බුලත් වගාවෙන් ලොවක් දිනූ අපේ කතක්


ස්වභාව ධර්මයට අනුගත වෙමින් කෘෂි භෝග ක්ෂේත්‍රය තුළ බුලත් වගාවේ නියැළෙමින්, එකී ආශිර්වාදයෙන් පොහොසත් ආර්ථික ශක්තියකට හිමිකම් කියන ඇය නමින් කුමුදු ලාලනීය.  බුලත් වගා කටයුතුවලට නැඹුරු වෙමින් ස්ව උත්සාහයෙන් ජීවිතයේ සහ සිය පවුලේ ජයග්‍රහණ රැසක් මේ වන විට ඇයට භුක්ති විඳීමට හැකිව තිබේ. ගොවි ආර්ථිකයක් නියෝජනය කරමින් ගැමි පවුලක හැදී වැඩි තම දෙමාපියන්ගෙන් උරුම වූ ගොවිතැනට ඇය යොමු වූයේ ළබැඳි ආශාවෙනි. ඈ දැන් අපනයන මට්ටමේ උසස් බුලත් වගාවක හිමිකාරිනියකි. ඇය මේ බව 'අද' හා පැවසුවේ සිතෙහි උපන් අසීමිත සතුටකිනි.


Untitled-1

Q ඔබ මේ ආ ගමන ගැන නැවත ආවර්ජනය කර බැලුවොත්?

මම සාමාන්‍ය ගොවි පවුලකින් පැවත එක කෙනෙක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹගහා හොර ප්‍ර‘දේශයේ තමයි අපේ පදිංචිය. අපේ උත්සාහයෙන් සහ කැපවීමෙන් අද ආර්ථික මට්ටමින් උසස් තැනකට පැමිණෙන්න හැකිවෙලා තිබෙනවා. මට පුතාලා දෙන්නෙක් සිටිනවා. පුතාලා දෙන්නම මේ වන විට විදේශගත වෙලා තමයි ඉන්නේ. ලොකු පුතා ගුවන් නියමුවෙක්. පොඩි පුතා ගණකාධිකරණය සම්බන්ධ උපාධියක් හදාරනවා. අපි දැනට පාකිස්තානයට බුලත් අපනයනය කරනවා. අපේ පවුලේ සියලුදෙනාම එකතුවෙලා තමයි මේ බුලත් වගාව සිදු කර ගෙන යන්නේ. අපිට මේ වගේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න හැකි වුණේ බුලත් වගාවෙන්. 

Q ඔබ කෘෂිකර්මාන්තයේ නියුතු කෙනෙක් ලෙස බුලත් වගාව හොඳ ආර්ථික භෝගයක් ලෙස සිතනවාද?

බුලත් වගාව බොහෝ සාර්ථක වගාවක්. නමුත් පසුකාලීනව, දැන් මාස 06කට පමණ සිට බුලත් වගාවට තිබූ ඉහළ මිල කඩා වැටීමක් සිදු වුණා. ඒ නිසා පාකිස්තානයට බුලත් අපනයනය කිරීම අඩු වී, මිල පහත වැටුණා. ආර්ථික භෝගවලින් අන්නාසි, බුලත්, කෙසෙල්, පොල් තමයි වැඩි වශයෙන් තිබුණේ. ඒ හැම එකකටම වඩා ඉදිරියෙන් බුලත් වගාව පසුගිය කාලයේ පැවතුණා. 
මිනිස්සු සියලුදෙනාම වගේ කුඩා පරිමාණ වශයෙන් පමණක් නොව මහා පරිමාණ වශයෙන් අක්කර 25, 50 වශයෙන් බුලත් වගා කරන්න ආරම්භ කළා. ඒ නිසා වෙළෙඳ පොළට බුලත් වැඩි වශයෙන් රැස්වීමත් බුලත් මිල ඉහළ යන්න එක හේතුවක් වුණා. අනෙක් අතින් බදු වැඩි නිසා පාකිස්තානයට අපනයනය කරන ප්‍රමාණයේ අඩු වීමක් සිදුවුණා. ඒ නිසා දැන් බුලත් වගාව තිබෙන්නේ ඉතාම පහළ මට්ටමක. නමුත් බුලත් සඳහා ඉහළ මිලක් තිබියදී අපි සියල්ලෝම සාර්ථකව වගා කටයුතු සිදුකළා. 

