ඉන්ෆ්ලුවෙන්සා රෝගය මේ දිනවල වැඩි කතාබහට ලක්වන රෝග අතරට එක්වී තිබේ. මෙම රෝගය සමගම තවත් උණ රෝග පැතිරයන බැවින් ඉන්ෆ්ලුවෙන්සා රෝගය හඳුනාගැනීමේ දුෂ්කරතාවන්ට රෝගීන් මුහුණ දෙයි. මෙම රෝගය ගැබිනි මව්වරුන්ට, ළමුන්ට හා වයස්ගත වූවන්ට ජීවිතය පවා අහිමිකරන තත්ත්වයක් උදාකරන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකිරීමේ වැදගත් කමක් පවතියි.
විශේෂයෙන් ගර්භිණී මව්වරුන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළයුතු බැවින් ඒ පිළිබඳ විමසීමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා මහතාගෙන් මෙලෙස විමසීමක් සිදුකළෙමු.
Q මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය හඳුනාගන්නේ කෙසේද?
මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය වර්ග තුනක් ලෙස මූලිකවම නම්කළ හැකියි. එනම් ඒ. එච්1. එන්1 , එච්3. එන් 2 හා ඉන්ෆ්ලුවෙන්සා බී යන කාණ්ඩයි. මේ සියලුම රෝග වෛරසයක් මගින් පැතිරීම සිදුවෙනවා. මේ රෝග කාලයත් සමග එන තත්ත්වයක් එනම් සෘතුමය රෝග ලෙස හඳුන්වාදිය හැකියි. සාමාන්‍යයෙන් මෙම රෝගය උණ රෝගය ලෙස ඇතිවෙලා ක්‍රමයෙන් පහව යන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඉතාම සුළුතරයකට තමයි මේ රෝගයෙන් තදබල තත්ත්ව ඇති කරනු ලබන්නේ.
Q රෝග ලක්ෂණ ලෙස මූලිකව දැකගත හැක්කේ කුමන ලක්ෂණද?
සෙල්සියස් අංශක 38ට වඩා උණ පවතිනවානම් ඒ එක්කම හිසරදය, මාංශපේශීවල වේදනාව, සම්පූර්ණ සිරුරේම වේදනාව, ශ්වසන රෝගී ලක්ෂණ පවතින්නේ නම්( කැස්ස, උගුරේ අමාරුව , නාසයෙන් සොටු දියර ගැලීම) ඉන්ෆ්ලුවෙන්සා රෝගය ලෙස හඳුනාගත හැකියි.
මෙම රෝගී තත්ත්වය නිව්මෝනියාව දක්වා ගමන් කිරීමේ අවධානමක් සුළුතරයකට පවතිනවා.
Q එලෙස අවදානම් සහිත සුළුතරයට අයත්වන්නේ කවුරුන්ද?
අවදානම් අය අතරට අවුරුදු 2ට අඩු දරුවන්, 65ට වැඩි වයස්ගත පුද්ගලයන්, ගර්භිණී මව්වරු හා දීර්ඝ කාලීනව පෙනහළු ආශ්‍රිතව හෘද රෝග වකුගඩු රෝග අක්මාගත රෝගවලට ලක්වූවන් ඇතුළත් වෙනවා. මෙම වෛරසය අසාදිතයන් පැමිණෙන්නේ උණ රෝගය සමගයි.
විශේෂයෙන් මෙම රෝගයට ගොදුරුවූවන් රෝහල්ගත කිරීමට අවශ්‍ය වන්නේ හුස්ම ගැනීමට අපහසු වූ විටයි. මෙම රෝගය වැලඳුනු සුළුතරයකට රෝගය නිව්මෝනියාව දක්වා ගමන්කළ හැකියි. ඔවුන් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිව මිය යෑමට වුවද පුළුවන්. මෙවන් රෝගීන් හා එක දිගටම උණ පවතින රෝගීන්( පැය 72 කින් පසුත් උණ පවතින රෝගීන්) රෝහල්ගත කරනවා.
Q වෛරසය බෝවීමට වළක්වා ගැනීමට ඖෂධ ලබාගත හැකිද?
මෙය වළක්වා ගැනීමට එන්නත් විදගැනීම සිදුකිරීමට හැකි නමුත් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. ඒවගේම මෙම රෝගයට ලබාදෙන ඔසෙල්ට්ටැමිඩීල් නම් ඖෂධය මෙම රෝගය ඇතිවීම වැළැක්වීමට ලබාගැනීම සිදුනොකළ යුතු අතරම, නිවසේ සිට ඖෂධ ලබාගන්නා රෝගියෙකුද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස්වලින් තොරව මෙම ඖෂධය ලබාගැනීම සිදුනොකළ යුතුයි. මෙම ඖෂධය රෝගියෙකුට ලබාදෙන්නේ රෝහල් ගතවූ පසුව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නියම කිරීමකින් අනතුරුවයි.
Q රෝගයේ බෝවීම සිදුවන ආකාරය හා රෝගය නිශ්චය කර ගැනීමට සිදුකළ යුතු වන්නේ කිනම් පරීක්ෂණද?
