කාන්තා සෞඛ්‍ය නැංවීම සඳහා අපි විශිෂ්ට සේවාවක් සපයනු ලබනවා


පුද්ගල අයිතිවාසිකමක් සේ සලකමින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සැමට ලබාදීමේ දැක්මකින් යුතුව 1953 වර්ෂයේ මෙරට ආරම්භ වූ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය එළඹෙන ඉරිදා දිනයේ (15දා) සිය 64 වැනි සංවත්සරය සමරමින් ජයග්‍රාහී 65 වැනි වර්ෂය සඳහා පියනගයි. මෙරට වාසීන්ට පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව අවබෝධය ලබාදෙමින් මෙන්ම, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුවත්භාවය ලබාදීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් වසර 65 ක කාලය පුරා ඔවුන් විසින් රැගෙන ආ මෙහෙවර වර්තමානය වනවිට පුළුල් වපසරියක් පුරා විහිදී යයි. 65 වැනි අභිමානවත් වසර කරා ගමන් කරන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ විධායක අධ්‍යක්ෂිකා තුෂාරා රණසිංහ මහත්මිය මෙලෙස 'අද' හා අදහස් බෙදා ගත්තාය. 

ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනය යොවුන් පරපුරට ලබාදීම මේ වසරේ අරමුණ වී තිබෙනවා 

  ජනවාරි 15 වැනි දින ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ආ ගමන්මගේ 65 වැනි වර්ෂය කරා ගමන් කිරීම ආරම්භ කරනවා. මේ වෙලාවේ කවුරුහරි මේ සංගමයේ හිමිකාරිත්වය පිළිබඳ විමසුවොත් සඳහන් කළ හැක්කේ 1953 වැනි වකවානුවේ රටේ මාතෘ මරණ, තරුණ වයසේ මව්වරුන්ට වැඩි දරුවන් පිරිසක් සිටීම, මාතෘ සෞඛ්‍යය පිරිහීමට හේතු කාරණා වැනි ගැටලු මුල්කරගෙන ඒකරාශී වුණු ස්වේච්ඡා නිලධාරීන් පිරිසක් විසින් ස්ථාපිත කරන ලද්දක් ලෙසයි. 2017 වර්ෂයේ ජනවාරි 15 වැනිදා අපි මේ නිලධාරීන් පිරිස ස්මරණය කිරීමක් සිදුකරනවා. මේ ස්වේච්ඡා නිලධාරීන් පිරිස එවක සිටි මහජනතාවගෙන් කොටසක්. 

  දැනටමත් අපේ සංවිධානයේ එවැනි ස්වේච්ඡා නිලධාරීන් 400ක් පමණ සිටිනවා. ආරම්භක නිලධාරීන් අද ජීවතුන් අතර නොමැති වුවත්, මුල්කාලීනව සේවය කළ ස්වේච්ඡා නිලධාරීන් ඇගයීමට ලක්කිරීම 15 වැනිදා සිදුවේවි. 65 වැනි වසර කරා යන මේ වසර පුරාවට අපි විසිරුණු සැමරුම් සමරන්න බලාපොරොත්තු වෙනවා. එක සැමරුමක් ලෙස සංවිධානය නොකර දිවයින පුරා සායන පවත්වමින් නිලධාරීන් අතර එකමුතු වී සැමරුම් සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා. 

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව රටට හඳුන්වාදුන් ආයතනය ලෙස හැඳින්විය හැකි මෙම සංවිධානය 60 දශකයේදී රජයට පවරාගනු ලැබීමත් සමග කාන්තා සෞඛ්‍ය නැංවීම සඳහා ඉතා විශිෂ්ට සේවාවක් සපයනු ලබනවා. අවුරුදු තිහක පමණ කාලයක් පුරා ඉතා පුළුල් පරාසයක සේවාවන් සපයනු ලබනවා. අපේ අරමුණ වී තිබෙන්නේ සැමටම ප්‍රජනන හා ලිංගික අයිතීන් සෞඛ්‍යමය අයිතියක් ලෙස ලබාදීමයි. එතැනදී අපි විශ්වාස කරනවා හැම අයෙක්ටම දරුවෙක් බිහිකිරීමට ප්‍රජනන අයිතියක් තිබෙන බව. 

ඒ දරුවා හෝ දරුවන් ගණන තමන්ට කැමති කාලයකදී කැමති පරතරයක් සහිතව බිහිකිරීම ස්ත්‍රියගේ මෙන්ම පුරුෂයාගේත් අයිතියක් ලෙස අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි මඳසරුභාවයෙන් යුතු අයටත් දරුවන් ලබාගැනීමේ අයිතියක් තිබෙන බවට විශ්වාස කරන නිසා ප්‍රජනන වයසේ සිටින ඕනෑම කාන්තාවකට සේවා සපයනවා. නාරි සායන හරහා අඩු සඵලතා ඇති යුවළවලට, ලිංගික හා ප්‍රජනන පද්ධතියට අදාළ ආසාධන ඇති අයට, ලිංගිකව සම්ප්‍රේෂණය වන HIV ඇතුළු රෝගවලින් ආරක්ෂාවීම, පැතිරීම වළක්වා ගැනීම ආදියත්, මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ සේවාවන් මෙන්ම ලිංගික හා ප්‍රජනන පද්ධතියට අදාළ පිළිකාමය තත්ත්වය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර වෙත යොමු කිරීම වැනි කටයුතු රැසක් මෙම ආයතනය හරහා සිදුකෙරනවා.

දැන් අපි යොවුන් පුරවැසියන් කෙරෙහි ලබාදෙන සේවාවන් ඉතා පුළුල්. ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීමත් අප හරහා සිදුකරනවා. මේ වසරේ අපේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ පාසල් හා උසස් අධ්‍යාපනය ආයතන හරහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ පරිපූර්ණ අධ්‍යාපනයක් තරුණ පරපුරට ලබාදීමයි. ඒ සඳහා පාර්ශ්වකරුවන් රැසක් අපි සමග එකතු වෙනවා. විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ජාතික අධ්‍යාපන ආයතනය, සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ද්විත්වය ආදිය මේ සඳහා එකතු වී සිටිනවා. 

අපි හිතනවා ළමා අපයෝජනය, කාන්තාවන්ට අඩත්තේට්ටම් කිරීම වැනි ගැටලු ඇතිවන්නේ ප්‍රජනන හා ලිංගික අධ්‍යාපනය හරි හැටි ලබා නොදීම නිසාවෙන් බව. පාසල් අධ්‍යාපනය තුළට මේ විෂය ඇතුළත්කර තිබුණත්, නිසි ආකාරයෙන් දැනුම ලබාදීම සිදුනොවන නිසා අපි යම් ආකාරයකට පිළියම් ගත යුතු බවට අදහස් කරනවා. 

පවුල් සංවිධාන ක්‍රමයන්ට අදාළ සේවාවන් කෙරෙහි 10%කට අඩු අවදානමක් 

අතීතයේ අප විසින් සැපයූ සේවාවන් පිළිබඳ ගණනය කිරීම් සිදුකර නොමැති වුවත්, මෑතකාලීනව වසරකට ලක්ෂ හයක පමණ පිරිසකට සේවය සපයනවා. මේ සේවාවන් තුළින් අඩක්ම HIV වැළැක්වීම සඳහා කෙරෙන ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහායි වෙන් වන්නේ. මෙහිදී අවදානමට ලක්වූ පිරිස් පරීක්ෂණවලට ලක්කරලා HIV ආසාදනය වීම අඩු කරගන්න ඒ අය ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන අවබෝධය ලබාදෙනවා. මීට අමතරව ප්‍රධාන ශාඛාවට අමතරව අපේ සායන පහක් පවතිනවා. ඒවා හරහා අපි විවිධ සේවාවන් සපයනවා. ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමට පැප් පරීක්ෂණ හා කාන්තා සෞඛ්‍යයට අදාළ සේවා සපයනවා. අපි කරන සේවා අතරත් 10%කටත් අඩු ප්‍රතිශතයක දායකත්වයක් තමයි පවුල් සංවිධාන ක්‍රම සඳහා ලබාදෙන්නේ. 

උපත් පාලනය පිළිබඳ නොදැනුවත් අය අද අඩුයි 

ඉස්සර වගේ අපේ සංවිධානය මතම යැපිලා පවුල් සැලසුම් ක්‍රමවලට යොමු වන අය දැන් අඩුයි. ඒකට එක හේතුවක් තමයි සියලුම රෝහල් හරහා පවුල් සැලසුම් ප්‍රතිකර්ම ලබාදීම. පෞද්ගලික රෝහල් හරහාත්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහාත් පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ දැනුවත් බව ලබාගත හැකියි. 
ඉස්සර වගේ පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ උපකාර පතාගෙන මෙහාට එන පිරිස දැන් අඩුයි. ඒ වගේම තාක්ෂණය හා සන්නිවේදනය දියුණුවීමත් සමග තමන්ගේ ප්‍රජනන සෞඛ්‍යයට අදාළ තොරතුරු ලබාගැනීමට බොහෝදෙනා පෙළඹිලා තිබෙනවා. වත්මන් සමාජය තොරතුරු සොයලා වෛද්‍යවරු හරහා ප්‍රතිකාර ලබාගන්නවා. අපි තොරතුරු ලබාදුන් මව්වරු වත්මන් පරපුරට එම දැනුම ලබාදෙන තත්ත්වයක් තියෙනවා. උපත් පාලනය පිළිබඳ නොදැනුවත් අය අද අඩුයි. ගොඩක් අය මෙහාට එන්නේ පරීක්ෂණ සඳහායි. ඒ අය තමන්ට ගැළපෙන ක්‍රමවේද තීරණය කරගෙනයි එන්නේ. ඉස්සර අපිට සිදුවුණා තරුණ ළමයින්ට උපත් පාලනය පිළිබඳ මුල සිට පැහැදිලි කරන්න. 

