ගතවූ වසර දෙක තුළ වැටුප් නොලබා විදේශ රැකියාවල නිරත වූ කාන්තාවන් 14 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නටත්, මරණ දණ්ඩනය හිමිව තිබූ කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කරගැනීමටත් විදේශ රුකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මියගේ උපදෙස් මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි විය.
ඒ පිළිබඳ විටින් විට ලැබෙන වාර්තා මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ විය. 2015 ජනවාරි 12 වන දින විදේශ රැකියා අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් පසු වසර දෙක ඇතුළත සිය අමාත්‍යාංශය තුළින් ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම වැඩ කොටස තමන් සිදු කර ඇති බවත්, විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් සතුටු වන බවත්,එතුමිය සඳහන් කරයි.
එසේම ඇතැම් පිරිස් පදනම් විරහිත විවිධ හේතු ඉදිරිපත් කරමින් දේශපාලන වාසි ගැනීමට චෝදනා එල්ල කරන බවත්, පසුගිය වසර දෙක තුළ සිදු කළ සේවය සම්බන්ධව එම චෝදනා කරන පිරිස් නොදැන සිටීම පිළිබඳ තමන් පුදුම වන බවත් අමාත්‍ය තුමිය පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ රත්නපුර පැවැති උත්සවයකට එක්වෙමිනි.
කාන්තාවන් රැකියාවන් සඳහා විදෙස්ගත කිරීම තහනම් කරන ලෙස ඉල්ලා පසුගිය සතියේ උද්ඝෝෂණ හා මාධ්‍ය හමු පැවැත්වීමට කාන්තා සංවිධානයක් කටයුතු යෙදීය.
මෙවැනි කටයුතු සංවිධානය කළ පළමු අවස්ථාව මෙය නොවුනත් කාන්තාවන් රැකියා සඳහා විදෙස්ගත කිරීම තහනම් කිරීමට තරම් රාජ්‍ය අංශය ආන්දෝලනාත්මක පියවරක් ගනු ඇතැයි අපට අපේක්ෂා කිරීමට අපහසු වන්නේ අපේ රටේ ආර්ථිකය තවමත් දරා සිටින්නේ මැදපෙරදිග ගොස් දුක් විඳින අපේ කාන්තාවන් නිසාවෙනි.
කෙසේ නමුත් තමන් කාන්තාවක ලෙස , මෙරට කාන්තාවන් විදෙස් ගතකිරීම නවතා දැමිය හැකි නම් එය කිරීමට වුවත් තමන් කටයුතු කරන බවට වත්මන් විදේශ රැකියා අමාත්‍යවරිය සඳහන් කරනුද අප අසා තිබේ.
නමුත් අපේ රටේ කාන්තාවන්ට විදෙස් රැකියා සඳහා පිටත්වීම තහනම් කිරීමට පියවරක් ගැනීමට යම් උත්සාහයක් ගතහොත් එයටද විරෝධය දක්වන පිරිසක් බිහිවනු නොඅනුමානය. කෙසේ නමුත් මෙරට කාන්තාවන් වෙනුවට පිරිමින් විධිමත් රැකියාවන් සඳහා විදෙස්ගත වන්නේ නම් මෙම ගැටලුවට ඉතා හොඳ පිළියම් ලැබෙනු ඇත.
මේ හේතුව නිසාම කාන්තාවන් විදෙස්ගත වීම අධෛර්යය කිරීම යම් ප්‍රමාණයකට සිදුකිරීම උදෙසා විදෙස්ගත වීමේ වයස් සීමා ඉහළ දැමීම්, කුඩා දරුවන් සිටීද යන්න පවුල් පසුබිම් වාර්තා හරහා සොයා බැලීම, පුහුණු දින ගණන ඉහළ දැමීම ආදී පියවර ගෙන ඇත. එමෙන්ම ශ්‍රමික සුරැකුම වැඩසටහන හරහාද විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභසාධනය තහවුරු කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.
විදෙස්ගතව දුක්විඳ මෙරටට පැමිණෙන කතුන් තමන් මුහුණ පෑ දුක්ඛිත තත්ත්වයන් කොතෙකුත් ඇසූවත් දුටුවත් කාන්තාවන් අපිට එසේ නොවෙතැයි සිතා විදෙස්ගත වීම සිදු කරති.
එසේ විදෙස්ගතවන ඇතැමුන් රෝද පුටුවලින් යළි දිවයිනට පැමිණෙනුද අප දැක ඇත්තෙමු. කෙසේ හෝ විවිධ කරදරයන්ට මුහුණ දී සුරක්ෂා නිවාසවල රඳවා සිටි කතුන් දෙදහසකට අධික පිරිසක් මේ වනවිට යළි දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිවිය.