මෙම රෝගය බෝවන්නේ ආසාදිතයෙකු කහින විට හෝ කිවිසුම් හරින විට අවකාශයට එකතුවන බිඳිති තව අයෙකු ආඝ්‍රහනය කිරීමෙන්. මෙම රෝගය හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂාවන් සිදු නොකරන අතර, නාසයෙන් ලබාගන්නා සොටු දියර හෝ සෙම පරීක්ෂාවක් සිදුකරනු ලබනවා. නමුත් මේ දිනවල ඩෙංගු රෝගයද පවතින නිසා රුධිර පරීක්ෂාවන් සිදුකර වැලඳී ඇත්තේ ඩෙංගු රෝගයද යන්න පරීක්ෂාවට ලක්කරනවා.
Q ගර්භිණී මවකට මෙම රෝගයේ ලක්ෂණ පහළ වෙයි නම් අනුගමනය කළ යුතු දෑ මොනවාද?
ගර්භිණී මවකට මෙම රෝග ලක්ෂණ පවතිනවා නම් අනිවාර්යෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගැනීම සිදුකළ යුතු වෙනවා. ගර්භිණී මවක් මෙම රෝග ලක්ෂණ සහිතව සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබාගැනීමට පැමිණිවිට අනිවාර්යෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුකිරීම අදාළ වෛද්‍යවරයා විසින් සිදුකළ යුතුයි.
එලෙස විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගෙන ඔවුන්ට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක්ද නැත්නම් වෙනත් වෛරසයක්ද යන්න සැක හැර දැන ගතයුතු වෙනවා. එලෙස පරීක්ෂාකරන සියලුම දෙනාව රෝහල්ගත කළ යුතු වන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස්මත නිවසේ සිට ප්‍රතිකාර ලබන ගැබිනි මවක් යළි පැය 48ක් ගතවන්නට ප්‍රථම අදාළ වෛද්‍යවරයා හමුවී යළි පරීක්ෂාකර ගැනීම සිදුකළ යුතුවෙනවා.
Q ගර්භිණී මවක් මෙම රෝගය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වන්නේ මෙනෙවාද?
ගර්භිණී මව්වරුන් රෝගය ආසාදනය වීමෙන් වැළැකී සිටීමට වග බලාගත යුතු අතර, ඒ සඳහා දැනුම්වත්ව සිටීම අත්‍යවශ්‍යයි. උගුරේ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම, මාංශපේශී වේදනාව, කැස්ස සමග උණ යන රෝග ලක්ෂණ පවතින අයෙක් අවට සිටී නම් ගැබිනි මවක් වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ඒ නිසා ගැබිනි මවක් මේ දිනවල සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටිනවා නම් නුවණට හුරුයි.
අත්‍යවශ්‍යම අවස්ථාවක හැර පොදු ස්ථානවලට හා සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයෑමට ගැබිනි මවක් වගබලාගත යුතුයි. ඒ වගේම කැස්ස තියෙනවානම් මුඛය හා නාසය ආවරණය කරගැනීම සිදුකළ යුතුයි. පවුලේ යම් අයෙකුට මෙම රෝග ලක්ෂණ වැළදී තිබෙන විටෙක ඔවුන්ට සාත්තු කිරීමට ගැබිනි මවක් ඉදිරිපත් නොවිය යුතුයි.
අත්‍යවශ්‍යම නැත්නම් සායනවලට පවා මෙම රෝගය පවතින කාලසීමාවේ සහභාගි නොවී සිටීම නුවණට හුරුයි. මෙම රෝගයෙන් මරණයට පත්වන්නේ නිව්මෝනියා තත්ත්වයට රෝගය ගමන්කිරීම හේතුවෙන් ශ්වසනය අපහසුවීම නිසායි.
ගර්භිණී මවක් වැඩක නිරත වන විට ශ්වසන අපහසුතාවයකට මුහුණදේනම් හෝ විවේකීව සිටියදී ශ්වසනය අපහසුනම්, පපුව වේගයෙන් ස්පන්දනය වීමක් දැනේනම්, රුධිර පීඩනය අඩු හෝ වැඩි වීමක් දක්නට ලැබේනම්, සිහිමඳ ගතියක් දැනෙයි නම්, වලිප්පු තත්ත්වයක් ඇතිවේ නම්, දෙපා අක්‍රිය ගතියක් දැනේ නම් හා නිව්මෝනියා ලක්ෂණ පෙන්වයි නම් අනිවාර්යෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදිය යුතුයි.
Q රෝගය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු වන්නේ මොනවාද?
රෝගී අයෙකු ප්‍රතිකාර ලබා උණ හොඳ වූවත් රෝග ලක්ෂණ සියල්ල පහවන තුරු විවේකීව සිටීම වැදගත්. මෙම රෝගය බෝවීම වළක්වා ගැනීම සඳහා සම්මත ක්‍රමවේදයන් කිහිපයක් පවතිනවා.ඒවා නම් සබන් යොදා අත් සේදීම, කහින විට ලේන්සුවක් භාවිතයෙන් මුඛය හා නාසය ආවරණය කර ගැනීම, ජනතාව ගැවසෙන ස්ථානවලට යයිනම් මුඛ අාවරණ පැලඳීම, අවට පරිසරය පිරිසිදුව තබාගැනීම යන ඒවායි.