත් නිරහංකාරව බලා දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කළ යුතුයි. අපි අතර අදහස් බෙදාගත යුතුයි. එවිට ඉදිරි ගමනක් යන්න පුළුවන්. 
ලැබූ අත්දැකීම් ක්‍රියාත්මක කරන්න. පොතපත පමණක් ලියා වැඩක් නැහැ. ලෝක ජනතාවට සුභ සිද්ධිය තමයි ඉතාම වැදගත්. පර්යේෂණ ජනතාවට ඉතාම වැදගත්. ජනතාව තුළ නීරෝගිභාවය වැඩි කළ යුතුයි. විකල්ප වෛද්‍ය ක්‍රමය නගාසිටුවන්න. මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කළ කරුණු, තීරණ ඇතුළත් කර %කොළඹ ප්‍රකාශනය^ සකස් කර තිබෙනවා. එය ක්‍රියාවට නැංවිය යුතුයි. 
මෙරට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව මේ වනවිට 30,000ක් පමණ වෙනවා. ඒ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනුවයි. ඔවුන්ගෙන් 40෴ක් පමණ වෘත්තීය සහ ආයතනිකව සුදුසුකම් ලද වෛද්‍යවරුන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව උගන්වන ප්‍රධාන ආයතන 02ක් තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව එම ආයතන 02 ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම ඉන්දීය විශ්වවිද්‍යාල මගින් පිරිනමන පශ්චාත් උපාධි පාඨමාලාද බෙහෙවින් වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාව තුළ පාරම්පරික සහ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය පවතිනවා. එමෙන්ම දේශීය සහ බටහිර වෛද්‍ය ක්‍රමයන් අතර මනා සම්බන්ධතාවක්ද පවතිනවා. මෙරට ජාතික සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් කිරීමට එය හේතුවක්. 
සහතික කරන ලද පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම වගේම ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. %Tradmed International – 2017^ මෙරට සහ කලාපය තුළ දේශීය වෛද්‍ය විද්‍යාව විශ්වසනීයත්වයට පත් කරලීම සඳහා දායක වනු ඇතැයි මම විශ්වාසය පළ කරනවා. 
ශාකමය ඖෂධ සඳහා මේ වනවිට ඇත්තේ විශාල ඉල්ලුමක්. එය 2018 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 110ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි ප්‍රවර්ධනය කිරීම අපේ එකම අරමුණයි. ඒ සඳහා මෙම ප්‍රදර්ශනයද විශාල රුකුලක්.”

' දේශීය සහ විදේශීය පර්යේෂකයන්ගේ ඉහළ මට්ටමේ නිරාවරණයක් මේ තුළින් ලැබෙනවා' - සම්මේලනයේ සම සභාපති මහාචාර්ය  රනිල් ද සිල්වා මහතා

'මෙහි තිබෙන මූලික පරමාර්ථය වන්නේ, දේශීය වෛද්‍ය ක්‍රමවලින්, අපේ පැරණි සිරිත් විරිත්වලට, දිරි ගැන්වීමක් ලබා දෙන්නේ කෙසේද යන්නයි. මෙය හුදෙක් සැණකෙළියක් නොවේ. මෙය අපේ ආර්ථිකයටත්, වෛද්‍ය ක්‍රමයටත් තබන පළමු පියවරක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්.
අඩුම වශයෙන් ඇමෙරිකාවේ යම් බෙහෙතක් නිෂ්පාදනය කරන්න අවුරුදු 12ක් පමණ ගත වෙනවා. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වියදම් වෙනවා. එයින් පැහැදිලි වන්නේ අපේ දේශීය දේ අපට කෙතරම් වටිනවාද යන්නයි. 
මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේ දෙස් විදෙස් වෙළෙඳ කුටි තිබීම තවත් සුවිශේෂී දෙයක්. එමගින් ඒ ඒ රටවල දේශීය දේවල් ඔවුන් පරිහරණය කරමින් ඉදිරියට ගිය ආකාරය අපට දැනගන්න හැකියාව ලැබෙනවා. 
මෙය විශේෂයෙන්ම අධ්‍යාපනය හදාරනු ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වැදගත් වෙනවා. මොකද, අපි සිදුකළ යුත්තේ අනාගතයෙදී නොයෙක් රෝගයන් වැලඳීමෙන් ළමුන්ව ආරක්ෂා කරගැනීමයි. ඒ නිසා මෙය ඔවුන්ට ඉතා වැදගත් දෙයක් වනු නොඅනුමානයි. 
මීට අමතරව මෙය විශ්වවිද්‍යාල සිසුන්, ගෘහණියන්, තරුණ තරුණියන් සහ මේ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ටම සහාභාගි වී දැනුම වර්ධනය කරගත හැකි ප්‍රදර්ශනයක්. 
මෙම ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සඳහා බහුකාර්ය පර්යේෂණ සහ පොදු- පෞද්ගලික හවුල්කාරීත්වයන් හා සහයෝගීතාවන් ඔස්සේ මීට අදාළ සේවා සහ නිපැයුම් සඳහා මෙය ගෝලීය වෙළෙඳ පොළට පිවිසීමට හැකියාව ලැබනවා. 
එමෙන්ම මෙම දේශීය සහ විදේශීය පර්යේෂකයන්ගේ ඉහළ මට්ටමේ නිරාවරණයක් මේ තුළින් ලැබීමෙන්, ශ්‍රී ලාංකේය සමාගම් සඳහා නව දැනුමක් මෙමගින් උදා කරගැනීමට හැකි වෙනවා.*
තෙදිනක් පුරා පැවැති මෙම සම්මන්ත්‍රණය සඳහා විශාල පිරිසක් සහාභාගි වූහ.



Recommended Articles