දිරිය කතුන්ට පිහිටක් වන්න


හෘදයාබාධයකින් තම පියා මිය යෑමත් සමග ජීවිත සටන ජයගැනීමට වෙරදරන රෝගී පවුලක් පිළිබඳව පොළොන්නරුව කලගහල දියවර ගම්මානයෙන් අපට මුණගැසිණි.

දියණියන් තිදෙනකු ඇතුළු මවකගෙන් යුත් අසරණ මෙම පවුලේ එක් දියණියක් හැර තිදෙනකුම රෝග කිහිපයකින් පෙළෙන්නීය.

23 වියැති ඩී.ජී.බී පියුමි හන්සිකා ලක්මාලි කථනාබාධයකින් පෙළෙන අතර, ඇය අබලන් මහන මැෂිමකින් විසිතුරු නිර්මාණ, මැහුම්, ගෙතුම්කර ඒවා අලෙවිකර ජීවිත සටන ජයගැනීමට වෙර දරන්නීය.

29 හැවිරිදි හසන්ති ලක්මාලි පොළොන්නරුව ප්‍රදේශයේ සුළු රැකියාවක් කරනු ලබන්නේ ලියුකේමියා රෝගයෙන් පෙළෙමිනි.

ඩී.ජී.බී අශෝක තම ස්වාමියා මීට වසර පහකට පෙර මිය යෑමත් සමග තම දියණියන් තිදෙනකු සමග මෙලොව තනිවූ 53 වියැති එම්. සීලවතී මැණිකේ මාතාව රෝග කිහිපයක් නිසා කිසිදු රැකියාවක් කිරීමට නොහැකිව අසරණව නිවසේ සිටින්නීය.

12 වියැති ජලනි සඳතිමා ලක්මාලි විවිධ අඩුපාඩු මැද පොළොන්නරුව සීවලී මහා විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබන්නීය.

හසන්ති ලක්මාලි සුළු රැකියාවක් කරගන්නා වැටුපෙන් නැගණියගේ ඉගෙනීම් කටයුතුවලට අතදෙන අතර, විසිතුරු නිර්මාණ මැහුම් ගෙතුම් කර පියුමි හසන්තිකා උපයන සුළු ආදායමෙන් ජීවිතය විවිධ අඩුපාඩුකම් මැද ගැටගහගන්නීය.

මැහුම් ගෙතුම් කිරීමට රෙදි හා අවශ්‍ය ද්‍රව්‍ය ගැනීමට මුදල් නොමැති වූ විට පියුමි කඩදාසි බෑග් නිෂ්පාදනය කර අලෙවි කරන්නීය. ඇය මැහුම් ගෙතුම් කරන මහන මැෂිමද මේ වන විට පවතින්නේ දැඩි අබලන් තත්ත්වයේය.

''මගේ මහත්තයා 2011 දෙසැම්බර් 16 වෙනිදා නහරයක් පුපුරලා මැරුණා. ලොකු දුවට ලියුකේමියාව. එයාට බෙහෙත්වලට මාසෙකට රුපියල් 5000ක් වියදම් වෙනවා. සල්ලි නැති නිසා ඒ රෝගයට අවශ්‍ය බෙහෙත් ගත්තෙ නැති මාසත් තියෙනවා. ඊළඟ දුවට උපතින්ම කතා කරන්න බැහැ. එයා මාතලේ කයිකාවල විශේෂ අධ්‍යාපන ඒකකයට අරං ගිහින් උගන්නලා අතර මගදී නතර වුණා.

ආර්ථික ප්‍රශ්න හන්දා, අනුරාධපුර එප්පාවල ශාන්ත ජෝශප් ශ්‍රවණ ඌණතා පාසලටත් අරං ගියා. එයාටත් නිතර ලෙඩ. එයාගෙ මහන මැෂිම නිතර කැඩෙනවා. මැහුම් ගෙතුම් වලට හරිම දක්ෂයි. මහන මැෂිම කැඩුණ ගමන් එයා අඬනවා. හදාගන්න බැරි වුණාම කඩදාසි බෑග් අලවලා සල්ලි හොයාගෙන මැෂිම හදාගන්නවා. උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහත්තයා මේ ගේ හදාගන්න උදව් කළා. දැං වැසි දිනවල ගේ ඇතුළට වතුර වැටෙනවා. ෂීට් කැඩිලා නිසා.

මටත් ලෙඩ ගොඩයි. බෙහෙත්වලින් තමා මම අද ජීවත් වෙලා ඉන්නෙ. ලොකු දුවට මාස හයෙන් හයට ලේ පරීක්ෂා කරගන්න කොළඹ යන්න ඕන. ඒකෙ වියදම රුපියල් 35,000යි. ඉතිං අපිට සල්ලි නැහැ. දැං අසරණයි. ලොකු දුව බඳින්නෙ නැත්තෙ අපිට සලකගන්න බැරිවෙයි කියලා. මටත් හොඳට මැහුම් ගෙතුම් පුළුවන්. ඉතිං කවුරුහරි දානපතියෙකු පරිත්‍යාගශීලීයෙක් අපිට මහන මැෂිමක් ගන්න උදව් කළොත් අපිට ජීවත් වෙන්න පුළුවන්. ලොකු පිනක්. අපට පුළුවන් විදිහට උදව්වක් කරන්න'' යැයි සීලවතී මැණිකේ මව පැවසුවාය.

ඔබගේ ආධාර පහත ගිණුමට බැර කළ හැකියි.

ඩී.පී.බී ලක්මාලි

හැටන් නැෂනල් බැංකුව - කඳුරුවෙල

ගිණුම් අංක - 044020306285

සීලවතී මැණිකේ - දුරකථන 078 8 730 224

මනම්පිටිය - නිමල් ජයරත්න

DSC_0282DSC_0264 DSC_0265 DSC_0278



Recommended Articles