දැන් සමාජයේ දරුවන් තමන්ගේ දෙමාපියන්ගෙන් මේ දේවල් ගැන අහලා දැනගන්න ලැජ්ජා වෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සැමියා හා බිරිඳ අතර හොඳ කතාබහක් තියෙනවා. දැන් විවාහ වෙන්න කලින් තීරණය කරනවා ඉක්මනින් දරුවෙක් හදනවාද, නැද්ද යන්න පිළිබඳවත්. පළමු හා දෙවැනි දරුවා අතර පරතරය අවුරුදු කීයක් තිබිය යුතුද යන්න පිළිබඳවත් කතාබහ කරනවා. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක්. ඒ වගේම තාමත් තිබෙනවා අඩු වයස් විවාහ, අඩු වයස් වගේම අනපේක්ෂිත ගැබ් ගැනීම් කියන ඒවා. ඒවා යම් පළාත්වලට, යම් ජන කොටස් වලට සීමා වුණ තත්ත්වයක් තිබෙනවා. අපේ සංගමයෙන් සපයන තවත් එක් සේවාවක් තමයි හැපි ලයිෆ් දුරකථන ඇමතුම් තොරතුරු සේවාව.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැටලු මේ දුරකථන ඇමතුම් සේවය හරහා වෛද්‍යවරුන් වෙත යොමුකර උපදෙස් ලබාගන්න හැකියාවක් තිබෙනවා. එයට ලැබෙන ඇමතුම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී වැටහෙන දෙයක් තමයි මානසික අසහනයන්ට පත්වුණු අය බහුලව සිටින බව. සමහර අය තමන්ගේ ගැටලු විසඳගන්න නොහැකිව මානසික වශයෙන් පීඩාවට ලක්වී සිටිනවා. ඉතිං හැපි ලයිෆ් දුරකථන අංකය වන 0112 588488 හරහා දේශීයව මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට පවා පිහිට ලබාදෙන්න හැකි වී තිබෙනවා. සතියේ දිනවල උදේ 8.00 සිට සවස 4.00 දක්වා මෙම සේවාවන් ලබාගත හැකියි.

මෑතකාලීනව සොයාගත් HIV රෝගීන් අතර බහුතරය තරුණ අයයි.

ලංකාව එච්.අයි.වී. ආසාදිතයන් අඩු රටක් ලෙසයි සැලකෙන්නේ. ජනගහනයෙන් 0.1%කටත් අඩු ප්‍රතිශතයක තමයි HIV පවතින්නේ. අපේ රටේ උපායමාර්ගික අධ්‍යයනය තමයි HIV වලට ගොදුරු වීමට අවදානමක් ඇති පිරිස් හඳුනාගෙන ඔවුන් දැනුවත්කර අනෙක් ප්‍රජාව අතර HIV සංසරණය වීම වැළැක්වීම. උදාහරණ ලෙස ලිංගික වෘත්තිකයන් අතර HIV පැතිරුණහොත් සමාජයේ අනෙක් අය අතරට HIV ආසාදනය වීමට තර්ජනයක් පවතිනවා. මෙලෙස වැඩි අවදානමක් ඇති පිරිස ලෙස ලිංගික වෘත්තිකයන්, සමලිංගික පිරිමින්, එන්නත් හරහා මත්ද්‍රව්‍ය ශරීරගත කරන්නන් හා සංචාරක කර්මාන්ත ආශ්‍රිත ලිංගික ගනුදෙනු වල යෙදෙන්නන් හඳුනාගෙන තිබෙනවා. මොවුන් සායනවලට එන්නේ නැහැ. එ නිසා ඔවුන්ව අතරට ගිහින් ඔවුන් දැනුවත් කරනවා. 2017 වර්ෂයේදී අපි ප්‍රජා මූල ඒකක හරහා ප්‍රජාව තුළට මෙම පරික්ෂණ ක්‍රමවේද අරගෙන යන්න කටයුතු යොදා තිබෙනවා. මේවා රජය සමග අත්වැල් බැඳගත් වැඩසටහන් ලෙසයි ක්‍රියාත්මක කරන්නේ. 

