'යශෝධරාවත' නොකියවූ කතුනි


සමාජයේ නොයෙක් තලවල නොයෙක් භූමිකාවන් නිරූපණය කරමින් කාන්තාව සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටියි. දෙමාපිය උණුසුමේ හැදෙන ඇය විටෙක දියණියකි. දයාබර ස්වාමියෙකුගේ අාදරය ලබන ඕ විටෙක බිරියකි. තවත් විටෙක සෙනහස උතුරා ගිය හදවතක් උරුම මවකි.

මෙවන් උතුම් භූමිකාවන් නිරූපණය කරන කාන්තා චරිත රැසක් පිළිබඳව ඈත අතීතයේ සිට අප අසා ඇත. එවන් වූ එක් උතුම් පරමාදර්ශී චරිතයක් ලෙස සිද්ධාර්ථ කුමාරයාගේ බිරිඳ වූ යශෝධරා දේවිය හඳුනාගත හැකිය. පෙරදිග විශිෂ්ටතම කාන්තා චරිතයක් වන ඇය අතීත සමාජයට පමණක් නොව, ධනවාදී ආර්ථිකය යටතේ ක්‍රියාත්මක වන්නා වූ නූතන වාණිජ සමාජයේ වෙසෙන කාන්තාවන්ටද පරමාදර්ශයක් වනු ඇත.

සුප්පබුද්ධ රජුගේ දියණිය වූ යශෝධරාගේ මුල් නම බද්ධකච්චායනා කුමරියයි. උත්තම ස්වර්ණයක් ලෙසින් ශරීරය ශෝභාසම්පන්න බැවින් ඇය එනමින් හැඳින්විණි. සිදුහත් කුමරුට සොළොස් වියේදී විවාහයක් කරදීමට කටයුතු කළ සුද්ධෝදන රජු, සිදුහත් කුමරු  දැක ප්‍රිය කළාවූ යශෝධරාව ඔහුට සරණපාවා දීමට සියලු කටයුතු සූදානම් කළේය.

සිදුහත් කුමරා සමග පතිකුලයට පැමිණි ඇය අන්‍ය ස්ත්‍රීන් මෙන් නොව එකසිතින් තම ස්වාමියාගේ සතුට සහ කැමැත්ත සඳහා කටයුතු කළේය. ඇය තම ස්වාමියා වෙනුවෙන් සිය පතිවත රැකගත් අතර, සිහිනෙකින්වත් අන් තැනැත්තෙකු නොපැතීය.

නමුත් අද සමාජය කෙතරම් දුරට පරිහානියට පත්වීද, නූතනයේ 'දික්කසාදය' යන වචනය නිතර නිතර අසන්නට ලැබෙන සාමාන්‍ය වචනයකි. නොයෙක් පවුල් තුළ බිරිය හෝ ස්වාමියා පවත්වාගෙන යන අනියම් සම්බන්ධතා නිසා පවුල් ජීවිතය විනාශ වී යයි. සිය අයිතීන් ගැන කතාකරන බොහෝ කාන්තාවන් තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වයි. 

නමුත් එකල යශෝධරා සිද්ධාර්ථ කුමාරයාට දැක්වූ පතිභක්තිය නිසාවෙන් ස්වාමියාට පෙර අවදිවීම සහ ස්වාමියා නින්දටගිය පසු නිදාගැනීම වැනි දෑ ඈ ඉතා ආශාවෙන්, කැප කිරීමෙන් සිදුකළාය.

සිදුහත් කුමරු සියල්ල පිළිබඳ  කලකිරුණු සිතින් සම්බුද්ධත්වය ලබාගැනීම  සඳහා පිටත්ව යෑම පිළිබඳ ඇය කිසිවිටෙකත් වෛර නොකළාය. ඇයගේ සිතෙහි උපන් පරාර්ථකාමීත්ව සිතිවිලි නිසා ඇය ඔහුගේ සිතන පතන දේ නිසැකයෙන් ඉටුවීම සඳහා ප්‍රාර්ථනා කළාය. මෙය වර්තමාන සමාජයටද මහඟු ආදර්ශයකි. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකකි. නමුත් එය යහපත් චේතනාවෙන් සිදුවෙන්නේ නම් ඉන් කිසිදු අනිසි ප්‍රතිවිපාකයක් නොමැති බව යශෝධරා දේවිය මුළු ලෝවටම හෙළි කළාය.

