ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාවට හිමිවන්නේ දෙවන ස්ථානයයි. එය දෙවැනි වන්නේ පියයුරු පිළිකාවලටය. ගැබ්ගෙල පිළිකාවට ගොදුරුවන කාන්තාවන් ප්‍රමාණයෙන් වැඩි වන්නේ ඒ පිළිබඳ පවතින නොදැනුවත්භාවය නිසාවෙනි. විශේෂයෙන් ගැබ්ගෙල පිළිකා පූර්ව අවධියේ හඳුනාගැනීම මගින් එම රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකිය. ඒ සඳහා ඔබ සිදු කළ යුත්තේ පැප් පරික්ෂණයකට පෙනී සිටීමයි. සුවැති දිවියක් වෙනුවෙන් ගැබ්ගෙල පිළිකාවෙන් මිදෙන්නට රෝග ලක්ෂණ පහළ වනතුරු සිටීම නුවණට හුරු නොවන බැවින් මේ දැනුවත් කිරීම ඒ වෙනුවෙනි.
ගැබ්ගෙල පිළිකාවක මූලික රෝග ලක්ෂණ
- යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය
- ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය
- යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්රාවයක් පිටවීම
- මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම
ගැබ්ගෙල පිළිකාවක අවදානම වැඩි මේ අයටයි
- HPV (හියුමන් පැපිලෝමා) නමැති වෛරසය ආසාදිත කාන්තාවන්ට (ගැබ්ගෙල පිළිකා 95%කට HPV ආසාදනය මගින් සිදුවේ) ලිංගික ජීවිතය ඇරඹීමට පෙර HPV එන්නත ලබාගැනීමෙන් මෙම ආසාදනයට ලක්වීම වළක්වාගෙන එමගින් ගැබ්ගෙල පිළිකාව වළක්වා ගත හැක. දැනට මෙම එන්නත ශ්‍රී ලංකාව්දී ලබාගත හැක්කේ පෞද්ගලික වෛද්‍ය සේවා මගින් පමණි.
- අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට
- බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට
- බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමග ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්ට
- අක්‍රීයව හෝ සක්‍රීයව දුම් පානයේ යෙදෙන කාන්තාවන්ට
- විවිධ රෝග සඳහා ප්රතිශක්තීකරණය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට
ගැබ්ගෙල පිළිකාව පූර්ව පිළිකා අවධියේදී හඳුනාගත හැකියි
අනෙකුත් පිළිකා වර්ග මෙන් නොව ගැබ්ගෙල පිළිකාව වළක්වාගත හැක. ගැබ්ගෙලෙහි සිදුවන වෙනස්කම් මුල් අවස්ථාවේදී හඳුනාගැනීමෙන් හා ප්‍රතිකාර කිරීමෙන් එම මූලික අවස්ථාවන් පිළිකාවක් බවට කල් යාමේදී පත්වීමට ඇති හැකියාව වළකාලයි.
ඔබ ගැබ්ගෙල පිළිකාවක් සැදීමේ අවදානමක සිටින බව පැප් පරීක්ෂාවකින් කලින් දැනගත හැකියි.
පැප් පරීක්ෂාවක් යනු
ගැබ්ගෙල ආශ්‍ර‘යෙන් සිදුකරන සරල පරීක්ෂණයකි. මේ සඳහා ඔබ පැමිණිය යුතු වන්නේ මාසික ශුද්ධ වීම හෝ සිදුවී නොමැති දිනකදීය.
මෙමගින් ඔබට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවේ. මෙමගින් ගැබ්ගෙලෙහි පූර්ව පිළිකා සෛල හඳුනාගත හැක.
පැප් පරීක්ෂණයට යොමු විය යුත්තේ කවුරුන්ද?
පැප් පරීක්ෂණය නීරෝගී කාන්තාවන් වෙනුවෙනි. ලිංගික සම්බන්ධතා පවත්වන සියලු කාන්තාවන් සඳහා ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5කට පසු මෙය නිර්දේශ කෙරේ.මෙම පරීක්ෂණය අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට සුවනාරී සායන වලදී කරගත හැක.
පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල
අසාමාන්‍ය නම් - ගැබ්ගෙල පිළිකා ස්ථිරවම ඇත්දැයි හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කෙරේ.
ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
සාමාන්‍ය නම් - එය සතුටුදායක පණිවුඩයකි. ඔබගේ ඊළඟ පැප් පරීක්ෂණය වසර 5 කින් සිදුකර ගත යුතුය.
පැප් පරීක්ෂණයට යොමු විය හැක්කේ කෙලෙසකද?
- ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් පවත්වනු ලබන සුවනාරී සායනය මගින්.
- රෝහල් මගින් පවත්වන සුවනාරී/ නාරිවේද සායනය මගින්
- පෞද්ගලික අංශයේ සායන මගින්
- පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය මගින්. නො. 516 ඇල්විටිගල මාවත, නාරාහේන්පිට. දුරකථන - 0113 159227
ගැබ්ගෙල පිළිකාවෙන් මිදීමට නම්
- ඔබගේ ජීවිතය සතුටින් ගත කරන්න
- පිරිසුදු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන්න
- ඔබගේ ලිංගික ජීවිතය විශ්වාසවන්ත එක් සහකරුවෙකුට සීමා කරන්න.
- එසේ නොවන ලිංගික ඇසුරකදී උපත් පාලන කොපු භාවිත කරන්න. ආරක්ෂිත ලිංගික ක්‍රියා පිළිපදින්න.
(ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ඇසුරෙනි)