Q බුලත් අපනයනය සඳහා සූදානම් කරන ක්‍රියාවලිය පිළිබඳ කතා කළොත්?

බුලත් වෙළෙඳ පොළට ගෙනයාම දක්වා ක්‍රියාවලිය පිළිබඳ හැඳින්වුවහොත්, අපි පළමුවෙන් බුලත් කඩාගෙන අමුණා නිවසේ තබනවා. බුලත් මිලදී ගන්නා වෙළෙන්දන් අපේ නිවසට ඇවිත් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට බුලත් රැගෙන යනවා. මාසයකට බුලත් වගාව තුළින් මුර හතරකින් අස්වැන්න ලබාගන්න පුළුවන්. ඉනි 2000ක් පමණ බුලත් වැල් සාදා ගත් විට  මුළු මාසයේම බුලත් ඵලදාව නෙලා ගන්න පුළුවන්. 

Q බුලත් හා බැඳි සංස්කෘතික වටිනාකම ගැන හැඳින්වුවහොත්?

බුලත්වලට ලංකාව තුළ ඉතා ඉහළ සංස්කෘතික වටිනාකමක් තිබෙනවා. ඈත අතීතයේ රජ මැතිඳුන්ගේ සිට බුලත් ඕනෑම ආරාධනයක් සඳහා, මඟුල් ගෙවල්වලට, සෑම ආගමික කටයුත්තකටම, අවමංගල්‍ය කටයුතුවලට ආදී ආගමික සංස්කෘතික හැම කටයුත්තකටම අත්‍යවශ්‍ය දෙයක්. ලාංකේය සංස්කෘතිය තුළ ඒ සඳහා ලොකු වටිනාකමක් තිබෙනවා. 

Untitled-6

Q බුලත් විකිණීමේ කටයුතු සිදුවීම පිළිබඳ කතා කළොත්?

පාකිස්තානයට  බුලත් අපනයනය කිරීමේදී ඔවුන් බුලත්වල මිල තීරණය කරනුයේ බර අනුවයි. බුලත් අත් 25ක් තමයි අපි දහසක් ලෙස ගණනය කරන්නේ. මෙහි උපරිම මිල රුපියල් 12,000ක් දක්වා ඉහළ ගියා. නමුත් පසුකාලීනව නැවතත් ඒ මිල මට්ටම රුපියල් 2000 දක්වා අඩු වුණා. මේ අතර ලොකු පරතරයක් තිබෙනවා. 
ලංකාව තුළත් බුලත් සඳහා වෙළෙඳපොළක් තිබෙනවා. යාපනය සඳහා ගෙනියන්නේ කුඩා බුලත්. එය දෙවැනි බුලත ලෙසත් හඳුන්වනවා. යාපනය, කැකිරාව සහ පොළොන්නරුව ප්‍රදේශ වලට මේ බුලත් ගෙනියනවා. 

Q බුලත් වර්ග කීයක් මේ වන විට තිබෙනවාද? එයින් ඔබ වගාකරන බුලත් වර්ග ගැන කතා කළොත්?

බුලත් වර්ග මේ වන විට 12ක් පමණ තිබෙනවා. ඒ අතරින් අපි කරන්නේ මානේරූ කියන බුලත් වර්ගය. එයට අමතරව, කහ නාගවල්ලි, සුදු නාගවල්ලි ආදී වශයෙන්ද තිබෙනවා. ඒවා නිවෙස් අලංකරණය සඳහා බහුලව යොදා ගන්නවා. සමාන්‍යයෙන් ලාංකීය සංස්කෘතිය තුළ එවැනි බුලත් පඳුරක් නිවස ඉදිරිපිට තබා ගැනීම සෞභාග්‍යයේ සංකේතයක් වශයෙන් හඳුන්වනවා. 

Q බුලත් හා බැඳි අපේ සංස්කෘතියක් තිබෙනවා. එය වගාව තුළත් යම් අයුරකින් සිදුවනවාද?

බුලත් අස්වැන්න නෙළීමේදී වුවත් අපි සෑමදෙනාම බුලත් පාත්ති සඳහා ගෙන්වන්නේ නැහැ. විශේෂයෙන්ම අවමංගල්‍ය අවස්ථාවලට සහාභාගී වී ඇවිත් අපි බුලත් පාත්ති ඇතුළට යන්නේ නැහැ. මේ හැම දෙයක්ම අපි පිරිසුදුවට තමයි සිදුකරන්නේ. වෙන වගාවන් වගේ නෙමෙයි බුලත් සමග ගනුදෙනු කිරීමේදී ඉතා සුපරික්ෂාකාරීව හැමදෙයක්ම කළ යුතුයි. බුලත් කොටුවට යන විටදී පවා අත් කකුල් සෝදා තමයි ඇතුළු වන්නේ. බුලත් පාත්තියට විතරක් අඳින්න ඇඳුමක් පවා අපි සකස් කර තිබෙනවා. හැමතැනම අඳින පලඳින ඇඳුම් සෙරෙප්පු ආදිය අපි බුලත් කොටුව තුළ පාවිච්චි කරන්නේ නැහැ. 

Q බුලත් කියන්නේ ඉක්මනින් නොයෙක් දිලීර රෝගවලට ලක් වන භෝගයක්. මේවායින් ආරක්ෂා වෙන්න විශේෂ ක්‍රියාපිළිවෙත් අනුගමනය කරනවාද?

රෝග නොහැදී සමාන්‍යයෙන් බුලත් වැලක ආයු කාලය අවුරුදු 12ක් පමණ තිබෙනවා. බුලත් සඳහා දිලීර රෝග ඇති වෙනවා. මේ නිසා බුලත් කුණු වීම වගේ දේවල් සිදුවෙනවා. අපි ඒ සඳහා පොහොර වර්ග විශාල වශයෙන් භාවිත කරන්නේ නැහැ. අපි ඉතා සුළු වශයෙන් මෙවැනි දිලීර මර්දනය සඳහා පොහොර භාවිත කරනවා. 
බුලත් රෝග කියන එක හරි ඉක්මනින් ව්‍යාප්ත වන දෙයක්. ඒ වගේම බුලත් සඳහා එන කෘමීන්, විශේෂයෙන් කණාමැදිරියන් වැනි සත්තු ඇදී එනවා. ඔවුන්ව වළක්වන්න අපි සෑම විටම මිනිසාට අහිතකර විෂ රසායනික දේවල් භාවිත කරන්නේ නැහැ. අපි දුම්කොළ නැටි ආදී ශාකමය කොටස් භාවිත කර ඔවුන් වළක්වන්න ක්‍රියා කරනවා. මේ බුලත් අප අහාරයට ගන්නා දෙයක් නිසා බුලත් ගොවීන් මේ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. 

Q බුලත් වගාව සඳහා රජයේ මැදිහත් වීම ගැන කතා කළොත්?

අපි මුල් කාලයේ රජයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියට බුලත් දඬු ලබා දුන්නා. ඔවුන් විසින් බුලත් පැළ බෙදා දීම පවා සිදුකළා. නමුත් බුලත්වල මිල ඉහළ යෑමක් සිදු නොවුණ නිසා ඒ සියල්ලම අතරමග නතර කර දමා තිබෙනවා. බුලත් ගොවීන් මේ වන විට අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. මැති ඇමතිවරුන් හෝ මේ ගැටලුවට මැදිහත් වී රටේ ආර්ථිකය ඉහළ නංවන්න ක්‍රියා කරන්නේ නම් අපි එය ඉතා අගයකොට සලකනවා.

