පවුල් සෞඛ්‍ය නිලධාරිනියට නිසිතැන ලබාදෙන්න කිසිම දේශපාලන බලධාරියෙකු සමත් වී නැහැ


ලෝකයේ  සෑම රටකම පාහේ  ජීවත් වන මව්වරුන්ගේ මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි වැදගත් කාර්යභාරයක් ඉටුකරන චරිතයක් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හඳුන්වාදිය හැකිය. මිඩ්වයිෆ් ලෙස අපි කොයි කවුරුත් හඳුනනා ඇය ලොව පුරා කාන්තාවන් මිලියන ගණනකගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අවශ්‍යතා සුරක්ෂිත කිරීමටත්, සෞඛ්‍යමත් දරු ප්‍රසූතියක් හා ආරක්ෂිත දරු උපතක් වෙනුවෙන් ඉටුකරන කාර්යභාරය සුළුපටු නොවේ.

කාන්තාවන් ලෙස ඔවුන් සපයන එම උදාරතර මෙහෙවර ඇගයීමට යෙදෙන අන්තර්ජාතික පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ දිනය හෙටට (05දා) යෙදී තිබේ. එය මෙවර සමරන්නේ 'Midwives, Mothers and Families: Partners for life' යන තේමාව ඇතිවය. ඒ අනුව මව්වරුනට හා පවුලට ජීවන සහය ලබාදෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිළිබඳ සටහනක් එක්කිරීම වටී. 

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නැතහොත් මිඩ්වයිෆ් යන තනතුර පුරාණ ඊජිප්තු යුගය දක්වා දිවෙන ඉතා පැරණි තනතුරකි. නූතන පවුල් සෞඛ්‍ය සේවය ආරම්භ වීම 18 වැනි සියවස තුළදී සිදුවූ බවද පැවසෙයි. මෙරට අතීතයේ ජීවත්වූ ආයා හා වින්නඹු මාතාව යන චරිතය 1926 වර්ෂයේ සිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී යන නිල තනතුරේ පිහිටුවනු ලැබීය.

එතැන් පටන් මේ දක්වා ක්‍රමයෙන් ගලා ආ ඔවුන්ගේ සේවාව ලංකාවට සෞඛ්‍ය දත්ත අතර ප්‍රශස්ත අගයක් සටහන් කිරීමට දායකත්වය ලබා දී තිබේ. මේ  මෙරට කාන්තා පරපුරේ සෞඛ්‍ය නංවාලීම සඳහා ඇප කැපවෙන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් නියෝජනය කරන සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනිය වන දීප්ති ජයතුංග මහත්මිය සමග කළ කෙටි සංවාදයකි.

අපේ සේවාව අද සීමාන්තික සේවාවක් බවට පත්ව තිබෙනවා

ලංකාවේ වින්නඹු සේවාව අවිධිමත්ව තමයි අතීතයේ පැවැතුණේ. ගමේ සිටි ආයා කියන ගෑනු කෙනා අතින් වින්නඹු කර්මය  එදා සිදුවුණේ. එය විධිමත් වුණේ 1926 වර්ෂයේයි. ඒ කාසල් වීදියේ කාන්තා රෝහලේ වින්නඹු සේවාව කළ 4 දෙනෙකුට ලබාදුන් පුහුණුවකින් පසුවයි. අද වෙද්දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් අට දහසකට අධික පිරිසක් ලංකාව පුරා සේවය සපයනවා.

මව හා ළදරුවාගේ සෞඛ්‍ය මූලික කාර්යය භාර්යය වූ පවුල් සෞඛ්‍ය සේවාව වර්තමානය වන විට  මවද, ළදරුවාද, යොවුන් අයද, වියපත් අයද ලෙස වර්ගීකරණය නොවී උපතේ සිට මරණය දක්වා වන සංකීර්ණ වැඩපිළිවෙළක් බවට  වර්තමානය වන විට පත්වී අවසන්.ඒ නිසා අපේ සේවාව අද සීමාන්තික සේවාවක් බවට පත්ව තිබෙනවා.

