ප්‍රතිජීවක ඖෂධ දරුවන්ට ලබාදිය යුත්තේ කෙසේද?


කුඩා දරුවන්ට ඖෂධ ලබාදීමේදී ඔබ ඉතා සැලකිලිමත් විය යුතුය. මන්දයත් වැඩිහිටියකු මෙන් නොව ඔවුන් අාසාත්මිකතාවන්ට ලක්වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීම හේතුවෙනි. 
මේ නිසා ඕනෑම ඖෂධයක් ලබාදීමේදී ඔබ වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතුය. එමෙන්ම කුඩා දරුවන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධවද ඔබ දැනුවත් වී සිටීම වැදගත් වේ. මන්ද ප්‍රතිජීවක ඖෂධයන් එලෙස ආවට ගියාට භාවිත නොකළ යුතු බැවිනි. එසේ ඖෂධ පාවිච්චි කිරීමෙන් අතුරු අබාධවලට කුඩා දරුවන් ලක්වීමේ හැකියාව වැඩි වන අතර, මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය හා භිෂග්වේදය පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය ගීතා ප්‍රනාන්දු මහත්මියව අප 'අදට' සම්බන්ධ කර ගත්තෙමු. 


svitlana-ua

“ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ බැක්ටීරියා රෝග කාරක ඇති කරන ආසාදනයන්ට ප්‍රතිකාර කිරීමටය. එම ඖෂධවලට බැක්ටීරියා වර්ධනය වීම වළක්වාලීම හා බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා රෝගය සඳහා නිර්දේශ කරන ඖෂධ ප්‍රමාණවත් මාත්‍රාවෙන් හා උචිත කාල අන්තරවලදී ප්‍රමාණවත් කාලයක් සඳහා ලබාදීම වැදගත් වනවා.

ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුත්තේ වෛද්‍ය නිර්දේශයක් මත පමණයි. ඒවා සෙම්ප්‍රතිශ්‍යාව, වයිරස නිසා සෑදෙන පාචනය නිසා හෝ අනෙකුත් වෛරස මගින් සෑදෙන රෝග තත්ත්වයන් සඳහා භාවිත කිරීම නොකළ යුතුයි. ප්‍රතිජීවක ඖෂධයන් වෛරස් ආසාදනයට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. බොහෝ වෛරස් ආසාදන ප්‍රතිශක්තීයකරණ පද්ධතිය මගින් ඉබේම සුව කරනවා. 

සමහර වේලාවට මේ ප්‍රතිජීවක  ඖෂධ අනුචිත ලෙස භාවිත කිරීම නිසා “ ප්‍රතිජීවක ප්‍රතිරෝධය (Antibiotic Resistance) ලෙස හැඳින්වෙන තත්ත්වයක් ඇති වීමට පුළුවන්. එහි ප්‍රතිඵලය තමයි සමහර බැක්ටීරියානු ආසාදනවලට ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ විට කිසිම ඵලදායීත්වයක් නොමැති වීම. මේ තත්ත්වය ලෝකය පුරාම දැකගත හැකි අහිතකර තත්ත්වයක්. ඒ නිසා ඔබ දරුවන්ට පමණක් නොව ඔබේ භාවිතයේදීද පහත කරුණු කෙරේ අවධානය යොමු කළ යුතුය.
අවශ්‍ය අවස්ථාවලදී පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ යුතුය.

268812

වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකළ යුතුය. 
නියමිත මාත්‍රාව , නිර්දේශිත මුළු කාලය සඳහාම භාවිත කළ යුතුය. 
නියමිත මාත්‍රාව සහ ගත යුතු කාලය සඳහා වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදිය යුතුය.
රෝග තත්ත්වය තරමක් යහපත් අතට හැරෙන විට ප්‍රතිජීවක ඖෂධ ගැනීම නතර කිරීමෙන් වළකින්න.
නියමිත කාලය ප්‍රතිකාර ගැනීමෙන් පසු ඉතිරිවන ප්‍රතිජීවක ඖෂධ නිවස තුළ තබා නොගන්න. එසේම වෙනත් අයෙකුට ඒවා ලබාදීමෙන්ද වළකින්න. 
ප්‍රතිජීවක ඖෂධ ගැනීමට පෙර ඒවායේ කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කර බලන්න.
ඔබගේ වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන නිශ්චිත අවස්ථාවලදී හැර බැක්ටීරියානු ආසාදිතයන් ඇතිවීම වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකළ යුතුය. 

ප්‍රතිජීවක ඖෂධ මුඛ මාර්ගයෙන් හෝ නික්ෂේපණ වශයෙන් ලබා ගැනීමට හැක. කුඩා දරුවන්ට පැණි (syrup) වශයෙන් ලබාගත හැක. පැණි සැපයෙන්නේ කුඩු වශයෙනි. එය සකස් කිරීම ඖෂධවේදීන් විසින් සිදුකරනු ලබයි. යම් ලෙසකින් එසේ සිදුකර නොතිබුණහොත් එය සකස් කරන නිවැරදි ආකාරය සහ දරුවාට ලබාදෙන ආකාරය පිළිබඳ උපදෙස් ලබාගත යුතුයි. 

 



Recommended Articles