වැඩි වේලාවක් අසුන්ගෙන ඉන්න අයට පිළිකා අවදානමක්


දිනකට පැය හයකට වඩා වැඩි කාලයක් හිඳගෙන සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා, ඩිම්බකෝෂගත පිළිකා, ඇටමිදුළුවල අසාමාන්‍ය ගෙඩි (ටියුමර්) හටගැනීමේ අවදානම 10%කින් වැඩි බව සොයාගෙන තිබෙනවා.

ඇමෙරිකානු පිළිකා සංගමය මගින් වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණයකින් මේ බව තහවුරු වී තිබෙනවා. ඒ සදහා ඔවුන් පුද්ගලයන් 146,000කට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන ඇති අතර, ඉන් 69,260 දෙනෙකු පුරුෂයන් බවත්, 77,462 දෙනෙකු කාන්තාවන් බවත් වාර්තා වෙනවා. 1992 - 2009 යන කාලසීමාව ඇතුළත මෙම පර්යේෂණය සිදුකර ඇති අතර, එම කාලය තුළ පුරුෂයන්ගෙන් 18,555 ක් හා කාන්තාවන්ගෙන් 12,236 ක් පිළිකා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.

ඒ අනුව ඔවුන් සොයාගෙන ඇත්තේ කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු කිරීමට වැඩි හේතුවක් පෙන්නුම් කර ඇත්තේ දවසේ වැඩි කාලයක් වාඩි වී සිටීම බවයි. මෙම තත්ත්වය පුරුෂයන් සම්බන්ධයෙන් බලනොපාන බවක් පෙන්නුම් කරන බවද ඔවුන් සඳහන් කරනවා. විශේෂයෙන් කාන්තාවන් වැඩි වේලාවක් රූපවාහිනිය ඉදිරියේ හිඳගෙන සිටීම හෝ පරිගණකය ඉදිරිපිට හිඳගෙන සිටීම මෙයට හේතුවක් වී ඇති බව සඳහන් වෙයි. මීට පෙර ජර්මානු පර්යේෂකයන් සිදුකළ පර්යේෂණයකදී හෙළි වී තිබුණේ වැඩි වේලාවක් හිඳගෙන සිටීම මගින් බඩවැල් හා පෙනහළු ආශ්‍රිත පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බවයි.

කෙසේ නමුත් මෙලෙස වැඩි වේලාවක් හිඳගෙන සිටීම මගින් පිළිකා හටගැනීමට රූපවාහිනී නරඹන අතරතුර ආහාරයට ගන්නා කෙටිකෑම හා සීනි අඩංගු බීම හේතු වන බව මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇතැයිද ඔවුන් මෙම පර්යේෂණ ප්‍රතිපල සමග සඳහන් කර තිබෙනවා.  එසේම හිරු එළියෙන් සිරුරට එකතු වන විටමින් D අහිමි වීමද මෙම තත්ත්වයට බලපා ඇති බවත් සඳහන්.

වැඩි වේලාවක් වාඩි වී සිටීම නිසා ඇතිවන මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඇතිව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, 'වාඩිවෙලා ඉන්න එක  අලුත්ම පිළිකාව බැවින් සිය ස්මාර්ට් අත් ඔරලෝසුවේ මතක් කිරීමක් යොදා සෑම පැයකටම වරක් විනාඩි 10 ක කාලයක් ඇවිදීමේ යෙදෙන බව' සඳහන් කර තිබෙනවා.



Recommended Articles