තල කිලෝග්‍රෑම් දෙකකින් පටන්ගෙන සම්මානනීය ව්‍යාපාරිකාවක වූ අශෝකා


හැදූ  වඩූ දරුවන්ට  බරක් නොවී තමාගේත්, සැමියාගේත්  වියදමට අවශ්‍ය මුදල් සොයාගන්නට තලකැරලි නිෂ්පාදනයට අත ගසා ජාතික සම්මානයකින් පිදුම් ලද ධෛර්යවන්ත මාතාවක් බණ්ඩාරවෙල උඩකුඹල්වෙල ගමේදී අපට හමුවිය. ඇය ඇල්ල, උඩකුඹල්වෙල මැදවත්තේ පී.එච් අශෝකා පුෂ්පරාණිය. 

තම සැමියා ලවා ගෙන්වාගත් තල කිලෝග්‍රෑම් දෙකකින් තලකැරලි සකසා අලෙවිකොට ව්‍යාපාරික කේෂ්ත්‍රයට පිවිසි ඇය අද වනවිට ඌව පළාතේ ප්‍රදේශ රැසකට මධුෂාන් තලකැරලි හා තලබෝල නමින් සිය නිෂ්පාදන බෙදාහරින ව්‍යාපාරිකාවකි. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව 2016 වසරේදී සංවිධානය කළ ජාතික වෙළෙද ප්‍රදර්ශනය සඳහා ඇය විසින් ඉදිරිපත් කළ තල නිෂ්පාදන සඳහා සමස්ත ලංකා මට්ටමේ පස්වන ස්ථානය හිමිවූයේ ඇයට පමණක් නොව සමස්ත ඌව පළාතටම අභිමානයක් එක්කරමිනි. 

ඒ හැරුණු විට තවත් ප්‍රාදේශීය මට්ටමේ තරග රැසකින්ද ඇය සිය නිෂ්පාදන වෙනුවෙන් ජයග්‍රහණ හා සම්මාන හිමිකරගෙන ඇතැයි අප සමග කීවාය.

"මගේ  ගම රාජංගණය.  මම කසාඳ බැඳල බණ්ඩාරවෙලට ආවා. මම රැකියාවක් කළේ නැහැ. මහත්තයා වෙළෙඳාම් කළා. දැන් මගේ දරුවො ලොකුයි. එයාලා බැඳල වෙන්වෙලා. ගෙදර ඉන්නේ මහත්තයයි,මමයි විතරයි. හැබැයි අපි දෙන්නට ස්ථිර ආදායම් මාර්ග නැහැ. අපි දෙන්නම සායනවලින් බේත් ගන්නවා. මට දනිස් අමාරුව තියෙනවා. එයාටත් අසනීපයි. ඒ නිසා බේත් ගන්න වගේම වෙනත් වියදම් වලට යම් මුදලක් අපිට අවශ්‍යයි.  හැම වෙලාවෙම මේවට දරුවන්ට කරදර කරන්නත් බැහැනේ. 

ඒ නිසා මම හිතුවා තලකැරලි හදල විකුණන්න ඕන කියල.   මම මහත්තයට කියල තල කිලෝ දෙකක් විතර ගෙන්නගෙන මුලින්ම තලකැරලි ටිකක් හැදුවා. මට ඒ ගැන ලොකු දැනුමක් තිබුණෙ නැහැ. හැබැයි ඒ හදපු තලවලට හොඳ ඉල්ලුමක් ආවා. ඔහොම ටික ටික හදල වික්කා. ඉල්ලුම වැඩි උනා. සමහරු හොයාගෙන ගෙදරටත් ආවා. ඔය අතරේ මම ගැන දැනගත්ත ඇල්ල සමෘද්ධි කළමනාකාරතුමත්, සමෘද්ධි සංවර්ධන නිලධාරිතුමත්, අනෙක් නිලධාරී පිරිසත් මාව හොයාගෙන ඇවිත් මට උපදෙස් සහ ණය මුදලක් දුන්නා.  වෙළෙඳ පොළත් හොයල දීලා මට උදව් කළා. 

ඔය අතරේ ඒ  අයගේ මගපෙන්වීම මත මම ප්‍රදේශයේ පැවැත්වෙන විවිධ ප්‍රදර්ශන හා තරගවලට ඉදිරිපත් වෙලා විශාල වශයෙන් ජයග්‍රහණ ලබා ගත්තා. දැන්  මගේ ළඟ දෙන්නෙක් වැඩ කරනවා. සමෘද්ධි ආයතනය හරහා මම දැන් තලකැරලි හදන යන්ත්‍රයකුත් මිලදී ගෙන තියෙනවා. හැබැයි මේ රස්සාව හරිම සැලකිල්ලෙන් කරන්න ඕන. මොකද තලවල වැලි හැපුණොත් ඔක්කොම ඉවරයි. මගේ මහත්තය එච්.ඩබ්ලිව් අමරසිරි. එයාගෙන් මට විශාල වශයෙන් උදව් ලැබෙනවා. තල, හකුරු වගේ දේවල් ගේන්න, තලකැරලි කඩවල් වලට දාන්න වගේ දේවල් ගොඩක් කරන්නේ මගේ මහත්තයා.  

අපි මේ වෙළෙඳාමට කොතරම් ඉල්ලුම ආවත් මේවයේ ගුණාත්මක බව ගැන හිතනවා. මේවට ගන්නේ හොඳම කිතුල් හකුරු සහ තල. රසය වැඩි වෙන්න ඒකත් බලපානවා. මේක හොඳට ලාභ තියෙන ව්‍යාපාරයක්. තල කිලෝවකින් රුපියල් 1200ක් විතර උපයගන්න පුළුවන්. හැබැයි කැපවීම හා උත්සාහය තියෙන්න ඕන.

එස්.බී දිසානායක ඇමැතිතුමා අතින් තමා මට ජාතික සම්මානය ලැබුණේ. එතුමා මට එහිදී කිව්වා උදව් කරන්නම් කියලා. ඒ වගේම ඌව මහ ඇමතිතුමත් උදව් කරයි කියලා මම හිතනවා. මට තියෙන විශාලම ගැටලුව තමා ජලය. මට  නළ ළිඳක් හදල දෙනව නම් ලොකු දෙයක්. කොහොම උනත් මම සතුටින් මේ රස්සාව කරනවා. මහත්තයත් හොඳ සහයක් දෙනවා. දැන් අපේ ලෙඩත් අඩුයි අපි දෙන්න හරිම සතුටින් ජීවත් වෙනවා"

දුරකථන අංක 071 8 037 541 ට හෝ 077 6 084 732 කතා කර ඇගේ නිෂ්පාදන මිලදී ගන්නට පුළුවන.

මීගහකිවුල - එන්.කේ නිශ්ශංක  

DSC_0664

 



Recommended Articles