පවුලේ පෝෂණයට ලුණු ගැන සැලකිලිමත් වන්න


ජාතික පෝෂණ මාසය යෙදී ඇති මේ මාසයේදී ගෘහණියක වශයෙන් පවුලේ සාමාජිකයන්ට ඔබ අතින් සැකසෙන ආහාරවල පෝෂණය පිළිබඳ මඳක් විමසා බැලීම ඉතා වටනේය. එහෙයින්ම අපේ රටේ වැඩි සැලකිල්ලක් නොදක්වමින් අධිකව ආහාරවලට එකතු කරන ලුණු භාවිතය පිළිබඳ කෙටියෙන් හෝ යමක් සඳහන් කිරීම අගනේයැයි අප අදහස් කළෙමු. 

ලුණු අපිට ආහාර රස ගැන්වීමේදී නැතිවම බැරි දෙයක් වූවද ලුණු අවශ්‍ය පමණට වඩා ගැනීම මගින් අධි රැධිර පීඩනය ඇති කිරීමේ වැඩි ඉඩක් පවතී. එසේම හදවත් රෝග, ආමාශගත පිළිකා ඇතිවීමටත් අධික ලුණු භාවිතය හේතුවක් බවට පත් වේ. 

ඇත්ත වශයෙන්ම අපට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ගැන සැලකීමේදී එය තේ හැඳි 1ක් ( ග්‍රෑම් 5) වැනි ඉතා කුඩා ප්‍රමාණයක් බව දැක්විය හැක. ඒ අනුව හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ග්‍රෑම් 500ක ලුණු පැකට්ටුවක් හොඳටම ප්‍රමාණවත් වේ. 

ලුණු අඩුවෙන් ආහාරවලට එකතු කිරීමට ඔබට මෙවැනි දෑ කළ සිදුකළ හැක.

- ළදරැ ආහාරවලට ලුණු එකතු නොකිරීම.
- බත් පිසීමේදී ලුණු එකතු නොකිරීම.
- කෑම මේසයේදී ලුණු එකතු නොකිරීම.
- කරවල පිසීමට පෙර පැයක් පමණ උණුවතුරේ තබා සෝදා ගැනීම.
- පළතුරැ යුෂ සැකසීමේදී ලුණු එකතු නොකිරීම.
- ලුණූ අඩු ආහාර වැඩි වශයෙන් මිලදී ගැනීම.

මෙලෙස දිවට ලුණු අඩු ආහාර හුරු කිරීමෙන් ආහාරවල ස්වභාවික රසය විඳීමට ඔබට හැකි වන්නේය.

ගෘහණියක ලෙස ඔබ ලුණු අවශ්‍ය ප්‍රමාණයට ආහාර පිසීමේදී භාවිත කිරීම සඳහා මෙම උපක්‍රමය අනුගමනය කළ හැක.

සෑම උදෑසනකම පවුලේ සාමාජිකයන් ගණනට ලුණු හැඳි ප්‍රමාණයක් ගෙන බඳුනකට දමාගන්න. එනම් එක් අයෙකුට ලුණු තේ හැඳි 1ක් ලෙස භාජනයකට දමන්න. ඔබ දවස පුරා පිසින ආහාරවලට මෙම ලුණු ප්‍රමාණය පමණක් එකතු කිරීමට වග බලාගන්න. 

ලුණු එක්කරන ප්‍රමාණය අඩු වීමෙන් ලැබෙන අයඩින් ප්‍රමාණය අඩුවේ යැයි බිය විය යුතු නොවේ. 

ඔබ මිලදී ගන්නා ආහාරවලින් ලුණු අධිකව අඩංගු ආහාර ලෙස සකස්කළ ආහාර වන අසුරණ ලද මස් වර්ග, සෝස් වර්ග, බයිට් වර්ග, චීස්, හැම්, බේකන්, චට්නි, සුප් කැට, ඊස්ට් සාරය අඩංගු පාන හා තැවරැම්, ලුණු එක්කළ බටර් වර්ග, මාගරින්, සොසේජස් ආදිය සඳහන් කළ හැක. එමෙන්ම කරවල, ටින්මාළු, ජාඩි, අච්චාරු වර්ගවලද අධික ලෙස ලුණු අඩංගු වේ.එහෙයින් අලුත් එළවළු පලා වර්ග හා පළතුරු,අලුත් මාලු වැනිදේ ආහාරයට  වැඩිවශයෙන් එක් කර ගැනීම උචිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ උප‍දෙස් පත්‍රිකාවක් ඇසුරෙනි. 



Recommended Articles