නොමේරූ දරු උපත්, ළදරු මරණ, මව් මරණ, බර අඩු ළමයි හා නිරෝගී දරු සම්පතක් කියන මාතෘකාව ඇතුළේ අපිට ලොකු වගකීමක් දරන්නට සිදුවෙනවා. දියුණුවෙමින් පවතින රටක් ලෙස සැලකෙන අපේ රටේ  සෞඛ්‍ය දත්ත, දියුණු රටක සංඛ්‍යා දත්ත හා සමාන අගයකට ගෙනෙන්න අපේ නිලධාරිනියන් සමත්වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාත්‍යන්තර සම්මාන පවා දිනා දීමට අපේ සේවාව සමත් වී තිබෙනවා. 

ඒ වගේම වර්තමානයේ අපි බෝ නොවන රෝග පිළිබඳ සුවනාරී සායන හරහා කාන්තාවන් දැනුම්වත් කිරීම සඳහා දායකත්වය ලබාදෙනවා. බෝ නොවන රෝගවලට ප්‍රධානම හේතුව වැරදි ආහාර රටා. ඒනිසා අපි ඒ පිළිබඳ අවශ්‍ය අවබෝධය රටට ලබාදෙන්නත් කටයුතු කරනවා.

අපිට අවස්ථා කිහිපයකදී සම්මාන ලැබී තිබෙනවා

අපේ ක්ෂේත්‍ර සේවාවන්ගේ යෙදෙන නිලධාරිනියන් පැය 24ක අඛණ්ඩ සේවාවක් ලබාදෙනවා. රෝහලේ පැය හයක සේවාවෙන් අනතුරුව ක්ෂේත්‍ර‘යේ සේවය අපි ලබාදෙනවා. වර්තමානයේ ගෘහ ප්‍රසූතියන් සිදුවන්නේ නැහැ කියලනේ හිතන්නේ. නමුත් එවැනි දෙයක් ඕනෑම අවස්ථාවක සිද්ධවෙන්න ඉඩක් තියෙනවා.

ඒ වගේම ගර්භිණී මවකට හරි, දරු ප්‍රසූතියෙන් පසුව මවකට හරි, නව ජන්මියෙකු සම්බන්ධයෙන් හරි ඇතිවන ගැටලුවකදී අපි ඕනෑම වේලාවක උපදෙස් හා අවශ්‍ය සහයෝගය ලබාදෙන්න සූදානම් වී සිටිනවා. 

අපේ සේවාවේ බැරෑරුම්කම ගැන කතාකළොත් අපි ජීවිතවල වගකීම් තනිව දරන තත්ත්වයක් තියෙන්නේ. මවක්, ගර්භිණී මවක්, දරුවෙකු ප්‍රසූත කළ මවක්, තරුණ කාන්තාවක් යන ඕනෑම අයෙකුගේ නිරෝගීකම අපි අපේ දෑත්වලට අරගෙන සිදු කරන රාජකාරිය ඇතැම්විට හරියට පවුලේ වෛද්‍යවරයෙක් සපයන සේවාව හා සමානයි. 

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් තමන්ගේ සේවාව නිවැරදිව සිදුකරන නිසා තමයි අද අපිට සෞඛ්‍ය සේවාවේ ජාත්‍යන්තර සම්මාන පවා ලැබෙන තැනකට ගමන් කරන්නට හැකිවී තිබෙන්නේ. අපිට අවස්ථා කිහිපයකදී සම්මාන ලැබී තිබෙනවා. ජාත්‍යන්තර ඉලක්කම්වලට ගමන් කරන්න නම් එක දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී ඒකකයකවත් දත්ත පල්ලෙහාට ගමන් කරන්න බැහැ. ඒ අනුව මේ දත්ත එක මට්ටමේ පවත්වාගන්නට එකම හැගීමෙන් වැඩකරන කණ්ඩායමක් අපේ පවුල් සෞඛ්‍ය සේවාවේ නියැළීම සන්තෝෂයට කරුණක්. 

