දරුවන්ගේ පෝෂණයට විටමින් ලබාදීම ගැටලුවක්ද?


නීරෝගී දිවියක් ගත කිරීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධක අතරින් ප්‍රධාන සාධකයක් ලෙස නිවැරදි පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම ඉතා වැදගත් වේ. ඕනෑම පුද්ගලයෙකු මෙකී  පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නේ ක්‍රම දෙකකට අනුව වන අතර, ආහාර මගින් හා පෝෂණ අතිරේකයන් මගින් ලෙස ඒවා වෙන්කර දැක්විය හැක.

ගිලීමේ හා දිරවීමේ අපහසුතාවයන් හෝ රෝගී තත්ත්වයන් නොමැති ඕනෑම අයෙකුට ආහාර ලෙස මෙම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේ අවස්ථාවක් පවතී.

විවිධ වයස් කාණ්ඩවල සිටින පුද්ගලයන්ගේ පෝෂණ අවශ්‍යතා නිර්දේශ සකස් කිරීමේදීද සලකා බැලෙන්නේ නීරෝගී පුද්ගලයෙකුට ආහාර මගින් ලබා ගැනීමට හැකි පෝෂණ මට්ටම් වේ.

ආහාරයක් මගින් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නම්  අප සතුව ආහාරයන් ලබා ගන්නා ආකාර පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය. යම් යම් කාලවලදී අවශ්‍ය වන විශේෂ පෝෂණ අවශ්‍යතා පිළිබඳ දැනුම ලබාදීම සාමාන්‍ය‘යෙන් වෛද්‍යවරුන්, සායන, හා පෝෂණවේදීන් හරහා සිදුකෙරේ.

මෙයට උදාහරණ ලෙස දරුවෙකු ඉපිද මාස 6ක් ගතවනතුරු මවුකිරි පමණක් ලබා දීමත් ඉන්පසු දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරණ ආකාරය පිළිබඳව මවුවරුන් දැනුම්වත් කිරීමත් සෞඛ්‍ය අංශ මගින් සිදුකිරීම පෙන්වා දිය හැක.

මෙම දැනුම දරුවා ඉපදෙන්නට පෙර සිටම ලබාදෙයි. ඒ හරහා අවුරුද්දක් පිරුණු දරුවාට නිවසේ වැඩිහිටියන්ට පිළියෙල කරන ආහාරවලට හුරුකිරීම දක්වා අවශ්‍ය දැනුම ලබාදෙයි.

මෙයින් වැඩිහිටියෙක් වනතුරු දරුවෙකුට තම පෝෂණ අවශ්‍යතා ආහාරවලින් සපුරා ගැනීමට හුරුකරවීමේ දැනුම දෙමාපියන්ට ලබා දීම සිදුකෙරේ.

නමුත් විවිධ හේතු නිසා අපේ ආහාර පුරුදු ක්‍රමයෙන් වෙනස් වීම්වලට ලක්වී තිබේ. විශේෂයෙන්ම කුඩා ළමුන් ආහාර ප්‍රතික්ෂේප කරනු දැකගත හැකිය. ඔවුන් මෙලෙස ප්‍රතික්ෂේප කරන ආහාර අතර බෙහෙවින් ඇත්තේ එළවළු හා පලතුරු වර්ගය.

ළමුන් මෙලෙස ආහාර ප්‍රතික්ෂේප කිරීම සිදුවුවත් දෙමවුපියන් ලෙස දරුවන්ට ලබාදිය යුතු ආහාර මොනවාද? යන්න පිළිබඳ හොඳ තීරණ ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු වන්නේ දරුවන් පෝෂණ ඌනතාවයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බැවිනි.

දරුවන් විවිධ පෝෂණ ඌනතාවයන්ට ගොදුරු වනවිට ඔවුනට පෝෂණ අතිරේක ලබාදීම වෛද්‍ය නිර්දේශ මත සිදුකළ හැකි වුවත් දෙමාපියන් විසින් පෝෂණ අතිරේක ලබා දීම හිතු මනාපයට සිදුකිරීම මගින් දරුවන්ට භයානක වූ සෞඛය ගැටලුවලට මුහුණදීමට වුවද සිදුවිය හැකිය.

නීරෝගී දරුවෙකු පතන දෙමාපියන්ට පෝෂණ අතිරේකවලට අමතර මුදල් වැය නොකර දරුවන්ගේ පෝෂණය පිළිබඳව අවධානය යොමු කිරීම උදෙසා මානව පෝෂණවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රේනුක සිල්වා මහතා විසින් ලබාදෙන උපදෙස් කිහිපයකි.‍

''අපේ රටේ ළමුන් පෝෂණ ඌනතාවන්ට ගොදුරු වීමට ප්‍රබල හේතුවක් ලෙස දෙමවුපියන් දරුවන්ට ලබාදෙන ආහාර පිළිබඳ පවතින දැනුමේ අල්ප කම දැක්විය හැකියි. ඒ මන්දයත් දරුවෙකුට ලබාදෙන ආහාර පිළිබඳ තීරණය කිරීමේ හැකියාව පවතින්නේ දෙමාපියන්ට වන බැවිනි. දරුවෙකුට ලබාදෙන ආහාර එම දරුවා ප්‍රතික්ෂේප කළත් නැවත නැවත වෙනත් රසයන් එකතු වන ආකාරයට වෙනත් ක්‍රම හරහා පිසීමෙන් ආදී ක්‍රම අනුගමනය කර කෙසේ හෝ දරුවා එයට හුරු කිරීමේ වගකීම දෙමාපියන් සතු වේ.

එසේ නොවී ළමයින් කැමැති ආහාර ඔවුනට ලබා දීමට දෙමවුපියන් කටයුතු කළහොත් ඔවුන් පහසුවෙන් පෝෂණ ඌනතාවයන්ට ගොදුරුවිය හැකිය. පෝෂණ ඌනතා ඇතිවීම කෙරෙහි බල පෑ හැකි තවත් හේතු ලෙස දරිද්‍රතාවය හා දරුවන් ලෙඩරෝගවලට ගොදුරුවීම දැක්විය හැකිය.

මේ කුමන අයුරකින් හෝ අප රටේ දරුවන් බහුල වශයෙන් මුහුණදෙන පෝෂණ ඌනතාවය ලෙස දැක්විය හැක්කේ යකඩ ඌනතාවයයි. මේ දිනවල දරුවන් මුහුණදෙන බරපතළ පෝෂණ ඌනතා තත්ත්වයක් ලෙස මෙය දැක්විය හැකියි.

යකඩ ඌනතාවයේ ලක්ෂණ ලෙස අධ්‍යාපනයට දුර්වල වීම, මහන්සිගතිය, පන්තිකාමරයේ ඉගැන්වීම්වලට අවධානය යොමු කිරීමට නොහැකිවීම, මානසික වර්ධනයේ දුර්වලතා දැකිය හැකියි. මේවා රෝග ලක්ෂණ ලෙස දකින්නට නොහැකි නිසා අපි ළමුන් කම්මැලි යැයි දෝෂාරෝපණය කිරීම සිදුකරනු ලබනවා.  

විටමින් ඒ ඌනතාවය යනු ඇස් පෙනීමේ දුර්වලතාවක් , සමේ සුදු ලප ඇතිවීම වැනි සුළු ලක්ෂණවලින් ආරම්භවී අන්ධ භාවය දක්වා බරපතළ වීමේ හැකියාවක් පවතින්නක්. විටමින් ඒ ඌනතාවයෙන් අප රටේ දරුවන් මුදවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති අතර, සායන හරහා ළමුන්ට විටමින් ඒ අධිමාත්‍රාවක් ලබාදීම ඉන් සිදුකෙරෙනවා.

මෙලෙස ලබාදෙන විටමින් ඒ මාත්‍රාව වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබා දිය යුත්තක් වන අතර, එය නිවසේදී ලබාදීම නොකළ යුතු වන්නේ මාත්‍රාවේ වෙනස් වීමක් සිදුවුවහොත් දරුවන්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවිණි.

මේ නිසා වෛද්‍ය අධීක්ෂණය මත දරුවාගේ මුඛයට විටමින් ඒ මාත්‍රාව සායනයේදී ලබා දීම සිදුකරයි. මේ හරහා අපේ රටේ දරුවන් විටමින් ඒ ඌනතාවයට ගොදුරුවීමේ ප්‍රතිශතය අවම මට්ටමකට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිවී තිබෙනවා. නමුත් එය සියලුම වයස් කාණ්ඩවල දරුවන් විටමින් ඒ ඌනතාවයෙන් නොපෙළෙන බවට සහතිකයක් නොවන බව මතක තබාගත යුතුයි.

මෙවැනි පෝෂණ ඌනතාවයන්ගෙන් දරුවන් ගලවා ගැනීම සඳහා පෝෂණ අතිරේක ලබාදීම සිදුකළ හැකි අතර, දැනටමත් ඒ වෙනුවෙන් රජය මගින් විවිධ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් පාසල් දරුවන්ට යකඩ පෙති, ෆෝලික් අම්ල පෙති හා විටමින් සී පෙති ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත්තේ මේ නිසයි.

මෙයින් රතු රුධිරානු වර්ධනය වීමත්, දරුවන් වැඩෙත්ම ගොදුරුවිය හැකි රෝගාබාධවලින් වළක්වා ගැනීමත් අපේක්ෂා කෙරෙනවා. කෙසේ නමුත් සිදුකර ඇති සමීක්ෂණ අනුව විටමින් ඒ අධිමාත්‍රාව මෙන් මෙම පෝෂණ අතිරේක පෙති වර්ග ලබාදීම සාර්ථක වී නැති බව අනාවරණය වී ඇත්තේ ලබාදෙන පෙති වර්ග ළමුන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

මේ නිසා පාසල් දරුවන්ගෙන් අඩක් පමණ රක්ත හීනතාවයෙන් පෙළෙන බවට සෞඛය දත්ත වාර්තා අනුව පැහැදිලි වන බරපතළ තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. මෙලෙස පෝෂණ අතිරේක ලෙස විටමින් වර්ග, යකඩ ආදිය ලබා දුන්නද එය සිදුවන්නේ තාවකාලිකවයි.

එනම් කෙටිකාලීනව සිදුකරන්නක්. විශේෂයෙන් කිසිම පුද්ගලයෙකු පෝෂණයන් පෙති වර්ග ලෙස ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ නිසා අපිට යකඩ පෙත්තක් ගන්නවා වෙනුවට මස් මාළු ආහාරයට එක් කර ගත හැකියි.

මෙලෙස පෙති වර්ග ලෙස මෙන්ම ආහාර ලෙසද පෝෂණ අතිරේකයන් ලබා දීම සිදුකරනු දැක ගත හැකියි. ඒවා ආහාරමය පෝෂණ අතිරේක ලෙස දක්වනු ලබනවා. මෙයට හොඳම උදාහරණය ලෙස රජය මගින් ලබා දෙන ත්‍රිපෝෂ හඳුන්වා දිය හැකියි. ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී විවිධ පෝෂණ අතිරේක එකතු කරනු ලබන අතර, මන්ද පෝෂණය ඇති දරුවන්ට බර අඩු දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම සායන හරහා සිදුකෙරෙයි.

එමෙන්ම පෙර පාසල්වලදීද ළමුන්ට ත්‍රිපෝෂ ලබාදෙයි. පෙති වර්ගවලට වඩා මෙලෙස ආහාර ලෙස ලබා දීමේදී එයට වැඩි පිළිගැනීමක් ඇතිවෙනවා.