වර්තමානයේ ප්‍රචණ්ඩකාරී සමාජයක් දැකගත හැකි අතර, දෛනික ජීවිතයේ සියදිවි නසාගැනීම්, මිනීමැරුම් සහ දූෂණ ක්‍රියා පිළිබඳ නිතර නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ එබැවිනි.

අද ආදර සබඳතා ඇතිකරගෙන නොගැළපීම් මත වෙන්වූ පසු එය දරාගත නොහැකිව ඇතැම් පාසල් ගැහැනු දරුවන් පවා සියදිවි නසා ගන්නේ මෙම හේතු කාරණා නිසාය.

අප ඔවුනට වෛර කරනවා මිස මෛත්‍රිය කරන්නට කිසිසේත් නොසිතයි. නමුත් යසෝධරා වෙන්වීම තුළින් වුවත් යහපත් පරමාර්ථය උදෙසා ආශිර්වාද කළ අතර, කිසිවිටෙකත් වෛර කරන්නට නොසිතුවාය.

තම ස්වාමියා විඳි දුක් බලා තමාත් රාජ මාලිගයේ සිට එවන් දුක් වින්දාය. කසාවත් රෙදිකඩ ඇන්දේය. බිම නිදාගත්තේය. හිස මුඩු කිරීම අනුව සියල්ල තම ස්වාමියා සේම සිදුකළේ ඔහුගේ දුකෙන් භාගයක් තමාටත් විදීම අනිවාර්ය ලෙසින් සැලකූ නිසාය.

මෙවන් පරිත්‍යාගයන් කරන කාන්තාවන් ලොව බිහිවන්නේ ඉතාම අල්ප වශයෙනි. වර්තමානයේ අඹු - සැමි සම්බන්ධතාවයට 'මුදල' යන සාධකය මුල්වී එයට ප්‍රමුඛත්වය දෙනවා මිස ආදරයට මූලිකත්වයක් නොදේ. එම නිසා බොහෝ ගැහැනුන්  මෙම ප්‍රශ්නයේදී තම ස්වාමියා අතහැර යයි. වෙනත් විවාහයක් කරගනියි. ඇතැම් කාන්තාවන් මේ නිසා තවත් කරදරවලට ගොදුරු වේ. යශෝධරාව සේ සිතන්නේ මේ ලෝකයේ ස්ත්‍රී ප්‍රජාවගෙන් කීයෙන් කීදෙනාද?

ඇය සිය ස්වාමිපුරුෂයාට හොඳ බිරිඳක් සේම අනෙක් පැත්තෙන් රාහුල කුමරුට ආදරණීය මවක් විය. ඇය බිරිඳක් වශයෙන් සිද්ධාර්ථ කුමාරයාට ඉටුවිය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කරන්නාසේම, මවක් ලෙස රාහුල කුමරාට ඉටුවිය යුතු යුතුකම් කොටසද නොපිරිහෙලා ඉටුකරයි.

තම සිඟිති කුමරා උපන් දිනම කුටුම්බය තුළ තනිවූ ඇය රාහුල කුමරුහට තම සෙනෙහස අඩුවක් නොකර දුන්නාය. ඇය කිසිවිටෙකත් තම ස්වාමියා පිළිබඳ රාහුල කුමරුගේ මනසට වැරදි චේතනාවක් නොදැම්මාය. ඒ අනුව හොඳ නරක කියාදෙමින් යහපත් ගුණධර්ම වලින් රාහුල කුමරු නිතර පෝෂණය කරන්නට විය.

 කාන්තාවන්ට බිරියක් වශයෙන්, මවක් වශයෙන් සමාජය තුළ ඇයට පැවරී ඇති රාජකාරී බොහෝය. නමුත් යශෝධරා ගෘහ ජීවිතය තුළ ඒවා මැනවින් කළමනාකරණය කරමින් සිදුකළහ.

නමුත් නූතන කාන්තාවන් තම කාර්යයන් සිදුකිරීමට තමාට වේලාවක් නොමැති බව කියමින් නොයෙක් දෑ පවසයි. ඔවුන්ට ඇතැම් විට දරුවන් ගැන බැලීමට පවා වේලාවක් නොමැති තරම්ය. තමන්ගේ රූපය ලස්සන කිරීමට, තත්ත්වය සදාගැනීමට විවිධ සංගම්වල වැඩ කිරීමට තම යහළුවන් හා කාලය ගතකරමින් ඕපාදූප කියවීමට කාලය වැය කරන ඇතැම් කාන්තාවන් දරුවන් පිළිබඳ විමසිලිමත් වන්නේ බොහෝ අඩු වශයෙනි.

එවන් වූ විටදී දරුවා නොමග යා හැකි අතර, එහි අවසන් ප්‍රතිඵලය වනුයේ නොයෙක් අපරාධයන් යටතේ දඩුවම් විඳීමට සිදුවීමය. එවන් නොයෙක් ප්‍රශ්නයන් නිසා කුටුම්භ ජීවිතය දෙදරා යෑම පවා සිදුවිය හැකිය.

අද සමාජයේ ස්වාමියා පමණක් නොව කාන්තාවද රැකියා ක්ෂේත්‍රයේ කටයුතු කරයි. රැකියාවට යන ඇයට තම ස්වාමියා හෝ දරුවන් පිළිබඳ සොයා බලන්නට කාලයක් උදා නොවේ. දරුවන් ඇතැම් විට නොයෙක් අය යටතේ ඇතිදැඩි වේ. නමුත් මවකගේ ආදරය උණුසුම ඔවුනට නිරන්තරයෙන් විඳීම අහිමි කර ඇත. මව්කිරි බොන දරුවාට අද මව්කිරි පවා අහිමි කර ඇත. මෙම දුරස්ථභාවය නිසා දරුවන් හා දෙමාපියන් අතර ශක්තිමත් බන්ධනයක් ගොඩ නැගෙන්නේ නැත. සමාජය ප්‍රචණ්ඩකාරී වීමට එක් හේතු සාධකයක් ලෙස එය හඳුනාගත හැකිය.

නමුත් පියා අහිමි රාහුල කුමරුට දෙමාපිය උණුසුම, රුකවරණය ලබාදීමට ඈ නිරන්තරයෙන් කටයුකු කළාය. තම එකම බලාපොරොත්තුව ලෙසින් රාහුල පිළිබඳ විමසිලිමත්ව ඔහුගේ අනාගත උන්නතියට අවශ්‍ය සියලු දේ සැපයූහ. රාජ සම්පත් නොදීමට වත්කමක් නොමැති වුවත් යහපත් ගුණධර්මයන් හා හැදියාවන්ගෙන් යුත් දරුවකු බිහිකිරීම අතීතයේ පමණක් නොව වර්තමාන මව් පදවියේ සිටින සෑම කාන්තාවක්ම සිදුකළ යුතුය.

සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත්ව කිඹුල්වත්පුරයට පැමිණ පිඬුසිඟා වඩින මොහොතේදී රාහුල කුමරුට යශෝධරා ''අර තමාගේ පියාණන්, ගොස් දයාද රැගෙන එන්න'' ලෙස ප්‍රකාශ කළාය. නමුත් රාහුලට බුදුරදුන් දුන් දයාදය නම් බුද්ධ ශාසනයයි.

නමුත් යශෝධරාව සතු දරාගැනීමේ ශක්තිය, ඉවසීම මෙහිදී අප අගය කළ යුතුය.

තම ආදරණීය ස්වාමියා පමණක් නොව දැන් ඇයට දරුවාද අහිමිය. නමුත් ඇය කිසිවෙකුටත් ඒ පිළිබඳ වෛර නොකර ඉවසා දරා සිටියාය.
මෙම දරාගැනීමේ ශක්තිය අද බොහෝ කාන්තාවන්ට නොමැත. සුළු සුළු දේවල්වලින් පවා විශාල ලෙස බිඳ වැටීම්වලට ලක්වේ. තම ස්වාමියා හැරගිය විටදී දරුවන්ටද වස පානය කිරීමටදී තමාත් වස පානය කර මියයයි. නැතිනම් ළිඳකට පනියි. දරුවන්ද මහාමග දමාගොස් තමා වෙන විවාහයක්‘ කරගනියි. මෙවැනි නොයෙක් සිද්ධි නූතන සමාජය තුළින් විශාල වශයෙන්  වාර්තාවේ.

