පවුල් සැලසුම යන්න නිසිලෙස වටහා ගන්න


කාන්තාවකට දරුවන් බිහිකිරීමේ හොඳම කාලය ලෙස සඳහන් වන්නේ අවුරුදු 20ත් 35ත් අතර කාලයයි. මේ කාල සීමාවේ නීරෝගී දරු ප්‍රසූතියන් සිදුකිරීම වෙනුවෙන් දරුවන් අතර පරතරය පවත්වා ගැනීමද වැදගත් බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

දරුවන් බිහිකිරීමත්, එය සුරක්ෂිත කිරීම සඳහා පවුල් සැලසුම දායක වන ආකාරයත් පිළිබඳ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්ද මහතා පසුගිය දිනක අදහස් දැක්වීය.

ඒ මහතා මෙම අදහස් දැක්වූයේ පසුගියදා 'තිරසාර සංවර්ධනය සඳහා පවුල් සැලසුම' යන මැයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය .

එදිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ලංකාවේ පවුල් සැලසුම් වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ පවුල් සැලසුම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලද අත්දැකීම් මතයි. අපේ රටේ පවුල් සැලසුම කියන මාතෘකාව බොහෝදෙනා හරිහැටි අවබෝධ නොකරගෙන කතා කිරීම නිසා විවිධ ගැටලු ඇතිවී තිබෙනවා. 

පවුල් සැලසුම කියන දේට අරමුණු පහක් තිබෙනවා.

- අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීම.

- අවශ්‍ය අයට දරුවන් ලබාගැනීමට උපකාර කිරීම /මඳසරු භාවයට ප්‍රතිකාර කිරීම

- දරු උපත් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම

- දෙමාපියන්ගේ වයස අනුව ( විශේෂයෙන් මවගේ) දරුවන් හැදීම පිළිබඳව තීරණය ගැනීම

- යුවළකට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම 

යන අරමුණු පහ අනුවයි පවුල් සැලසුම කියන සංකල්පය ක්‍රියාත්මක වන්නේ. 

පවුල් සැලසුම කියන දේ ජාතික වැඩසටහනක් ලෙස සිදුකරගෙන යද්දී වෛද්‍යවරුන් ජනගහන පාලනය කියනදේ පිළිබඳ අවධානයක් දක්වන්නේ නැහැ. මොකද එය වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනයේ නැහැ. එය අයිති වෙන්නේ ජාතික සැලසුම් කරනය කියන අංශයට. අපිට ඒ සම්බන්ධ දැනුමක් නැහැ.

නමුත් පවුල් සැලසුම කියන වචනේ ඇහුවම ගොඩක් අය හිතන්නේ ජනගහනය පාලනය කිරීමක් තමයි මේ සිදුකරන්නේ කියලා. 
පවුල් සැලසුමේ අරමුණ විය යුත්තේ අඹුසැමි යුවළකට අවශ්‍ය ළමයි සංඛ්‍යාව අවශ්‍ය පරතරයක් ඇතිව නිදහසේ ලබාගැනීම සඳහා උපකාර කිරීම කියන දේ 1994 වර්ෂයේ කයිරෝ නුවර පැවැති ජනගහනය සම්බන්ධ අන්තර්ජාතික සමුළුවකදී මුළු ලෝකයම පිළිගත් දෙයක්. 
ඒ එක්කම අපේ රටේ ජාතික වශයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනේ මහජනතාව වෙත ලබාදෙන සේවාවන්වල වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශ කිහිපයක් පවතිනවා.

ප්‍රථම නිර්දේශය තමයි දරු උපත් දෙකක් අතර පරතරය අවුරුදු 3ත් 5ත් අතර පවත්වා ගතයුතුයි කියන එක. එය වෛද්‍ය විද්‍යාත්මකව ඉතාම සුදුසුයි කියලා නිර්දේශ කරනවා. නමුත් මෙය වෙනස් වෙන්න පුළුවන්. මවගේ වයස වැඩි නම් ඒ කියන්නේ මවගේ වයස අවුරුදු 35ට ආසන්න නම් හෝ ඊට වැඩිනම් අපි කියන්නේ නැහැ මේ තරම් පරතරයක් තියන්න කියලා. එහෙම නිර්දේශ කරන්නේ ඇයි කියලා බැලුවොත් ළදරු මරණ , ළමා මරණ, හා මිටි භාවය කියන එක ඇතිවීම ළමුන් දෙදෙනෙකු අතර පරතරය මාස 36 හා 60 අතරදී අවම බව පෙනී යනවා.

එක් දරුවෙකු බිහිකර මාස 36ට අඩු කාලයකදී මෙන්ම මාස 72ට වැඩි කාලයකදී තවත් දරුවෙකු බිහිකිරීම අවධානම් වැඩි බවයි පෙනී යන්නේ. ඒ අනුව තමයි වෛද්‍ය විද්‍යාත්මකව දරුවන් දෙදෙනෙකු අතර පැවතිය යුතු හොඳම පරතරය ලෙස අවුරුදු 3ත් 5ත් අතර කාලයක් නිර්දේශ කරන්නේ. 

