බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට සටන්කළ ශ්‍රී ලංකාවේ කාන්තා අභිමානය


හිරු නොබසින රාජ්‍ය ලෙස හැඳින්වෙන එංගලන්තයේ මහ මැතිවරණය මේ දිනවල පැවැත්වේ. මෙවර එම මැතිවරණයේදී අපේ රට පිළිබඳව වැඩිපුර කතාබහ කෙරුණි. ඒ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති චමාලි ප්‍රනාන්දු, රනිල් ජයවර්ධන හා උමා කුමාරන් යන අය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම නිසාවෙනි.

මෙම තිදෙනාගෙන් දෙදෙනෙකු තරුණියන් වන නිසාම 'අද' මෙලෙස ඔවුන් පිළිබඳ කෙටි සටහනක් තබන්නට අපි අදහස් කළෙමු.

පරිසරයට සංවේදී චමාලි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරග කරන චමාලි ප්‍රනාන්දු පරිසරයට වඩාත් සංවේදී තැනැත්තියක ලෙස සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් සැකසූ වෙබ් පිටුවේ සඳහන් කරන්නීය.

එසේම එංගලන්තයේ පවතින නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම වෙනුවෙන්ද ඇය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ හඬ අවදි කළාය. 
මෙලෙස බ්‍රිතාන්‍යයන්ගේ ඡන්ද අපේක්ෂා කරන චමාලිගේ දෙමවුපියන් වන්නේ වනිතා ප්‍රනාන්දු හා සුමාල් ප්‍රනාන්දු යන අයයි. නීතිඥවරයෙකු වූ තම පියාගේ අඩිපාරේ යමින් නීතිය හැදෑරූ චමාලි 2002 වසරේ අධිනීතිඥවරියක ලෙස සුදුසුකම් ලබාගෙන ඇත.

ඇය පරිසරය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය සමග සම්බන්ධව කටයුතු කරන්නීය. කේම්බ්‍රිජ් නගරය සුන්දර නගරයක් බවට පත්කිරීමේ අරමුණෙන් ඇය ඊයේ (07දා) බ්‍රිතාන්‍ය මැතිවරණයට ඉදිරිපත් වූවාය.

ලන්ඩන් නුවර වැසියන්ගේ නිවාස සිහිනය වෙනුවෙන් පෙනී සිටින උමා

උමා කුමාරන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙන් මෙවර මැතිවරණයට එක්ව සිටින්නීය. හැරෝ නුවර නියෝජනය කරන ඇය නිවාස අහිමි ලන්ඩන් වැසියන්ගේ නිවාස සිහිනය සැබෑ කරදීම වෙනුවෙන් මැතිවරණය වේදිකාවේ හඬ අවදි කරන්නීය. ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේ ඇගේ දෙමවුපියන් එංගලන්තයේ පදිංචියට ගොස් ඇති අතර, ඇගේ සීයා වෘත්තීය සමිති නායකයෙකු ලෙස මෙරට ක්‍රියාකර ඇත. අන්තර්ජාතික ද්‍රවිඩ පුවත්පතක් වන Oru paper හි මාධ්‍ය‘වේදිනියක ලෙසද, නෝර්ත්වික් පාර්ක් රෝහලේ රේඩියෝ සේවාවේ නිෂ්පාදකවරියක ලෙසද නිවේදිකාවක ලෙසද උමා සේවය කර ඇත.

දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන ඇයගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධානතම වැකිය වී තිබුණේ 'ඔබේ හඬ පාර්ලිමේන්තුවට ගෙනයාමට මම සෑම විටම ක්‍රියාකරමි' යන්නයි.



Recommended Articles