ඒ අය අතර වසර ගණනකට පසු වැටුප් නොලබා විදේශ ගතව සේවය කළ කාන්තාවන් 14 දෙනෙකුද වෙයි.
එච්.එම් ධනවතී ඉන් එක් තැනැත්තියකි. අනුරාධපුර, කැකිරාව, ගෝනපතිරාව ලිපිනයේ පදිංචි ධනවතී 2003.07.07 වන දින සෞදි අරාබියට විදේශ රැකියාවක් සඳහා ගොස් වසර 11ක් වැටුප් නොලබා සේවය කර ඇත.
ඇය පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පසු ඇයව දිවයිනට ගෙන්වාගෙන ඇයට හිමිවිය යුතු හිඟ වැටුප ලෙස සෞදි රියාල් 61075ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 2,076,000ක් ඇයගේ හාම්පුතාගෙන් ලබාගෙන ඇයට ලබාදෙන්නට බලධාරින්ට හැකි විය.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ආර්. පේමවතී 1999 වසරේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් සඳහා සෞදි අරාබියට ගොස් ඇත. එහිදී ඇය වසර 15ක් වැටුප් රහිතව සේවය කර ඇති ඇයට සිය හාම්පුතාගෙන් ලැබිය යුතු වූ හිඟ වැටුප ලෙස සෞදි රියාල් 52000ක් එනම් ලංකා මුදලින් ලක්‍ෂ 18ක මුදලක් ඇයට හිමිවිය.
කින්නියා ප්‍රදේශයේ පදිංචි වකර්ඩීන් තස්නා උම්මා 2009 වසරේ සෞදියේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, ඇයට වසර 7ක හිඟ වැටුප් ලබා දී නොමැත. ඇයට හිමි විය යුතු සෞදි රියාල් 44,850ක් එනම් ලංකා මුදලින් ලක්‍ෂ 15ක මුදලක් ඇයගේ හාම්පුතාගෙන් ලබාගෙන ඇයට ලබාදීමට කටයුතු කෙරිණි.
හලාවත, අරියාගම, මුගුණවටාවන ප්‍රදේශයේ පදිංචි ජසින්තා මහත්මිය 1999 දෙසැම්බර් මස සෞදි අරාබියට ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගතවන විට ඇයට වසර 29කි. ඇය වසර 15ක් වැටුප් රහිතව සේවය කර ඇති අතර, ඇය දිවයිනට ගෙන්වාගෙන ඇත්තේ රියාල් 68,000ක ලංකා මුදලින් රු.2,640,000ක මුදලක් හිඟ වැටුප ලෙස ඇයට අයකර දීමෙන් පසුවය.
එස්. අයි. ආසිඅම්මා නැමැත්තියටද වසර 13ක් සඳහා. හිඟ වැටුප වූ රු.2,595,874 ක මුදල ලබාදී තිබේ.
2007.05.24 දින සෞදි අරාබියට රැකියාව සඳහා ගොස් ඇති ගනේෂන් සරෝජාදේවිට වසර 9ක හිඟ වැටුප් ලෙස රු.1,064,974 ක මුදලක් හිමිකර දෙන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට හැකිවිය.
2011.05.04 දින සෞදි අරාබියට රැකියාව සඳහා ගොස් ඇති එම්. එෆ්. නුරුල් ඉෂාරාට වසර 5ක හිඟ වැටුප් ලෙස ලැබුණු මුදල රු.1,165,764කි.
කේඩීෂ්වරී සෙල්ලමුත්තු 2000.01.28 දින ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගතවී ඇති අතර, ඇය සේවය කළ වසර 12ක් සඳහා වැටුප් ලබා දී තිබුණද නැත.ඇයට හිඟ වැටුප රුපියල් ලක්‍ෂ 13ක් හිමි විය. කිලිනොච්චියේ එස්. ජැක්ලින්ට, ඔට්ටමාවඩි හි මොහොමඩ් අලියාර් කයිරුනිසාට,වෙහෙරයායේ ටී.එම් ශ්‍රියාකාන්තිට, මාතලේ ගෝවින්දසාමි පරමේශ්වරීට, මඩකලපුවේ ඥානප්‍රකාශම් නිශාන්තිනීට මෙන්ම පානදුර නාලනී ප්‍රනාන්දුටද අහිමිව තිබූ වැටුප් හිමිකර දෙන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට හැකියාව ලැබිණි.