දරුවන් මන්ද පෝෂණයෙන් පෙළීම සම්බන්ධයෙන් බැලුවම දරුවන් අතර වයස් පරතරය වැඩි ළමුන් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරුවීම අවම බව පෙනී යන්නක්.

අපි වෛද්‍ය විද්‍යාත්මකව ඉදිරිපත් කරන දෙවන නිර්දේශය තමයි කාන්තාවකට අවුරුදු 20ත් 34ත් අතර කාලය තමා දරුවන් බිහිකරන්න සුදුසුම කාලය බව.එයත් පැහැදිලි කළොත් මළ දරු උපත්, නව ජන්ම මරණ ගැන  බැලුවත් අවුරුදු 20ත් 34ත් කාලය ඇතුළත ඉන්න කාන්තාවන් බිහිකරන දරුවන් සම්බන්ධයෙන් පවතින්නේ අවම අගයක්. කාන්තාවක් අවුරුදු 20ට අඩු නම් හා අවුරුදු 34ට වැඩිව සිටියදී දරුවන් බිහිකිරීමේ අවධානම වැඩියි. ඒ අනුව අවුරුදු 20ත් 35ත් අතර  වයසේදී පවුල සම්පූර්ණ කරගැනීම වැදගත් බවයි වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශය වන්නේ.

මීළඟට කාන්තාවක ගර්භිණී භාවයන් හතරකට වඩා යනවා නම් අපි ඒ කාන්තාවගේ ගර්භිණී භාවය සටහන් කරන පොතේ රතු ස්ටිකරයක් අලවනවා. එයින් අපි එම කාන්තාව අධි අවධානම් තත්ත්වයේ ඉන්න මවක් ලෙසයි දක්වන්නේ. ඒ කියන්නේ පස්වෙනි ගර්භිණී භාවය අවධානම් කියන දෙයයි. අපේ රටේ පස්වෙනි ඊට වැඩි ගර්භිණී භාවයන් නිසා මිය යන මාතෘ ප්‍රතිශතය 6%ක් ලෙස වාර්තාවෙනවා. ලංකාවේ මව්වරුන් අතරින් දැන් පස්වැනි හෝ ඊට වැඩි ගර්භිණී භාවයන් දරන්නේ 2%ක් වැනි අඩු ප්‍රතිශතයක්. නමුත් ඒ අතරින් 6%ක් මිය යනවා. 

අපි සුරක්ෂිත මාතෘත්වයක් කියන දේ ගැන කතා කරද්දී  පවුල් සැලසුම කියන එක සියලු දෙනාටම හිමිවිය යුතු සේවාවක් ලෙස දක්වනවා. ඒවගේම මේ වනවිට පවුල් සැලසුම කියනදේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසත් දක්වනවා. 

ලංකාව ගත්තම ලංකාවේ ජනගහනය මිලියන 21ක් පමණ වෙනවා. එයින් 27%ක් පමණ ප්‍රජනන වයසේ සිටින කාන්තාවන්.  එය සංඛ්‍යාත්මකව කිව්වොත් මිලියන 5.5ක් සිටිනවා දරුවන් ලැබීමේ හැකියාව ඇති. එයින් මිලියන 3ක් පමණ විවාහකයි. 

මොවුන්ට පවුල් සැලසුම් පහසුකම් ලබාදෙන ප්‍රධාන අංශ 4ක් සිටිනවා. රාජ්‍ය අංශය රෝහල්වලින් හා ක්ෂේත්‍රෙය් 1700කට ආසන්න ප්‍රමාණයෙන් පවතින මධ්‍යස්ථානවල මෙම සේවාවන් සපයනු ලබනවා. මීට අමතරව 6000ක්  පමණ වන පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගෘහ පිරික්සීම හරහා මේ සේවාව ලබාදෙනවා.

මීට අමතරව  මහජන සෞඛය පරීක්ෂකවරු 1400ක් පමණ මෙම සේවාව ලබාදෙනවා. දෙවනුව රාජ්‍ය නොවන සංවිධාන තුනක් , වතු ආශ්‍රිතව පවතින භාරයන්, පෞද්ගලික වෛද්‍යවරු හා පෞද්ගලික රෝහල් හරහාත් මෙම සේවය ලබාදෙනවා.

ලංකාවේ පවුල් සැලසුම් සේවාවේ ආරම්භය  1932 දක්වා දුරට යනවා. එවන් කාලයක මේ සේවාව ආරම්භ කිරීමට හේතු වුණේ ළමා මන්ද පෝෂණය හා මාතෘ හා ළදරු මරණ වැඩිවීමයි. 1965 වසරේ රාජ්‍ය අංශය මැදිහත් වෙලා මාතෘ හා ළමා සෞඛය සේවාවට මෙය අන්තර් ග්‍රහණය කරනු ලැබුවා. 

