දරුවාගේ ශිෂ්‍යත්ව විභාග හිසරදයට හේතුව ඔබ නොවන්න


මේ දිනවල ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවෙකු සිටී නම් හොඳින් අධ්‍යාපන කටයුතු කළ ඔබේ දරුවාට ඇතැම් විට දැන් ඇති වී තිබෙන ගැටලුව වන්නේ පාඩම් අමතක වීම විය හැක.

නිතරම හිසරදය ඇතිවීම, කේන්ති යන ස්වභාවය, විභාගය අසමත් වේ යැයි ඇතිවන බිය, මෙන්ම තමා ගැන කලකිරීමෙන්  කතාබහ කරන ආකාරයේ ලක්ෂණද මේ දිනවල ඔබේ දරුවා මුහුණදෙන ගැටලුවක් විය හැකිය.

නිදිමත ගතියකින් නිතරම පසුවන තත්ත්වය , ආහාර අරුචිය හා කම්මැලි ස්වභාවයද මෑතකාලීනව බහුලව දරුවා තුළින් දැකගැනීමට හැකි වනු ඇත.

විශේෂයෙන් දරුවෙකු විභාගයකට මුහුණ දීමට සූදානම් වේ නම් එම කාලය තුළ මෙවැනි තත්ත්වයන් ඇති වීම සුලභ වේ. විභාග වැනි කඩඉමකට මුහුණ දෙන්නට දරුවෙකු සූදානම් වන විට චකිතයක් ඇති වීම ස්වාභාවික තත්ත්වයකි. නමුත් එම දරුවාට තම සාමාන්‍ය කටයුතුවල නිරත වීමට නොහැකි වන තරමටම පීඩනයක් හිස මත පවතී නම් එයට හේතුවන කාරණාද තිබිය හැක. එනම්

01. තරගකාරීත්වය

එකම වයසේ දරුවන් දෙදෙනෙකුගේ වුවද බුද්ධි මට්ටම් වෙනස් වේ. නමුත් බොහෝ දෙමවුපියන් වෙනත් ළමුන්ගේ ඉගෙනීම් මට්ටම් අභිභවා යන ලෙස තම දරුවන්ට බල කරයි. එසේම ළමුන්ගේ ලකුණු හොඳ මට්ටමක තිබුණද දෙමාපියන් ඒ පිළිබඳ සෑහීමකට පත් නොවන අවස්ථාද පවතී.

02. දෙමවුපියන්ට ළමා කාලයේ නොහැකි වූ දේ දරුවාගෙන් බලාපොරොත්තු වීම.

දෙමාපියන්ට කුඩා කළ ඉගෙන ගැනීමේ පහසුකම් නොතිබුණු නිසා එම පහසුකම් ළමුන්ට ලබාදී ඔවුන්ගෙන් උසස් ප්‍රතිඵල  බලාපොරොත්තු වන දෙමාපියෝ සිටිති. එසේම දෙමවුපියන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට නොහැකි වූයේ නම් එම ආශාව තම දරුවන්ගෙන් ඉටුකර ගැනීමට උත්සාහ දරයි. එලෙස දරුවන්ට විභාග කෙරෙහි අනවශ්‍ය පීඩනයක් එල්ල කරයි.

03. දරුවාගේ විභාග සමත්වීම පවුලේ ආර්ථිකමය ප්‍රශ්නවලට විසඳුමක් ලෙස දෙමාපියන් සිතීම

පවුලක ආර්ථික ප්‍රශ්න ඇති අවස්ථාවක දරුවා ශිෂත්ව විභාගයෙන් සමත්ව උසස් විද්‍යාලයකට ඇතුළු වීමට හැකි බව දරුවාට අනවශ්‍ය ලෙස හිතට ඇතුළු කරන දෙමාපියන්ද සිටී.

මෙම සියලු කරුණුවලදී දෙමවුපියන් දරුවන් ප්‍රියකරන ක්‍රීඩාවන් ඇතුළු අමතර ක්‍රියාකාරකම්වලින් ඔවුන්ව ඈත්කර අධ්‍යාපනය කෙරෙහි වැඩි වැඩියෙන් තල්ලු කිරීමට කටයුතු කරයි. නමුත් විය යුත්තේ දෙමාපියන් තම දරුවන්ගේ බුද්ධි මට්ටම හා හැකියාවන්, නොහැකියාවන් හඳුනා ගැනීමයි.

ඇතැම් දරුවන් පාසල් කාලය තුළ ඉගෙනුම ලබන දේ 100෴ක්ම හොඳින් අවධාරණය කරගනියි. එවැනි දරුවන්ට එම කරුණු නැවත නැවත ඉගෙන ගැනීම හෝ මතක් කිරීම අවශ්‍ය නොවේ. එවැනි දරුවෙකුට අමතර පංතිවලට සහභාගී නොවීමෙන්ම මෙවන් කඩඉමක් ජය ගැනීමට හැකියාවක් ලැබේ.

