තම දරුවා අක්ෂි ආබාධයකින් පෙළෙන්නේද නොපෙළෙන්නේද යන්න පිළිබඳව අද බොහෝ මවුවරුන්ට දැනුමක් නොමැත. ඒ හේතුවෙන් අක්ෂි ආබාධයකින් පෙළෙන දරුවෙකුට ප්‍රතිකාර කිරීමද ප්‍රමාද වී ඔහුගේ හෝ ඇයගේ පෙනීමේ දුර්වලතාව තවත් වැඩිවිය හැක.
එ් නිසාවෙන් මේ සම්බන්ධව ඔබව දැනුවත් කිරීම වැදගත් යැයි හැඟුණු බැවින් ඒ සම්බන්ධව ඔබව දැනුවත් කිරීමට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි ශල්‍ය විශේෂඥ හිරණ්‍ය අබේසේකර මහතා අප 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
Q කුඩා වයසේදී හැදෙන අක්ෂි ආබාධ හඳුනාගන්නේ කෙසේද?
අක්ෂි ආබාධවල ස්වභාවය වයස අනුව වෙනස් වෙනවා. කුඩාම දරුවෙකු නම් සති හය වනවිට මවගේ මුහුණ දෙස නොබලන්නේ නම්, ආලෝකය දෙස හෝ එක එල්ලේ බලන්නේ නැතිනම් සහ ඇස් වපර කර බලනවා නම් දරුවාට අක්ෂි ආබාධයක් තිබෙනවා කියා සැක කරන්න පුළුවන්. කුඩාම අවධියේදී දරුවෙක්ට අක්ෂි ආබාධයක් තිබෙනවාද කියා හොයා ගන්න ඉහත ක්‍රම අනුව පුළුවන්.
ඒ වගේම වයස අවුරුදු 3,4 පෙරපාසල් වයසේ දරුවෙකුට අක්ෂි ආබාධ තිබෙනවාද කියලා මේ දේවල්වලින් නිගමනය කරන්න පුළුවන්. ඒ රූපවාහිනිය නරඹනවිට ගොඩාක් ළඟට ගිහින් නරඹනවා නම්, චිත්‍රයක් අඳිනවිට, පොතක් කියවනවිට නිතරම ගොඩක් මූණට ළං කරලා බලනවා නම් , ඇස් වපර කර බලනවා නම් ඇස්වල අබාධයක් තිබෙනවා කියා හිතන්න පුළුවන්.
පාසල් යන ළමයෙක් නම් බ්ලැක් බෝඩ් එකේ දාන දේවල් හරියට පිටපත් කර ගෙන එන්නෙ නැත්නම්, ඒ දේවල් හරියට පැහැදිලිව පෙනෙන්නේ නෑ කියලා කියනවා නම්, අකුරු අඩුවෙන් ලියාගෙන එනවා, ඉලක්කම් ලියද්දී වරද්දලා ලියනවා නම්, ඇස්වලින් කඳුළු ගලනවා නම් අක්ෂි අබාධයක් කියලා හිතන්න පුළුවන්.
මේ වගේ තත්ත්වයක් දරුවාට තිබෙනවා නම් අනිවාර්යයෙන්ම දරුවාව අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න අවශ්‍යයි.
Q අද වනවිට කුඩා දරුවන් අතර අක්ෂි ආබාධ තත්ත්වයන් ඉහළ යාමක් තිබෙනවාද?
අද වනවිට අක්ෂි ආබාධ තත්ත්වයන් ඉක්මනින් හඳුනා ගැනීමක් තිබෙනවා දෙමාපියන් , ගුරුවරුන්ගේ දැනුවත්භාවය නිසා. මේ නිසා ඉහත සඳහන් කළ ලක්ෂණ දරුවෙකු පෙන්වනවා නම් වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන ප්‍රමාණය අද අඩු වෙලා තිබෙනවා. ඒ නිසා අතීතයට වඩා අක්ෂි අබාධ සඳහා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වන ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා.
Q දරුවන්ගේ අක්ෂි ආබාධවලින් බහුලව පවතින ආබාධ තත්ත්වයන් මොනවාද?
ඒකත් වයස අනුව වෙනස් වෙනවා. කුඩාම කාලයේ නම් දරුවන්ට උපතින් ආපු ආබාධ තිබෙන්න පුළුවන්. සංජානනීය ප්‍රශ්න වගේ දේවල්. එහෙම නැත්නම් ඇසේ සුද වගේ තිබෙන්න පුළුවන්. ඇසේ ග්ලුකෝමා කියන තත්ත්වය තිබෙන්න පුළුවන්.
ඊට පස්සේ එන්න පුළුවන් දුර පෙනීමේ අක්ෂි රෝගී තත්ත්වයන්. අවිදුර දෘෂ්ටිකත්වය තිබෙන්න පුළුවන්. මේ වගේ අක්ෂි ආබාධයන් එන්නෙ දරුවා ටිකෙන් ටික ලොකු වෙද්දී. ඒ වගේම ඇස් වපර කිරීම් එන්න පුළුවන්. ඊට අමතරව විවිධ අනතුරුවලින්ද යම් යම් ආබාධ එන්න පුළුවන්.