එසේම විදේශයන්හි රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හේතු මත සිරදඩුවම් සහ මරණ දඬුවමට ලක්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තුමියගේ මැදිහත් වීමෙන් බේරා ගැනීමට හැකිවුණි. ඉන් පළමු කාන්තාව සෞදි අරාබියේදී අනියම් සම්බන්ධයක් පවත්වා ගැනීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්වී තිබිණි. ඔවුන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වීම හේතුවෙන් කාන්තාව ගල් ගසා මරා දැමීමටත්, තරුණයාට කස පහර ලබාදීමටත් නියම කර තිබිණි.
2014.08.28 දින විදේශ ගතවූ මෙරට කාන්තාවක සේවා කළ ස්ථානයේ මාස 9ක දරුවෙකු කිරි සිරවී මිය යාම නිසා දරුවා ඝාතනය කළැයි චෝදනාව මත ඇයව 2014.11.18 දින අත්අඩංගුවට ගෙන තිබිණි. වසර 10ක සිර දඬුවමක් හා ඉන් පසු මරණ දඩුවම ලබා දෙන ලෙස පැමිණිලිකරුවන් ඉල්ලා ඇති බවද වාර්තා විය. නමුත් රජයේ මැදිහත් වීම මත වසර 2ක සිර දඬුවමක් පමණක් හිමි වීමෙන් පසු ඇයව 2016.11.16 දින දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවිය.
මෙලෙස විදෙස් ගතව ප්‍රශ්න හා ගැටලුවලට මුහුණ දෙන කාන්තාවන් පිළිබඳ විමසා බැලීමේදී ඔවුන්ගෙන් බහුතරයක්ම සෞදි අරාබියේ රැකියාවන්වල නිරත වී ඇති බව පෙනී යන්නකි. තත්ත්වය මෙසේ නම් මෙරට කාන්තාවන් විදෙස්ගත වීමට පෙර තමා යන රට පිළිබඳවද කිහිපවරක් සිතා තීරණ ගැනීමේ අවශ්‍යතාවක් පැන නගියි.
කාන්තාවන් විදෙස්ගත වීම තහනම් කිරීමට නොහැකි නම් මෙරට තුළ කාන්තාවන්ට ස්වයං රැකියාවක නිරත වීමට හෝ වෙනයම් රැකියාවක නිරත වීමට අවශ්‍ය වට පිටාවක් ගොඩ නැගීම රජයේ වගකීම වේ. එසේත් නැති නම් මෙරටින් විදෙස් ගතවන ශ්‍රමිකයින්ට එම රටවල්වලදී ආරක්ෂිතව රැකියාවන්වල නිරත වීම සඳහා වන වටපිටාවක් සැකසීම සඳහා වන සම්මුතීන්ට හා ගිවිසුම්වලට එළඹෙන්නට බලධාරීන් තව දුරටත් කටයුතු කළ යුතුය.
එසේම ශ්‍රමිකයින් ලෙස විදෙස්ගත වීමේදී තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම උදෙසා කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත් වීම ඉතාමත් වැදගත් වේ.
එලෙස ලියාපදිංචිව ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයන් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල මගින් වන්දි මුදල් පිරිනැමීමක් මෙන්ම ඔවුන් වෙනුවෙන් රජයේ මැදිහත් වීමද ඉන් ලැබෙයි.
ඒ අනුව 2015 වසරේ 41 දෙනෙකු සඳහා රු.5,050,000/-ක මුදලක්ද, 2016 වසරේ 110 දෙනෙකු සඳහා රු.16,765,000/- ක මුදලක්ද, 2017 වසරේ මේ වන විට 67 දෙනෙකු සඳහා රු.13,250,000ක මුදලක්ද කාර්යාංශය මගින් පිරිනමා තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ විගමනික දෙමාපියන්ගේ, දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සහාය වීමක් හා සුභසාධන කටයුත්තක් ලෙසත්, විගමනික දෙමාපිය දරු ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වේ.
ඒ අනුව 2015 වසරේ දරුවන් 3310 දෙනෙකු වෙනුවෙන් රු.60,270,000.00/-ක මුදලක්ද, 2016 වසරේ 2863 වෙනුවෙන් රු.55,435,000.00/-ක මුදලක්ද ලබා දී ඇත.
පැවැති රජයන්ට සාපේක්ෂව බලන විට වත්මන් රජයේ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩි වැඩ කොටසක් සිදුකර ඇති බව පෙනී යයි. කෙසේ නමුත් තවදුරටත් දුරුකතරේ අපේ කාන්තාවන් හෙළන දහඩිය කඳුළු මත රටේ ආර්ථිකය රඳා පවත්වනවාද යන්න රට පාලනය කරන පාලකයන්ද සිතා බැලිය යුතුය.