මෙලොව දරුවකුට ලැබෙන ඉස්තරම්ම ආහාරය මවුකිරි


ලෝක සෞඛ්‍ය සංවිධානය හා WABA ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන මවුකිරි දීමේ සතිය අද (01දා) සිට මෙම මස (07දා) දක්වා පැවැත්වීමට නියමිතය

මෙවර එහි තේමාව වී ඇත්තේ 'එක්වෙමු - සුරකිමු මවුකිරි නිරතුරු' යන්නයි. මෙවර මවුකිරි සතිය පවත්වනු ලබන්නේ 25 වැනි වරට වීමද විශේෂත්වයකි.

පසුගිය වසරේ 'තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් මවුකිරි' සතියේ තේමාවද එම ඉලක්ක අනුව යමින් සැකසුණු අතර තවදුරටත් මවුකිරි දරුවෙකුට ලබාදීමේ වැදගත්කම තහවුරු කරනු පිණිස 2017 වර්ෂයේ Sustaining Breastfeeding Together යන තේමාවෙන් මෙවර පැවැත්වීමට ලොව පුරා කටයුතු යොදා තිබේ.

එම තේමාවට අනුගතව යමින් අප රටේ 'එක්වෙමු - සුරකිමු' මවුකිරි නිරතුරු යන තේමාව සකස්කර ඇත. එසේම මෙවර ජගත් ප්‍රඥප්තීන්ට අනුව යමින් අරමුණු හතරක් මුල්කර ගනිමින් මෙම සතිය සැමරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ.
මවුකිරි යනු දරුවෙකුට මෙලොවදී ලැබෙන ඉස්තරම්ම ආහාරය ලෙස දක්වන්නේ  මවුකිරිවලින් දරුවෙකුට ලැබෙන පෝෂණය හා සෞඛය ආරක්ෂාව ඉතාමත් අධික වන බැවිනි. 

ඒ නිසාම ඉපදී මාස හයක් යනතුරු මවුකිරෙන් පමණක් දරුවාව පෝෂණය කරන ලෙස වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබාදෙනු ලැබේ. මවුකිරෙන් දරුවාගේ කුස පිරෙනවා පමණක්ම නොව ලෙඩ රෝගවලින් ආරක්ෂාවත්, බුද්ධි වර්ධනයත් සිදුවේ.

දරුවෙකුගේ ජීවිතයේ ලැබෙන සුවිශේෂීම වරප්‍රසාදය වන මවුකිරි දරුවාගේ අයිතිවාසිකමක්ද වේ. මේ නිසා මවුකිරි සුරක්ෂිත කිරීම වෙනුවෙන් මවකට පැවරෙන වගකීමකට සමාන වූ වගකීමක් සමාජයේ සියලුම දෙනාටද පැවරේ.

නිවසේ සිටින මවකට නම් දරුපැටියාට මාස 6ක කාලය තුළ මවුකිරි ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ හැකි අතර, රැකියාවේ යෙදෙන මව්වරුනටද මාස හයක් යනතුරු දරුවාට මවුකිරි පමණක් ලබාදීම වෙනුවෙන් පහත උපදෙස් අනුගමනය කළ හැකිය.

දරුවාගේ අයිතිවාසිකමක් වන මවුකිරි සුරක්ෂිතව ලබා දීම වෙනුවෙන් සැවොම එක්වී මවට ඒ සඳහා උපකාර කිරීම හා ධෛර්යමත් කිරීම ඉතා වටී.

මවුකිරි දොවා යෑමේදී 

- වෙනත් දිනවලට වඩා පැය ½ කට පෙර අවදි වන්න.

- හොඳ මානසික මට්ටමක් ඒ සඳහා පවත්වා ගන්න. ඒ සඳහා පවුලේ සාමාජිකයන්ගෙන් හා කාර්යාලයේ නිලධාරීන්ගෙන් සහාය ලබාගන්න. 

- මවුකිරි දෙවීමට භාවිත කරන භාජන පිරිසුදුව තබා ගන්න.

- දරුවාට මවුකිරි පොවන තැනැත්තාට අදාළ උපදෙස් ලබාදෙන්න.

- පැය 08ක සේවා කාලයක නිරත වේ නම් දරුවාට කිරි වේල් 03ක් ප්‍රමාණවත්ය.

- මවුකිරි මදිවීමක් පිළිබඳ හැඟේ නම් ළඟම ඇති රෝහලේ මවුකිරි කළමනාකරණ මධ්‍යස්ථානය හෝ 'සෙනෙහස' පදනම අමතන්න.

- කිරි දෙවීමෙන් පසු රැකියාව සඳහා පිටත්වීමට ආසන්න අවස්ථාවේ දරුවාට මවුකිරි ලබාදෙන්න.

- නිවසට ආපසු හැකි විගස මවුකිරි ලබාදෙන්න.

- රාත්‍රී කාලයට ලබාදෙන කිරි වේල් ගණන වැඩි කරන්න.

- කිරි දෙවීම උපකරණවලින් නොව අතින් සිදුකරන්න.

- මෙලෙස දොවා ගත් මේ කිරි කාමර උෂ්ණත්වයේ පැය 08ක්ද, ශීතකරණයේ මැද කොටසේ පැය 24 ක්ද, අධිශීතකරණයේ මාස 03 ක්ද තබාගත හැකිය.

සෙනෙහස සංවිධානයේ අධ්‍යක්ෂිකා, පවුල් සෞඛ්‍ය නිලධාරීනී හා උපදේශීකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය අද පුවත්පතට දැක්වූ අදහස් ඇසුරෙනි.



Recommended Articles