Q ඔබ බුලත් වගාවට අමතරව ගම්මිරිස් වගාවත් සිදුකරනවා නේද?

ඔව්. ගම්මිරිස් වර්ග රැසක් අපි වගා කර තිබෙනවා. මාතලේ, ත්‍රිකුණාමලය වැනි සෑම ප්‍රදේශයකටම ඔරොත්තු දෙන පැළ වර්ග පේරාදෙණියෙන් අපිට ලබා දී තිබෙනවා. දැනට අක්කරයක පමණ භූමි ප්‍රදේශයක ඒවා ව්‍යාප්ත කර තිබෙනවා. ඉදිරියේදී ඒවා ව්‍යාප්ත කිරීම සඳහා පැළ තවානක් සකස් කිරීමට අපේක්ෂා කරනවා. ගම්මිරිස් අක්කරය අපි ලක්ෂණයක පමණ මුදලකට බදු දීමක් කරනවා. අමුවෙන් ගම්මිරිස් ගෙන ගොස් ඒවා යන්ත්‍රානුසාරයෙන් මිරිකීමට ලක්කොට විදේශ රටවලට එසන්ස් ලෙස අපනයනය කරනවා. ඉඳුණු ගම්මිරිස්වලින් රතුපාට එසන්ස්ද, අමු ගම්මිරිස්වලින් කොළ පාට එසන්ස්ද නිෂ්පාදනය කරනවා. මේවා හරිම සැර ස්ප්‍රීත්තුවක් ලෙසද හඳුන්වන්න පුළුවන්. 

Q මේ සඳහා ඔබට අවශ්‍ය උපදේශනය සහ මාර්ගෝපදේශකත්වය සපයන අය ගැන මතක් කළොත්?  

දෙමාපියන්ගේ උරුමයෙන්  හිමි වූ කෘෂි භෝග වගාව සඳහා විවාහයෙන් පසුව මගේ සැමියා නිරන්තර සහයක් ලබා දුන්නා. බුලත් වගා ආර්ථික ශක්තියෙන් අද අපි ඉතා ඉහළ තත්ත්වයක සිටිනවා.  මේ සඳහා න්‍යායික සහ ප්‍රායෝගික උපදේශකත්වය ලබා දුන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ නාරම්මල පිහිටුවා ඇති බුලත් පර්යේෂණ ආයතනයයි. එම ආයතනයේ මාලනී මහත්මිය, සෙනවිරත්න මහතා සහ රත්නසෝම මහතා එහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.  

Q බුලත් වගාව තුළින් ආර්ථිකය මෙන්ම පවුල් ජීවිතයද ජයගත්ත ඔබ, මව් පදවිය තුළින්ද තම දරුවන් උපරිම තත්ත්වයකට ගෙන ඒමට වෙහෙස මහන්සි වී ඇති බව නොරහසකි. එකී සාර්ථකත්වය පිළිබඳ කතා කළොත්?

 බුලත් වගාව කියන්නේ ඉතා හොඳ ආර්ථික භෝගයක්. මෙය පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද කළ හැකි දෙයක්. ස්ථිර භෝගයක් නොවුණත් එයින් ඉහළ ආදායමක් උපයා ගන්න පුළුවන්. කෘෂි භෝග වගාවෙන් වුවත් කාන්තාවකට ඉදිරියට යන්න ඕනෑතරම් අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ගැහැනු පිරිමි භේදය බලපාන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ උත්සාහය සහ කැපවීමයි.  

ෂෙහානි දිල්රුක්ෂිකා/ ඡායාරූප- ක්‍රිෂාන් රණසිංහ



Recommended Articles