එසේම ඇතැම් දරුවන් ඌණ අවධානය සහිතව සිටිය හැකිය. මෙවැනි දරුවන්ගේ රෝගී තත්ත්වයන්ට පිළියම් නොකර, දරුවාගෙන් උසස් ප්‍රතිඵල අපේක්ෂා කිරීම නුවණට හුරු නැත.

මේ හේතුව නිසා දෙමාපියන් ළමුන්ගේ බුද්ධි මට්ටම් හා හැකියාවන් වෙන්කර හඳුනාගත යුතුය.

ඒ සඳහා දරුවාගේ වාර පරීක්ෂණ ලකුණු, විභාග අනුමාන ප්‍රශ්න පත්‍රවල ලකුණු පිළිබඳව අවධානය යොමු කළ හැකිය. එසේ නොමැතිව දරුවන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමෙන් එම දරුවන්ගේ පෞරුෂය තුළ තමා ගැනම ඍණාත්මක ආකල්ප ගොඩනැගීමක් සිදුවේ. එසේම තමන් මුහුණ දෙන විභාගය සමත් නොවේවි දැයි බියකින් පසුවීම තුළින් දරුවා මානසික වශයෙන්ද කඩා වැටීමකට ලක්විය හැක.

ඔබේ දරුවා විභාගය අසමත් වුණොත්?

විශේෂයෙන් දරුවන්ගේ බුද්ධි මට්ටම් ඒ ඒ දරුවාට අනුව වෙනස් වීම මත ඔවුන්ගේ ධාරණ ශක්තීන් වෙනස් විය හැක. මේ හේතුව වටහා නොගෙන ඔබ එබේ දරුවා විභාගයෙන් කෙසේ හෝ සමත් කරවීම සඳහා අතිරේක පන්ති කරාද යොමු කරන්නට ඇති. මෙලෙස ළමයාගේ නිදහස, සෙල්ලම් කිරීමේ කාලය ආදිය අහිමි කර අසීමිත ලෙස පීඩනයක් ළමයා කෙරෙහි යොමු කිරීමේ හේතුව නිසාද ළමයාගේ විභාග අසමත් වීම සිදුවන්නට පුළුවන.

එසේම ගුරුවරුන් විසින් තමන්ගෙන් ඉගෙන ගන්නා දරුවන් විභාගවලින් සමත්වන ප්‍රතිශතය පෙන්වා ගැනීමට අසීමිත ලෙස ළමයා පිට බර පැටවීමද සිදුවේ. පාසල් කාලයට අමතරව පාසල් වේලාවෙන් පසුවත් පන්ති පවත්වමින් පාසලේ මෙන්ම හවස පන්තියේදී ගෙදර වැඩ පවරමින් දරුවා අසීමිත ලෙස වෙහෙසුන බවද ඔබ වඩාත් හොඳින් දන්නවා විය හැක. එවිටද දරුවෙකු විභාග අසමත්  වන බව ප්‍රමාදවී හෝ ඔබ දැනගතයුතු කරුණකි.

එසේම විභාගය මන්ත්‍රයක් බවට පත්කර ගනිමින් දරුවා කැමති දේ අහිමිකර අනවශ්‍ය ලෙස විභාගය දරුවාට මානසික පීඩාවක් වන තැනට පත් කළේ නම් ඔබේ දරුවාට මෙම සති අන්තයේ මුහුණ දෙන විභාගයට හොඳින් මුහුණ දෙන්නට නොහැකි වනු ඇති.

මේ නිසාම විභාගයට මුහුණ දීමට සැරසෙන ඔබේ දරුවාගේ මානසික පීඩනය වැඩි කරන ආකාරයේ අනවශ්‍යය පීඩනයක් යෙදීමෙන් වැළකීම නුවණට හුරුවේ. විශේෂයෙන් විභාගයක් අසමත් වූවාට ජීවිතයෙන් පරාජය වීමක් සිදු නොවන බවට දරුවාට වටහා දීමත් දෙමාපියන් ලෙස ඔබ වටහා ගැනීම උචිතය.

මන්දයත් කෙතරම් හොඳට පාඩම් වැඩ ඉටුකළ දරුවෙකුට වුවද විභාගයකට මුහුණ දෙන එම කෙටි කාලසීමාවේදී මතකය ආවර්ජනය කර ගැනීමට නොහැකි විය හැකි බැවිනි.

එසේම ශිෂ්‍යත්වය වැනි විභාගයක් පවතින්නේ ළමයෙකුට උසස් පාසලකට ඇතුළු වීමට ඉඩ සලසා ගැනීමේ කඩඉමක් ලෙස පමණක් බව දෙමාපියන් වටහාගත යුතුය. එම නිසා පහසුකම් සහිත පාසලකට යන දරුවෙකු ශිෂ්‍යත්වය වැනි විභාගයක් වෙනුවෙන් අසීමිතව පීඩනයට ලක්කරමින් ප්‍රතිඵල බලාපොරොත්තු වීම නොකළ යුතුය.

මන්දයත් අනාගතයේ දරුවෙකු උසස් අධ්‍යාපනය හදාරන විට හෝ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී හෝ ශිෂ්‍යත්ව ලකුණු කිසිම විටෙක සොයා නොබලන බැවිනි.



Recommended Articles