මේ කාලේ තමා අනෙක් රටවල් මේ කටයුතු ආරම්භ කරන්න පටන් ගත්තේ. මේ අනුව අපි පවුල් සැලසුම් සේවය හරහා අවුරුදු 18 වගේ අඩු වයසේ විවාහ වූ කාන්තාවන්ට පළමු පිළිසිඳගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍යය උපදේශන ලබා දෙනවා. ඒ වගේම පූර්ව ප්‍රසව පැකේජයක් ලෙස තමන්ට සුදුසු ක්‍රමය තෝරාගැනීමට අවශ්‍ය දැනුම ලබාදෙනවා.

මීළඟට දරු ප්‍රසූතියෙන් පසු ඒ කියන්නේ දරුවෙකු බිහිකර සති හයක් යන විට පවුල් සැලසුම් ක්‍රමයක් ආරම්භ කළ යුතුයි කියන එක අපේ නිර්දේශයයි. රෝහල්වල මේ අනුව පවුල් සැලසුම් ක්‍රම සපයනු ලබනවා. ගිලින පෙති, කොණ්ඩම්, ලූප්, කරල් තැන්පතු කියන තාවකාලික ක්‍රම ලබාදීම වැඩි වශයෙන් සිදුකරනු ලබනවා.

ලංකාවේ ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම භාවිතය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. අපි එය හොඳ තත්ත්වයක් ලෙස දක්වන්නේ. ලංකාවේ ගබ්සාව සම්බන්ධයෙන් කළ සමීක්ෂණ අනුව ඔවුන්ගෙන් විශාල අගයක් ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කර තිබුණු බව දැක ගන්නට හැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය සේවකයන්ට කියන දෙයක් තමයි ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම ප්‍රවර්ධනය ගබ්සාව ප්‍රවර්ධනය කිරීමට සමාන බව.

එමෙන්ම ස්ථිර පවුල් සැලසුම් ක්‍රම මේ වනවිට භාවිතයෙන් ඈත් වෙමින් පවතිනවා. ඒ අනුව තාවකාලික නූතන ක්‍රම ජනප්‍රියවී තිබෙනවා. 
අතීතයේ මව්වරුන් සාර්ථකව දරුවන් දහයක් පමණ බිහිකළ බව පැවසුවොත් අපිට කියන්න වෙන්නේ අපි අහලා තියෙන්නේ සාර්ථකව දරුවන් බිහිකළ මව්වරුන් පිළිබඳ පමණක් බව.

අතීතයේ මේ නිසා මියගිය මව්වරුන් පිළිබඳ වාර්ථා වෙන්නේ නැති තරම්. අපි අතීතයට ගියොත් මාතෘ මරණ අනුපාතය ඉතා වැඩියි. අද ඉන්න කාන්තාවන් දන්නේ නැහැ ගර්භනී භාවය ඇයට ජීවිත තර්ජනයක් කියන එකවත්. ඉතින් ඒ තරමට අපේ සෞඛ්‍ය සේවාව ඉහළ ගොස් තිබෙනවා* යනුවෙන් පැවසීය.  

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇඳුම්වලට ස්ප්‍රේකරණ රසායනිකයක් යෙදීම හේතුවෙන් කාන්තාවන් වඳ වන බවට රටේ පැතිර යන කටකථාවල සත්‍යතාවක් පවතින්නේද යනුවෙන් විමසූ අතර, එම පැනයට පිළිතුරු ලබා දුන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා පැවසුවේ එහි කිසිදු සත්‍යතාවක්  හෝ විද්‍යාත්මක පදනමක් නොමැති බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම,

''මේවා හරියට අතේ තිෙයන ෆෝන් එකේ ඉන්ටර්නෙට් ඔන් කළාම එන එක එක දේවල් වගේ. ඒවායේ සත්‍ය අසත්‍යතාව හොයන්න බෑනේ.  ඇඳුම්වලට එහෙම ස්ප්‍රේ කළා කියලා වඳකරන්න  පුළුවන් කියලා කියන එකේ කිසිම විද්‍යාත්මක සත්‍යතාවක් නැහැ.

පිරිමින් හා ගැහැනුන්  සඳහා සිදුකරන වන්ද්‍යකරණ සැත්කම් හැර අනෙක් පවුල් සැලසුම් ක්‍රම පවතින්නේ තාවකාලිකව දරු පිළිසිඳ ගැනීම් ප්‍රමාද කිරීමටයි. රටේ පවතින වන්ද්‍ය කරන ක්‍රමවලට එරෙහි තත්ත්වය නිසා දැන් මේ සැත්කම් නවතා දමන තැනට පැමිණ තිබෙනවා. විශේෂයෙන් බොහෝ පෞද්ගලික ආයතන හරහා මේ සේවාව ලබාදීම නවතා දමා තිබෙනවා'' යනුවෙන් පැවසීය.



Recommended Articles