කෝටා ක්‍රමයකින් හෝ ආසන ප්‍රමාණයක් වෙන් කිරීම මගින් කාන්තාවන් යම් ප්‍රමාණයක් දේශපාලනයට තල්ලු කළ හැකිය


අද වනවිට සමස්ත ලෝක ජනගහනයේ කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබීම ඔබ අප කවුරුත් දන්නා කරුණකි. නමුත් දේශපාලන කතිකාවත තුළ කාන්තා සහභාගිත්වය ගත් විට දක්නට ලැබෙන්නේ ඉතා අඩු ප්‍රවණතාවකි. එය එක්තරා ආකාරයට සමස්ත කාන්තාවන්ගේ අයිතීන්, අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීමට වන බාධාවක් ලෙස සඳහන් කළ හැක.  

අද වනවිට කාන්තාවන් කෙරෙහි සමාජය තුළ පවතින ගැටලු ප්‍රමාණය එමටය. නමුත් ඒ සම්බන්ධයෙන් නිවැරදි සහ සාධාරණ ක්‍රියාමාර්ග ගැනීමට යම් ප්‍රමාදයක් තිබීමට එක් හේතුවක් ලෙස දේශපාලනය තුළ කාන්තා නියෝජනයේ තිබෙන අඩු ප්‍රවණතාව හේතුවක්වී අැත. එහෙයින් අද වනවිට දේශපාලනය තුළ කාන්තා සහභාගිත්වයේ අවශ්‍යතාව පැන නැගී තිබේ.

මේ නිසාම දේශපාලනය තුළ කාන්තා නියෝජනයේ වැදගත්කම පිළිබඳව කතා කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය යමුණා නිරංජනී මෙන්ඩිස් මහත්මියව 'අද' වෙතට අප සම්බන්ධ කර ගත්තෙමු.

Q දේශපාලනයට කාන්තා සහභාගිත්වය සම්බන්ධව ඔබතුමිය දරන අදහස මොන වගේද?

දේශපාලනයට කාන්තා සහභාගිත්වය ගත්තොත් ඇත්තටම අඩු මට්ටමක තමා තියෙන්නෙ. එයින් අදහස් කරන්නේ ලෝකයේ ජනගහනය ගත්තොත්, ලෝක ජනගහනයෙන් හරි අඩක් සිටින්නෙ කාන්තාවෝ.

අපි ප්‍රජාතන්ත්‍රවාදයේදී කල්පනා කරනවා හැම කෙනෙක්ම නියෝජනය විය යුතුයි කියා. නමුත් හරි අඩෙන් ඊට සමානුපාතිකව ස්ත්‍රීන් දේශපාලනය තුළ නියෝජනය වෙන්නේ නැහැ. සමස්තයක් විදියට ගත්තොත් මුළු දකුණු ආසියාතික කලාපයේ හැම රටක්ම ගත්තොත් කාන්තා නියෝජනය තිබෙන්නේ 7.3ක මට්ටමක.

Q කාන්තා නියෝජනයේ තිබෙන ඒ ප්‍රතිශතය වැඩි කර ගැනීමේ වැදගත්කම මොන වගේද?

ප්‍රතිශතය වැඩි කර ගැනීම වැදගත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ කාන්තා නියෝජනය වීම අවශ්‍ය නිසයි. නියෝජනය නොවීම තුළ කාන්තාවන්ගේ අභිලාෂ, කොහොමද ඔවුන් කල්පනා කරන්නෙ කියන කාරණා, ගැටලු  ගැන දකින්නෙ කෙසේද යන දේවල් කාන්තා දෘෂ්ටිකෝණයන් පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු ගන්න ආයතන තුළින් ගිලිහිලා ගිහින් තිබෙනවා. මේ නිසා ඒවා පිළිබඳ සංවේදීභාවයක් දකින්න ලැබෙන්නෙ නැහැ බොහෝ අවස්ථාවලදී.

Q මෙලෙස දේශපාලනයට කාන්තා නියෝජන ප්‍රතිශතය වැඩි කර ගැනීම සකස් විය යුත්තේ මොන ආකාරයටද? 

ඒක ඇත්තටම විශාල ක්‍රියාවලියක්. දකුණු ආසියාව කියන්නේ කාන්තා නායකත්වය, කාන්තා සහභාගිත්වය තියෙන කලාපයක්. ඉන්දියාව ගත්තත්, බංග්ලාදේශය, පාකිස්තානය ගත්තත් මේ හැම රටකම රාජ්‍ය නායිකාවෝ ඉඳලා තිබෙනවා. ඒ අනුව කාන්තාවට යම් ඉඩකඩක් තිබෙන කලාපයක් දකුණු ආසියාතික කලාපය.

නමුත් එහෙම වුණත් අපිට දකින්න ලැබෙන්නෙ නැහැ සමස්තයක් ලෙසට කාන්තාවෝ ඉස්සරහට යාමක් සහ ප්‍රගතියක් අත්වීමක්. දේශපාලනය අවශ්‍ය වෙන්නෙ එක්තරා ප්‍රභූ පවුල්වලින් පැමිණි කිහිපදෙනෙක් හරි ඒ හරහා ඒ අයගේ අභිලාෂ ප්‍රකාශ වීමක් ලෙස නොවේ.

සමාජයේ ප්‍රගමනය රඳා පවතින්නේ සමස්ත කාන්තා ප්‍රගමනය මත. ඒ තත්ත්වය වර්ධනය කරන්න නම් අනිවාර්යයෙන්ම කාන්තාවන් දේශපාලනය තුළ නියෝජනය වීම අත්‍යවශ්‍යයි. 

Q වර්තමාන කාන්තා දේශපාලනය තුළ ඔබ දකින ගැටලු මොනවාද?

කාන්තා දේශපාලනයේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි දේශපාලනයේ නිරත වෙලා ඉන්න කාන්තාවන් පවා දන්නෙ නැහැ තමන් කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන කාරණය. එහිදී කාන්තා අභිලාෂ මොනවාද කියන එක, ඒ වගේම ඔවුන් කළ යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳ අදහසක් ඔවුන්ට නැහැ.

ඒ වගේම කාන්තාවන් වීම පිළිබඳ සංවේදී වීම කියන කාරණය ඔවුන් තුළ නැහැ.ඔවුන්ගෙත් තිබෙන්නේ සාමාන්‍ය දේශපාලනය තුළ කටයුතු කරන ආකාරයට කටයුතු කිරීම සහ බලය අල්ලා ගැනීම, බලය රැක ගැනීම යන අරමුණින් තමයි ඒ අයත් කටයුතු කරන්නෙ. නමුත් අපි බලාපොරොත්තු වන්නෙ ඒ දේ නෙමේ.

ඉන් එහාට ගිහින් කාන්තාවන්ගේ ප්‍රමාණාත්මක සහභාගිත්වය වැඩි කර ගන්න විතරක් නෙමේ ගුණාත්මකව සහභාගිත්වය වැඩි කර ගැනීම වගේ දේවල් තමා කාන්තා දේශපාලන සහභාගිත්වයෙන් අපේක්ෂා කරන්නෙ. නමුත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ ඒ දේ සම්බන්ධව ඔවුන් දැනුවත්ද කියන කාරණය. 

Q ලෝක දේශපාලනය තුළ කාන්තා නියෝජනය මොන වගේ තැනකද තිබෙන්නේ?  

සමස්තයක් ලෙස ලෝක දේශපාලනය තුළත් මොන රටකවත් ඒ 50%ට 50% සහභාගිත්වය අපිට දකින්න ලැබෙන්නෙ නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල් මේ දේ තේරුම් අරගෙන විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඒ රටවලට පුළුවන් වෙලා තිබෙනවා ස්ත්‍රී නියෝජනය වැඩි කරන්න.

උදාහරණයක් ලෙස ගත්තොත් ස්කැන්ඩිනේවියානු රටවල් තුළ දකින්න තිබෙන ලක්ෂණය තමයි ඔවුන් 36%, 40% දක්වා කාන්තා දේශපාලන නියෝජනය වර්ධනය කරගෙන තිබීම. ඒ දේ ඔවුන් වැඩි කරගෙන තිබෙන්නේ ඉබේ නොවේ.

ඒ දේ ඔවුන් කරන්නේ කෝටා සිස්ටම් එකක් හඳුන්වලා දීලා. ඒ කෝටා සිස්ටම් එක හරහා කාන්තාවන්ට නියෝජනය වීම සඳහා අවශ්‍ය කරන ඉඩ සලසා දීමක්. ඒ නිසා එම රටවල් ඒ මගින් යම් ප්‍රගතීන් අත්පත් කරගෙන තිබෙනවා. ඒ දේ වර්තමාන සමාජයට අවශ්‍ය දෙයක්. 

Q ලංකාවේ සංස්කෘතියයි, දේශපාලනයයි ඇතුළේ කාන්තාවක් දේශපාලනය කිරීමේදී එල්ල වන බලපෑම් නිසා කාන්තාවන් දේශපාලනයට සම්බන්ද වීමට මැළිකමක් දක්වනවා. ඒ ගැන කතා කළොත්?

ලංකාවේ තිබෙන සමානුපාතික නියෝජන ක්‍රමයත් එක්ක මැතිවරණයක් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න ඕන. ඒ වගේම දේශපාලනය අපරාධ සමග සම්බන්ධ වෙලා තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා බලය අවශ්‍ය වෙනවා නියෝජිතවරියක් බවට පත් වෙන්න. බොහෝ කාන්තාවන්ට ඒ දෙකටම හයියක් නැහැ.

ඒ වගේම කාන්තාවන්ට ගෙදර පැටවිලා තිබෙන බර, දරුවන් සම්බන්ධයෙන්, වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නත් එක්ක දිරි ගැන්වීමේ ස්වරූපයේ අඩු තත්ත්වයක් තමා අපේ රටේ දකින්න ලැබෙන්නේ. අපේ ආගම් අනුව ගත්තොත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවන් පිටිපස්සට ගමන් කිරීමක් ඒ තරම් දකින්න ලැබෙන්නෙ නැහැ.

දේශපාලන සමාජය තුළ තිබෙන විවිධ බලපෑම් සහ පීඩාවන්ට මුහුණ දීමට බැරි තත්ත්වය තුළ කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් වෙලා තිබෙනවා. මම හිතන්නෙ අපේ දේශපාලන සංස්කෘතිය තුළ, මැතිවරණ ක්‍රමය තුළින් මීට වඩා දෙයක් සිදු වෙන්න අවශ්‍යයි. එය කෝටා සිස්ටම් එකකින් හරි ,ආසන ප්‍රමාණයක් වෙන් කිරීම මගින් යම් ප්‍රමාණයකට කාන්තාවන් ඉස්සරහට තල්ලු කරන්න පුළුවන්කමක් තිබෙනවා. 

ලංකාවේ කාන්තාවො ඡන්දෙ දැමීමේ ප්‍රතිශතය ගත්තත් , විවිධ විමුක්ති ව්‍යාපාර තුළ කැරලිකාරී අවස්ථාවන්වලදී පවා ඒ අය ලොකු දායකත්වයක් දක්වලා තිබෙනවා. නමුත් ප්‍රායෝගික දේශපාලනය තුළ මේ දේවල් යටපත් වෙන තත්ත්වයන් දකින්න ලැබෙනවා ඉහත සඳහන් කළ දේවලුත් සමග. 

Q කාන්තාවන්ට දේශපාලනයේදී එල්ල කරන මඩ ප්‍රහාර සහ විවිධ බලපෑම්වලට හේතුවක් වෙනවාද දේශපාලන කාරණා සම්බන්ධව ඇති නිති රීති ලිහිල් වීම?

දේශපාලනය යටතේ එලෙස නීති පනවන්න බැහැ. නමුත් සාමාන්‍ය සාපරාදී නීතිය යටතේ ඒ අයට යම් නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ කාන්තාවෝ අධිකරණයට යාමට කොයිතරම් ඉදිරිපත් වෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන තිබුණත් කාන්තාවන් අධිකරණය ඉදිරියට ගොස් මෙය ඔප්පු කර ගැනීමට යොමු නොවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. 

Q ප්‍රසිද්ධ චරිත දේශපාලනයට පැමිණීම ගැන ඔබ දරන අදහස මොන වගේද? 

මම හිතන්නෙ ප්‍රසිද්ධ චරිතවලට ලේසියි දේශපාලනයට එන්න. මොකද ඒ ගොල්ලන් ඒ අයව ජනතාව හඳුනන නිසා. නමුත් ප්‍රසිද්ධ චරිත දේශපාලනයට එන විට ඒ අය දේශපාලනය ගැන, සමාජ පිළිබඳව යම් අවබෝධයක් ඇතිව පැමිණෙනවා නම් වඩා හොඳයි.

ලෝකයේ ඕනෑම රටක ප්‍රසිද්ධ චරිත තමා දේශපාලනයට ඇවිත් තිබෙන්නේ. ඒක අතිශයින් සාමාන්‍ය දෙයක්. අපේ රටේ ඒ තරම්ම ප්‍රසිද්ධ චරිතත් නොවේ එලෙස දේශපාලනයට ඇවිත් තියෙන්නේ.

ඒ අයට දේශපාලනය තුළ කොයිතරම් දුරට හැඩගැහෙන්න පුළුවන්ද කියන කාරණය මත තමයි ඒ අයගේ රැදී සිටීම රඳා පවතින්නේ. 

Q කාන්තාවක් දේශපාලනයට පැමිණෙනව නම් ඉගෙනීමක් සහ දේශපාලන දැනුමක් තිබීම අනිවාර්යයයි නේද?

ඇත්තටම මම හිතන්නෙ අධ්‍යාපනය, බුද්ධිය කියන දෙකටම වඩා ලංකාවේ දේශපාලනයේ රැඳී ඉන්න නම් දේශපාලන සමාජානුයෝජනයක් සහ අත්දැකීම් කියන කාරණා අත්‍යවශ්‍යයි. ඒ නිසා තමා ඇතැම් අයට මෙහි රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ. 

Q කාන්තාවක් දේශපාලනයට පැමිණෙනවා නම් ඒ අය සකස් වෙන්න අවශ්‍ය මොන අයුරින්ද?

කාන්තාවන් දේශපාලනයට විවිධ අවස්ථාවල විවිධ හේතුන් මත පැමිණෙනවා. ලංකාවේ වගේම ලෝකයේ හුඟක් රටවල දකින්න තිබෙන දෙයක් තමයි දුහිතෘ සහ වැන්දඹු යන කාරණා මත දේශපාලනයට පැමිණීම. එලෙස දේශපාලනයට මොන ආකාරයට පැමිණෙනවාද කියන කාරණය එතරම් අවධානය යොමු නොකළ යුතු කාරණයක්.

කෙනෙක් අහම්බෙන් ඇවිත් රැඳී ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් වැඩේ තියෙන්නෙ දේශපාලනයට ආවට පස්සේ එයාට කොයි තරම් දුරකට රැඳී ඉන්න තිබෙන ශක්තිය සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම පිළිබඳ යම් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ඒක නැති වුණොත් රැඳි ඉන්න අපහසුයි. ඒක තමා මම හිතන්නෙ අත්‍යවශ්‍යම දේ.

සමහර වෙලාවට කොහොම හරි පාර්ලිමේන්තුවට ආවට එතනින් එහාට කටයුතු කරන්න දන්නෙ නැහැ. ඒ අය සමාජානුයෝජනය වෙන්නෙ නැහැ එතනින් එහාට. එතකොට රැඳී ඉන්න අමාරුයි.

ඒ නිසා යම් විදිහකට සමාජයේම අත්දැකීම් බහුල කෙනෙකුට , දේශපාලන අවබෝධය ටිකක් වැඩියෙන් තියෙන කෙනෙකුට, සමාජයත් සමග ගැටුණු කෙනෙකුට, පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමේ ව්‍යවස්ථාදායක ආයතනවලට ආව කෙනෙකුට වඩා ලේසියි ඒ ලැබෙන අත්දැකීම් එක්ක රැඳී සිටින්න.



Recommended Articles