පිළිකාව පරදා විවාහක රූ රැජින කිරුළ දිනූ කතක්


මගේ ජීවිතය යළි මට ලැබුණා යැයි ඇය හැඬු කදුළින් ලොවට පැවසුවේ  බටහිර වර්ජිනියා විවාහක රූ රැජින කිරුළ දරමිනි. පිළිකාව සමග ජීවන අරගලයේ යෙදෙන 36 හැවිරිදි ඇය සාරා වයිට් නම් වෙයි. 2015 වර්ෂයේ ඇය පියයුරු පිළිකාවට ගොදුරුවී ඇති බවට ලක්ෂණ පළකර ඇති අතර, පසුව එම පිළිකා සෛල ඇගේ පපු කුහරය, කොදුඇට පෙළ හා පෙනහළු දක්වා පැතිරී ඇති බව සොයාගෙන ඇත. මෙලෙස පිළිකාව ඇයගේ ජීවත් වීමේ කාලය ක්‍රමයෙන් පහළ දමද්දී ඇය තමන්ගේ ආශාව මුදුන්පත් කරගැනීම සඳහා Mrs. All-Star United States Pageant නමැති තරගයට සහභාගි වී ඇත.

එහි ජය තහවුරු කරගනිමින් ඇය බටහිර වර්ජිනියාවේ විවාහක රූ රැජින කිරුළට හිමිකම් කීවාය. සිය පාසල් සමයේ Miss Teen West Virginia USA තරගාවලියට ඉදිරිපත්ව ඇති ඇය රූ රැජිනක් වීමේ සිහිනය සඵත කරගනු ලැබුවේ දරුවන් දෙදෙනෙකුගේ මවක මෙන්ම පිළිකාව සමග පොරබදන කාන්තාවක් ලෙසිනි.

"මම කුඩා වයසේදී කිරුළක් පලඳින්න සිහින මැව්වා. මේ වෙලාවේ මට ජීවිතයේ අරමුණක් තිබුණා. මම කැමතියි සියලුම කාන්තාවන්ට කියන්න පිළිකාවක් නොවේ වෙනයම් බාධකයක් තිබුණත් ඔබට ජීවිතය ජීවත් කරන්න සිදුවෙනවා. රෝගී වෙනවා කියන්නේ මරණ දණ්ඩනය නියම කළා නොවෙයි. ඔබට තවමත් රැජිනක් වීමට කාලය තිබෙනවා. අද මට දැනෙන්නේ යළි මගේ ජීවිතය ලැබුණා වගේ" යැයි ඇය කිරුළ දරමින් පැවසුවාය.



Recommended Articles