Q කුඩාම අවධියේ දරුවන්ට කණ්ණාඩි පැලඳීමෙන් තොරව ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවාද?
කාණ්ණාඩි දෙකක් පලඳින්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම එය පලඳින්න ඕන. කණ්ණාඩි දැමිය යුතු අබාධයක් ඇස්වල තිබෙනවා නම් වයස ප්‍රශ්නයක් නැහැ. ඒක පලඳින්න ඕන. එය දරුවාට අපහසු වුවත් අනිවාර්යයෙන් පලඳින්න ඕන.
උදාහරණයක් විදිහට මාස 6 දරුවොත් ඉන්නවා කණ්ණාඩි පලඳින. කණ්ණාඩි දාන්න ඕන අසනීපවලට බෙහෙත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් කණ්ණාඩි දෙකක් නිර්දේශ කළ හොත් අනිවාර්යයෙන්ම කණ්ණාඩි පැලඳිය යුතුයි.
Q අක්ෂි අබාධයන් සඳහා කරන ලේසර් ප්‍රතිකාර ක්‍රමය ගැන කතා කළොත්?
ලෙසර් ප්‍රතිකාර ක්‍රමය කුඩා දරුවන්ට සිදු කරන්නෙ නැහැ. දුර පෙනීමේ ආබාධ තිබෙන කුඩා දරුවන්ට ඒ ප්‍රතිකාර ක්‍රමය ගැළපෙන්නේ නැහැ. එය ගැළපෙන්නෙ වැඩිහිටි පිරිසට. අවුරුදු 18ක්වත් වෙන්න ඕනෙ ඒ වගේ ප්රතිකාරෙකට යොමු වෙන්න.
Q වපරය කියන්නේ මොකද්ද?
ඇස් දෙක සාමාන්‍යයෙන් සමාන්තරයි. වපරය කියන්නේ ඇස් දෙක අතර තිබෙන සමාන්තරභාවය නැති වීම.
Q මාස ගාණක දරුවෙකුගේ ඇස්වල සාමාන්‍යයෙන් වපර ගතියක් දැක ගන්න පුළුවන්. එය සාමාන්‍ය තත්ත්වයක්ද? නැත්නම් එය වපරයක්ද කියා හඳුනා ගන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් ළමයි සියදෙනෙක් ගත්තොතින් ඒ අතරින් හතකට අටකට වගේ විවිධ වු වපර තත්ත්වයන් තිබෙන්න පුළුවන්. දෙමාපියන්ට හිතෙනවා නම් දරුවාගේ යම්කිසි වපරයක් තිබෙනවා කියලා අනිවාර්යයෙන්ම දරුවව අක්ෂි වෛද්‍යවරයෙක්ට පෙන්වන්න ඕන. මෙහිදී දරුවගේ වයසෙ ප්‍රශ්නයක් නැහැ. කුඩාම දරුවෙක් වුණත් අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕන.
මොකද සමහර වපර පිටිපස්සෙ භයානක ලෙඩ තිබෙන්න පුළුවන්. සමහරවිට දරුවන්ගේ ඇසේ සුද තිබෙන්න පුළුවන්. ඒ වගේම කලාතුරකින් ඇතිවෙන පිළිකා තත්ත්වයන් තිබෙන්නත් පුළුවන්. ඒ වගේම වපරයට ප්‍රතිකාර ගන්න එක ප්‍රමාද කළොත් දරුවාගේ පෙනුමට එය බාධාවක් වෙන්න පුළුවන්.
Q වපරයක් තිබුණ හොත් අනිවාර්යයෙන්ම ශල්‍යකර්ම සිදු කළ යුතුද?
සමහර අයට ශල්‍යකර්ම සිදු කරනවා. සමහර අයට කණ්ණාඩි මගින් වපරය පාලනය කරන්න පුළුවන්. වපරයේ වර්ගය අනූව අවශ්‍ය ප්‍රතිකාරය තීරණය කරනවා.
Q වපරයක් තිබූවිට කාලයක් යාමේදී එය ඇසේ පෙනීමේ තත්ත්වයට බාධාවක් වෙනවාද?
වපරය තිබෙන ඇසේ පෙනීම අඩු වීමක් වෙනවා. ඒ වගේම පිටට අවලස්සන ගතියක් තිබෙනවා. එය දරුවාගේ පෞරුෂයට බාධා කරනවා. පාසල් යන වයස වනවිට හරි පෙනුමක් ගන්න බැරි වෙනවා වගේම එය අධ්‍යාපන කටයුතුවලට බාධාවක්. ඒ නිසා මෙවැනි වපර තත්ත්වයන් කුඩා කාලයේම තිබෙන බව දැන ගත්තම ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕන.