තෙල් ග්‍රීස් ගා‍ගෙන වැඩ කරන්නේ හරිම සතුටින්


වර්තමාන ලෝකයේ දියුණුවත් සමග පිරිමින් මෙන්ම කාන්තාවන්ද සිය හැකියාවන් හා විවිධ වූ දක්ෂතා පෙන්වමින් ඉදිරියෙන් සිටී. සාම්ප්‍රදායික ගැහැනිය යන අර්ථයෙන් මිදී සංවර්ධනයේ ප්‍රගමනය සමග ඉදිරිය වෙත ගමන් කරන කාන්තාවන් අද වන විට රටවල් පාලනය කරීමට පවා සමත් වී ඇත්තේ එනිසාය.

DSC_1554-copy

එවැනි සමාජ වටපිටාවක් තුළ පසුගිය දිනක නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ කලාපයට අයිති හෙල්බොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පාපැදි අලුත්වැඩියාවේ නිරත වන දිරිය කාන්තාවක් මුණ ගැසුණි. ඇය පිළිබඳව රටටම අනාවරණය කරන්නට සිතුණේ ඇය ඇතැම් කාන්තාවන්ට වඩා දරන අදහස් හා අනාගත බලාපොරොත්තු අතින් වෙනස් අයුරකින් සිතන කෙනෙකු නිසාවෙනි.  ඇයගේ වෘත්තිය පාපැදි අලුත්වැඩියා කිරීමයි. බොහෝදෙනා ඇයව ආමන්ත්‍රණය කරන්නේ දමයන්ති ලෙසයි. 43 හැවිරිදි ඇයට එක් පුතෙකු සහ දියණියන් දෙදෙනෙකු සිටී. 

"මගේ නම දමයන්ති රත්නායක. මම විවාහකයි. මගේ ස්වාමියා නිමල් ගමගේ. අපි දෙන්නට ඉන්න දරුවො තවම පාසල් යනවා. මමත් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන හිටියා. පස්සෙ ගෙදරින් මගේ කල වයස ආපුවාම විවාහ යෝජනාවක් ගෙනැත් 1997 වසරේ විවාහ කරලා දුන්නා. ඒකට මම කැමැත්ත දීලා විවාහ වුණේ. අද මම ජීවත් වෙන්නේ මගේ ආදරණීය ස්වාමියා සමගයි.

DSC_1541-copy

මම අද වෙනකොට මේ කර්මාන්තය කරන්න අරන් අවුරුදු 10 ක් වෙනවා. රස්සාව පුරුදු පුහුණු වුණේ මහත්තයා වැඩ කරන දිහා මුලින්ම බලා ඉඳලා. පුංචි පුංචි දේවල් මුලින් කළා. නමුත් කියන්න සතුටුයි අද වෙනකොට පාපැදියක සියලුම දේවල් කරලා, රෝදවල බකල් පවා හැරලා නැවත ක්‍රමානුකූලව සවි කරන්න මට හැකියාව තියෙනවා. ඒ වගේම මේ කටයුත්ත කරන්නේ හරි කැමැත්තෙන්.

DSC_1542-copy

මගේ අනාගත බලාපොරොත්තුව තමයි මගේ සහ මහත්තයගේ බයිසිකල් වැඩපළ දියුණු කරලා, ළමයි දෙන්නට හොඳට උගන්වලා සතුටින් ජීවත් වෙන්න විතරයි. ඒ වගේම මගේ මේ ගමනේ සියලු ගෞරවය මගේ ස්වාමියාටත් හිමි විය යුතුයි. මම අපේ වැඩපළේ වැඩ කරද්දි පාරේ යන සමහර කාන්තාවන් මගෙන් අහනවා තෙල් ග්‍රීස් ගාගෙන මෙහෙම වැඩ කරන්න කැමතිද කියලා. මම එකට දෙන පිළිතුර කැමතියි ගොඩාක් සන්තෝෂයෙන් වැඩ කරනවා කියනවා. ඉතින් එයාලා මට සුභ පතනවා. ඒ කාන්තාවන්ට වඩා වෙනස් දෙයක් කරන මම දිහා එයාලා ඒ විදිහට කථා කරන එක වුණත් මට සතුටක්. මොකද මම අනිත් කාන්තාවන්ට වඩා වෙනස් කාන්තාවක් නිසා" යැයි අවසාන වශයෙන් දමයන්ති අපට පැවසුවාය.

DSC_1548-copy

ඡායාරූප හා සටහන - හෙම්මාතගම විජය බණ්ඩාර

 

 
 
 
 


Recommended Articles