ලෝකයේ අනිත් රටවල මේ සේවයේ යෙදෙන්නේ කාලයට හා තාක්ෂණයට අනුව පුහුණුව ලැබූ අයයි

ලංකාවේ සිටින මිඩ්වයිෆ්ලා ගත්තම කිලෝමීටර ගණන් අදටත් පයින් ගිහින් සේවාව සපයන අය ඉන්නවා. අපිට බයිසිකල් දුන්නට ඒවා හිමිනොවූ අයත් උතුරු නැගෙනහිර සේවය කරනවා. ඒ වගේම කුරුණෑගල, බදුල්ල වැනි ප්‍ර‘දේශවල ලන්දෙද , කැලෑවෙද, කඳු හෙල්වලද කියන එක නොබලා ඉතා දුෂ්කර සේවාවක මෙම නිලධාරිනියන් නියැළෙනවා. බයිසිකල් තිබුනට ඒවට ඉන්ධන ගන්න මුදල් හම්බෙන්නේ නෑ. කාර්යාලවලට ලිපි ද්‍රව්‍ය හම්බෙන්නේ නෑ. ගමන් වියදම් දීමනා හරියට හිමිවෙන්නේ නෑ. සේවා දීමනා ලෙස හිමිවන්නෙත් ඉතා සුළු මුදලක්.

ලංකාවේ 323ක් වන සෞඛ්‍ය නිලධාරී කාර්යාල ගත්තම පුරප්පාඩු තිබෙන කාර්යාල රැසක් තිබෙනවා. මේවායේ සේවයට යන නිලධාරිනියන්ට අදාළ ගෙවීම් ලැබෙන්නේ නැහැ. අඩුම තරමේ ඔවුන්ට ඇගයීමක්වත් ලැබෙන්නේ නැහැ. නිරන්තරයෙන් දොස් පරොස් අහගෙනයි අපි මේ සේවය කරගෙන යන්නේ.

1926 වර්ෂයේ ලබා දුන් වසර 1 ½ පුහුණුවමයි අදත් අපට දෙන්නේ. ලෝකයේ අනිත් රටවල මේ සේවයේ යෙදෙන්නේ කාලයට හා තාක්ෂණයට අනුව පුහුණුව ලැබූ අය. ඔවුන්ට ඊට අදාළව උපාධියක් හිමිකර දී තිබෙනවා. ඉතින් අපේ රටේ මේ සේවාව ඒ තැනට ගෙනියන්න කිසිම දේශපාලන බලධාරියෙක්ට නොහැකි වී තිබෙනවා. අද වනවිට අපේ රටේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 4000කගේ හිඟයක් තිබෙනවා. 

අපේ රටේ මිඩ්වයිෆ්ලා 12000ක්වත් සිටිය යුතුයි. ඉතින් හිඟයක් තියාගෙන වැඩකරද්දී ඉතාම පීඩනයකින් තමයි නිලධාරිනියන්ට සේවය සපයන්න සිදුවෙලා තිබෙන්නේ.

තවත් වසර දහයක් යනවිට මේ සේවාව හීනවෙලා යයි

අපේ සේවාව ගැන පවසන විට වෛද්‍යවරයෙකු නොමැති අවස්ථාවක දරු ප්‍රසූතියකට සහාය වීමේ හැකියාව අපිට තිබෙනවා. නමුත් නීතියට අනුව  ශල්‍ය වෛද්‍ය කොටස අපිට කරන්න බැහැ. එය හෙද නිලධාරිනියකටත් සිදුකරන්න බැහැ. අපේ සේවාව පුහුණුවෙන් පසු , අත්දැකීම් අනුවයි  තවදුරටත් මුවහත් වෙන්නේ.

අපේ සේවාව මහජනතාවට දැනෙන ගුණාත්මක සේවයක් බවට, තවදුරටත් පත්වෙන්නනම් පසුගිය කාලේ තිබුණ ජයසුන්දර කමිටුවෙන් අපි ඉල්ලීමක් විදිහට සිදුකළ හෙද සේවාව හා පවුල් සෞඛ්‍ය සේවාව එකක් බවට පත්කිරීම ජාත්‍යන්තරයේ සිදුකරන ආකාරයෙන් සිදුකළ යුතුයි.

විශ්‍රාම යන නිලධාරිනියන් වෙනුවට අලුතින් බඳවා ගැනීම්වත් සිදුනොකර මේ යන විදිහට ගියොත් තවත් වසර දහයක් වෙද්දී මේ සේවාව හීනවෙලා යයි. ඒ නිසා මේ සේවාවට විධිමත් පුහුණුවක්, විධිමත් බඳවා ගැනීම්, විධිමත් ශ්‍රේණිගත කිරීම් සිදුවිය යුතුයි. ඒවගේ ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාවන් අපේ රටේ ඇති කළ යුතුයි. එවිට වැඩි සේවාවක් මහජනයාට ලබාදීමට අපට හැකිවේවි. 

 



Recommended Articles