එසේම ඇතැම් පෝෂක අතිරේක වෛද්‍ය නිර්දේශයෙන් තොරව ඖෂධ අලෙවි සැල්වලින් ලබාගෙන භාවිත කිරීමටද ඇතැමුන් හුරුවී සිටිනවා. ඒ අතරට විටමින් සී, මෝර ගුලි වැනි දේ ඇතුළත්. මෙයින් විටමින් සී වැනි දේ වතුරේ දියවෙන විටමින් නිසා ශරීරයට වැඩිපුර විටමින් සී එකතු වුවහොත් මුත්‍රා හරහා පිටවේ.

නමුත් විටමින් ඒ හා විටමින් ඩී යන විටමින් වර්ග අපේ අක්මාවේ තැන්පත් විය හැකි අතර, ඒවා උවමනාවට වඩා තැන්පත් වීමෙන් රෝගාබාධ ඇති විය හැකියි. මෝර තෙල්වල විටමින් ඒ අඩංගු නිසා වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත කිරීම නුවණට හුරු නොවන්නේ මේ නිසාම වේ.

කෙසේ නමුත් වෛද්‍ය උපදේශයෙන් තොරව විටමින් වර්ග හා පෝෂණ අතිරේක ලබා ගැනීමෙන් ශරීරයට යම් අවධානමක් එල්ලවන බව මතක තබා ගැනීම වටිනවා.

ඒ  නිසා අපට අවශ්‍ය පෝෂක කොටස්  ලබා ගැනීම වෙනුවෙන් විවිධත්වයෙන් යුතු ආහාර දිනපතා ආහාර වේලට එක්කර ගැනීම වඩාත් වැදගත් වන අතර, එය අඩු වියදම් සහිත ක්‍රමය ලෙසද හඳුන්වා දිය හැකියි. මස් මාළු කොළ වර්ග එළවළු පලතුරු යහමින් ආහාර වේලට එකතු කරගැනීමෙන් පෝෂණ ඌනතා මගහරවා ගත හැකියි.

එසේම යම්කිසි පෝෂණ ඌනතාවයක් ඇතිවන අවස්ථාවක වෛද්‍ය නිර්දේශමත කෙටිකාලීනව පෝෂණ අතිරේකයක් ලබා ගැනීමට හැකි අතරම එය තාවකාලික පිළියමක් වන බැවින් ආහාර හරහා යළි පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුවේ.

මේ ක්‍රම දෙකට අමතරව පෝෂණ අතිරේක ලෙස කිරි පිටි වර්ග, ළදරු ආහාර වර්ගද වෙළඳ පොළට එකතු වී තිබේ. මෙම පෝෂණ අතිරේක විවිධ වයස් කාණ්ඩ අනුව හඳුන්වා දෙනු දැකගත හැකි අතර, ඒවා හුදෙක් ලාභ පරමාර්ථයෙන් සිදුකෙරෙන වෙළෙඳ උපක්‍රම ලෙස වටහා ගත යුතුය. විශේෂයෙන් වයස් කාණ්ඩ ලෙස බෙදා හඳුන්වා දෙන පිටි වර්ග ළමුන්ට ලබාදීමේ වැදගත්කමක් පෝෂණ වේදීන් විසින් හඳුනාගෙන නොමැති බව සඳහන් කළ යුතුමය.

ඒ අනුව කිරි වීදුරුවකින් දවසට අවශ්‍ය පෝෂණය ලැබේ යැයි සිතීම නුවණට හුරු නොවේ. ඒ හේතුවෙන් කුඩා දරුවන්ගේ කුඩා ආමාශයට ගැළපෙන ලෙස කුඩා ආහාර වේල් ලෙස විවිධත්වයෙන් යුතු ආහාර ලබාදිය යුතුය. නමුත් යම් හෙයකින් මෙලෙස ආහාර ලබා දීමට නොහැකි දරුවෙකු පෝෂණ ඌනතාවයට ලක්වී සිටී නම් දෙමාපියන් තම මතය අනුව ක්‍රියා නොකර වෛද්‍යවරයෙකු වෙත හෝ පෝෂණවේදියෙකු වෙත දරුවා රැගෙන යාම සිදුකළ යුතුවේ.''

b-vitamins-natural-vs-synthetic vitamins_3-500x500



Recommended Articles