මෙයට මූලික හේතුව දරාගැනීමට ශක්තියක් නොමැති වීමයි. තමන් තනි වේ යැයි ඇතිවන බිය මෙයට මූලික හේතුවයි. අනාගතය ගැන කිසිදු සැලසුමක් නැති බොහෝ දෙනාට මෙම තත්ත්වය බහුල වශයෙන් උදාවේ. ඔවුන් ගනු ලබන හදිසි තීරණ තීන්දුවල බරපතළකම ගැන සිතීමට තරම්වත් ඔවුනට අවබෝධයක් නොමැත. මෙය මහත් වූ ඛේදවාචකයකි. කාන්තාව තව දුරටත් තවත් කෙනෙකුගේ පරපෝෂි කෙනෙක් නොවිය යුතුය. තමන්ට වුවද දරුවන් හදාවඩා ගනිමින්  ජීවත් වීමට හැකියාවක් තිබිය යුතුය. නූතනයේ එවන් දිරිය කාන්තාවන් පිළිබඳ කලාතුරකින් වුවද අසන්නට දකින්නට ලැබේ. 

වර්තමානයේ ස්වාමියා හැර ගියා කියා වෛර කරන සමාජයක් ගොඩනැගී තියෙනවා. තමන්ගේ පරමාර්ථ ඉටුනොවීම මත මෙසේ වෛර කිරීම බොහෝ විට දැකගත හැකිය. එම නිසා නූතනයේ ශාපකාරී සිතුවිලිවලින් පිරි සමාජයක් බිහිවී තිබෙනවා.

තම ස්වාමියාගේ වෙන්වීම පිළිබඳ වෛරී චේතනාවෙන් මිස යහපත් වූ චේතනාවෙන් බලන කිසිවෙකුත් අද සමාජයේ නොමැත. නමුත් එවන් වූ නුගුණයන්ගෙන් ඈත් වූ ගුණයහපත් ලක්ෂණයන්ගෙන් පිරි චරිතයක් ලෙසින් බුදුරජාණන්වහන්සේ චන්ද කින්නර ජාතකය දේශනා කළේද, යශෝධරාවගේ ගුණවත් කම ඇගයීම පිණිසය.

ථේරි ගාථාවල පවා සඳහන් වන යශෝධරාව ගුණවන්ත කමින් පමණක් නොව නැණවත්කමින්ද අග තැන්පත් තැනැත්තියකි. ඇය එක්තරා ආකාරයට ප්‍රතිපත්තිගරුක කාන්තාවකි.

ඇය තම ස්වාමි භක්තිය මත ගොඩනැගූ ප්‍රතිපත්ති කිසිවිටකත් කිසිදු හේතුවක් නිසාවත් කඩ නොකළාය. ඇය තම ප්‍රතිපත්ති ඒ අයුරින්ම රැකීය.එය තම පවුල් ජීවිතය තුළ තම මාමණ්ඩියට ආදරණීය ලේලියක් වෙමින් කටයුතු කළ යශෝධරාගේ ගුණ බුදුරදුන් ඉදිරියේ වර්ණනා කිරීමට තරම් පැහැදුණු සිතක් සුද්ධෝධන රජුගේ සිතෙහි ඇති කිරීමට සමත් විය.

තම මාමණ්ඩිය පවා කියා සිටියදී ඈ වෙනත් විවාහයක් පිළිබඳ අල්ප මාත්‍රයකින් හෝ නොසිතූහ. ඒ ඇයගේ ප්‍රතිපත්ති ගරුක භාවය නිසාය. නමුත් අද සමාජයේ එවන් වූ ප්‍රතිපත්ති ගරුක මිනිසුන් සිටිනුයේ ඉතාම අල්ප වශයෙනි. ඒ අතරින් කාන්තාවන් අතළොස්සක්වත් නොමැති තරම්ය. නොයෙක් කාලවල්වල තමා සකස් කරගන්නා ප්‍රතිපත්ති වෙනස් වීම නූතනයේ ප්‍රබලව දැගත හැකි අතර, එය අන්‍යන්ගේ යහපත පිණිස නොව, තම බලය, පැළැන්තිය, තත්ත්වය ආරක්ෂා කර  පවත්වාගැනීම උදෙසා ක්‍රියාත්මක කරයි.

