බයිසිකලය පැදගෙන තාමත් සේවයට පැමිණෙන බ්‍රිතාන්‍ය පළමු බිලියනපතිනි


ස්වෝත්සාහයෙන් නැගීසිට බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපතිනිය බවට පත්වූ කාන්තාව පිළිබඳව වාර්තාවක් ඩේලිමේල් වෙබ් අඩවියේ වාර්තා කර තිබුණි. ලොව කොතැනක කෙසේ වුවත් තම අප්‍රතිහත ධෛර්යයෙන් නැගීසිටි කාන්තාවක වේ නම් ඇය පිළිබඳ යම් සටහනක් එක්කිරීම වැදගත් වන බැවින් ඇයගේ කතාව මෙලෙස දිගහරින්නෙමු.

ඩේම් මේරි පර්කින්ස් නම් වන ඇය මේ වනවිට හැත්තෑ තුන් හැවිරිදි වියේ පසුවේ. ඇයගේ වත්කම පිළිබඳව සඳහන් කරන්නේනම් බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි එළිසබෙත් රැජිනිය සතු වත්කම මෙන් තුන්ගුණයකටත් වැඩි වත්කමක් ඇය සතුය. 

තවමත් සතියේ දින හත සේවයේ යෙදෙන ඇයගේ වත්කම පවුම් බිලියන 1.6කට අධික බවට වාර්තාවේ. ලෝක ප්‍රසිද්ධ Specsavers ඇස්කණ්නාඩි ව්‍යාපාරයේ හිමිකාරිනිය වන ඇය තමාට ලැබෙන කෙටි නිවාඩුවේදී ඇවිදීම, බයිසිකල් පැදීම, පොත් කියවීම,ගීත ගායනය හා සමාජ සේවාවන්හි යෙදීම තවමත් උද්යෝගයෙන් යුතුව සිදුකරයි. 

පෞද්ගලික ගුවන්යානා, හෙලිකොප්ටර්, අඩි 300ක් දිග පෞද්ගලික නැවක් ආදී සුඛෝපභෝගී පහසුකම් රැසක් බුක්තිවිඳින මේරි අදටත් සිය සේවා ස්ථානයට නිවසේ සිට පැමිණෙන්නේ තම බයිසිකලය පැදගෙන බවට වාර්තාවේ. එමෙන්ම තම කාර්යාල සේවකයන් වෙනුවෙන් විවෘතව පවතින ආපනශාලාවෙන් ආහාර ගන්නා ඇය, තම නිවසේ වැඩකටයුතුද බොහෝමයක් තමාගේ අතින් ඉටුකරන බව එම වාර්තාවේ සඳහන්වේ.

ස්වෝත්සාහයෙන් නැගීසිටි ව්‍යාපාරිකාවන්ට හිමිවන සම්මාන ගණනාවකටද මේරි හිමිකම් කියයි.

අනෙකුත් බිලියනපතියන් මෙන් නොව මේරි හා ඇගේ සැමියාවන ඩොග් ධනපතීන් බවට පත්ව ඇත්තේ වාසනාව හා මිශ්‍රවූ කැපවීම නිසාවෙනි.

ඔවුන් තම නිවසේ වූ අමතර කාමරයක පිංපොං ක්‍රීඩාව සඳහා යොදාගන්නා මේසයක් මත පළමුව තම ඇස්කණ්නාඩි සාප්පුව විවෘත කළ අතර, එහි සිට දරුවන්ගේ නැපි මාරුකිරීමේ කටයුත්තේ සිට නිවසේ අනෙකුත් වැඩකටයුතුද ඔවුන් තම ව්‍යාපාර කටයුතු සිදුකරන අතරතුරම ඉටුකරන්නට සමත්වූ බව මේරි පැවසුවාය.

මේ පිළිබඳව ඇය පවසන්නේ,

''මම දරුවන් හැදීම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මගේ පළමු දරුප්‍රසූතියෙන් දවස් දහයකට පසුව මම යළිත් සාප්පුවේ වැඩට ආවා.සතියට දවස් 6ක් සවස තුන වන තුරු මම වැඩ කළා. මට ප්‍රසූත නිවාඩු ගැන කිසිම අවබෝධයක් තිබුනේ  නැහැ යනුවෙනි.''

තම පළමු දරුවා වන කැතීගේ උපතින් වසරකට පසු දෙවන දරුවා වන ජූලි උපත ලද බවත්, දරුවන් දෙදෙනා ගෝකාර්ට්වල හිඳුවා ඇය සේවය කරන අතරතුර ළඟ තබාගෙන රැකවරණය දුන් බවත් මේරි වැඩිදුරටත් සඳහන් කළාය.

ඉන් වසර තුනකට පසුව තම පුතණුවන් වන ජෝන් තම පවුලට එක්වූ බවත් ඒ අනුව ඇගේ ජීවිතය වඩාත් කාර්යය බහුල වූබවත් ඇය මාධ්‍යට පැවසුවාය.

ක්‍රමයෙන් ඇයගේ දරුවන්ද කණ්නාඩි ඇසුරුම් නිෂ්පාදනය සඳහා ඔවුන්ට උපකාර කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මේරි සඳහන් කළේ,

''අපේ දරුවන් සාප්පුවේ කාලය ගතකළ නිසා ඔවුන් අපි මහන්සියෙන් වැඩකරනවා දුටුවා. ඒ නිසාම දැන් ඒ අයත් මහන්සිවෙලා අපේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවෙනවා'' යනුවෙනි.

1980 වනවිට මේරි සිය ඇස්කන්නාඩි ව්‍යාපාරය වඩාත් දියුණුවට ගෙන ගිය අතර, ඇය තම ව්‍යාපාරයේ ප්‍රදර්ශනාගාර 23ක් බ්‍රිතාන්‍ය‘යේ ව්‍යාප්ත කරන්නට සමත්වූවාය.

ගණිත අංශයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති මේරි කුඩාකළ හැදීවැඩී ඇත්තේ රජයට අයත් ඉඩමක පිහිටි කුඩා නිවසකය.

වර්තමානය වනවිට ඇගේ කන්නාඩි අලෙවි කරන ප්‍රදර්ශනාගාර 1800කට අධික සංඛ්‍යාවක් පවතින අතර, ඒවා බ්‍රිතාන්‍යයෙන් එපිට ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් දහයක් දක්වාද විහිදී පවතියි.

කුඩා ළමුන්ගේ මවක්ව සිටින කාන්තාවකට ව්‍යාපාරයක යෙදීම සත්‍යවශයෙන්ම අභියෝගයක් වුවද ඔවුන් නිදා සිටින වේලාවට ,ඔවුන් ඇඳට වී සෙල්ලම් කරන විට කාන්තාවකට තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා වැඩි අවධානයක් යොමුකළ හැකි බවත්, දියුණු වන්නට වෙර දරන කාන්තාවකට අවශ්‍ය වන්නේ කාලය කළමනාකරණය කරගැනීමේ හැකියාව පමණක් වන බවත් ඇය සඳහන් කරයි.

නිසංසලා

 Mary Perkins11450RT HP.jpg Mary Perkins11462RT HP.jpg 4052D0E000000578-4505328-Mary_and_her_husband_Doug_s_fortune_is_entirely_self_made_much_o-a-35_1494793613077 Mary Perkins11420RT HP.jpg

4018BA9E00000578-4505328-It_takes_a_particular_type_of_couple_to_live_and_work_with_each_-m-37_1494793965193

 



Recommended Articles