පවුල තුළින්ද සමගියක් දැකගත නොහැකිය. කටවහරින් නැන්දණියගේ හා ලේලියගේ අඩදබරයන් ඉතා සුප්‍රසිද්ධ වී ඇත්තේ වර්තමානයේ මොවුනට පවුලක් ලෙසින් එකම නිවසක සිටීමද අහිමි කරලමිනි. ඒ තරම් වූ අසමගියක් අද මොවුන් අතර පවතී. මේ නිසා ඇතැම් විට පවුල් ජීවිතය දෙදරා යෑමක් පවා සිදුවිය හැකිය.

නමුත් සිද්ධාර්ථ කුමාරයා තනිකර දමා ගිය යශෝධරාව කල්ගෙවනුයේ තම මාමණ්ඩියගේ නිවස තුළය. ඔවුන් අතර මනා අවබෝධයක් තිබිණි. ලේලිය ගැන ගුණවර්ණනා කිරීමට පවා සුද්ධෝදන රජු පෙළඹෙන්නේ එබැවිනි. මෙය නූතන සමහර කාන්තාවන්ට මහත් ආදර්ශයකි.අත්දැකීම් මඳ වූ තරුණ ජීවිතවලට පවුල් සංස්ථාව පිළිබඳ මනා වූ දැනුමක් ඔවුන්ගෙන් ලබාගත හැකිය. නමුත් අද තරුණ පිරිස් එවන් දේ ගැන නොසිතන අතර, එවැනි දේ පිළිබඳ නියමාකාර අවබෝධයක්ද නොමැති තරම්ය.

නමුත් සුද්ධෝදන රජුද මියගිය පසු යශෝධරාව බුදුන්ගේ මාර්ගයට ප්‍රවිශ්ට වී පැවිදි බව ලැබූහ. පැවිදි වූ ඇය මහා අභිඥාලාභී භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබාගත්තේය.

මෙයට යශෝධරාව පදුමුත්තර බුදුන්ගේ කාලයේ විවරණ ලබා ඇති අතර,මෙම තෙරණින් වහන්සේට එකම ඉරියව්වේ සිට කල්ප සිය දහස් ගණනක් ආත්ම සිහිපත් කිරීමේ හැකියාව ඇත.

මේ අයුරින් විටෙක බිරියක්, මවක් වූ ඇය පැවිදි තෙරිණින් වහන්සේ කෙනෙක් වී ලෝක සත්‍ය අවබෝධ කරගත්තේය. භද්ධකච්චායනා, යශෝධරා, රාහුල මාතා යනාදී විවිධ නම්වලින් හඳුන්වන ඇය බෞද්ධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨවූ කාන්තාවකි.

නූතන සමාජයේ කාන්තාවන්ට මහඟු වූ ආදර්ශයන් රාශියක් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරයි.

නොයෙක් භූමිකාවන් ගෙන් නිරූපිත ඇයගේ අපිරිමිත ගුණවත්භාවය සෑම විටම උදාර කාන්තාවකගේ හැදියාව, සිරිත්විරිත්, ඇවතුම්පැවතුම් ප්‍රදර්ශනය කළාය.

සංසාරගත බැඳීමෙන් තම ස්වාමියාට අපරිමිතව ආදරය කළ ඇය තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ල මැනවින් ඉටු කළාය. ඇය කාන්තාවක් ලෙස නොයෙක් කාල පරාසයන් තුළ ගතකළ භූමිකාවන් තුළින් වයස් සීමාවකින් තොරව ගතහැකි ආදර්ශයන් බොහෝය. රජ කුලයේ යශෝධරාවක් නොවූවත් ගුණවත් හා නැණවත් සිතින් යුත් පරිපූර්ණ යශෝධරාවක් වීමට එවිට සෑම කාන්තාවකටම හැකි වේවි.



Recommended Articles