දැනට ලංකාවේ HIV රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් තියෙනවා. ලංකාව සලකන්නේ HIV ආසාදිතයන් මෑතකාලීනව වාර්තා වීම් වැඩි වූ, නමුත් රෝගීන් සුළුතරයක් සිටින රටක් ලෙසයි. අප්‍රිකාව වගේ රටවල HIV ආසාදිතයන් වැඩි ගණනක් ඉන්නවා. නමුත් අලුතින් ආසාදනය වීම් වළක්වාගන්න ඔවුන් හොඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ඒ තත්ත්වයට ළඟා වී තිබෙනවා. 

ලංකාව, බංග්ලාදේශය වගේ රටවල් කිහිපයක් තුළ HIV වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එය ලොකු අගයක් නොවෙයි. ඇතැම් විට රෝගීන් වාර්තාවීමේ ඉහළ යෑමක් පෙන්නුම් කරන්නේ පර්යේෂණ සඳහා යොමුවන පුද්ගලයන් වැඩිවීම නිසාත් විය හැකියි. භයානකම කාරණය තමයි අපේ රටේ සොයාගත් HIV ආසාදිතයන් බහුතරයක්ම තරුණ පිරිස් වීම. ඒ අතරත් සමලිංගික පිරිමි බහුල වී තිබෙනවා. 

අපි කවදාවත් පවුලකට අවශ්‍ය දරුවන් ගණන නිර්දේශ කරන්නේ නැහැ

අපේ නිර්ණායක අනුව හා අඩුවයස් ගැබ් ගැනීම් බහුල, මාතෘ මරණ වැඩි දිස්ත්‍රික්ක පිළිබඳ රජයේ දත්ත අනුව අපි හඳුනාගෙන තිබෙනවා මොනරාගල දිස්ත්‍රික්කය තුළ ප්‍රජනක සෞඛ්‍ය දැනුම අඩුයි කියලා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කය තුළත් එම තත්ත්වය දැකගත හැකියි. මේ හේතු නිසා ඌව පළාත තුළ පළාත් සභා හරහා සිදුවන වැඩසටහන්වලදී අවශ්‍ය සහයෝගය අපි ලබාදෙනවා. 

අපේ සංවිධානය තුළින් බොහෝ සේවාවන් සිදුවුණත් අපේ නමත් එක්ක බොහෝ දෙනා හඳුනාගෙන තිබෙන්නේ පවුල් සැලසුම් පිළිබඳ ක්‍රියා කරන ආයතනයක් ලෙසයි. මෙය ඇතැම් විට අපේ කටයුතුවලදීත් බාධාවක්. මොකද අපේ සංවිධානය බොහෝ අය හඳුනාගෙන තිබෙන්නේ රටේ ජනගහනය පාලනය කරන්න කටයුතු කරන සංවිධානයක් ලෙසයි. අපි ඉන්නේ ඇත්තටම පවුල් සංවර්ධනය කරන්නයි. අපි කරන්නේ පවුලක් දියුණු කරන්න අවශ්‍ය වැඩසටහන්. අපි කවදාවත් පවුලකට අවශ්‍ය දරුවන් ගණන තීරණය කරන්නේ නැහැ. අපි හැමදාම පුද්ගලයන්ගේ මතයට, තේරීමට ගරු කරනවා. යුවළකට ළමයි 10 ක් අවශ්‍ය නම් අපි ඒකට ඉඩ දෙනවා. අපි ළඟට එන කිසිම කෙනෙක්ව අපි හරවලා යවන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා සේවාවන් ලබාදීම අපේ කාර්යාල වේලාව තුළදී සිදුකරනවා. මේ සේවාවන් අතර නොමිලේ ලබාදෙන සේවාවන්ද පවතිනවා. විවාහයට පෙර ලබාදෙන උපදේශන, කාන්තාවන්ට හා පිරිමින්ට අවශ්‍ය ප්‍රජනක හා ලිංගික සෞඛ්‍යයට අදාළ තොරතුරු අප විසින් ලබාදෙනවා. 

ආපදාමය තත්ත්ව වලදී පුද්ගලයන්ගේ ප්‍රජනන හා ලිංගික සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා

ස්වාභාවික විපත් හා හදිසි ආපදා තත්ත්වයන් පසුගිය කාලයේ සිදුවුණා. ඒ අවස්ථාවල මූලික අවශ්‍යතා සපුරා දීමට අපේ රටේ සියලු දෙනා එකතු වුණා. මෙවැනි තත්ත්ව වලදී ප්‍රජාවගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකයේ අන්තර්ජාතික මට්ටමේ නිර්ණායක තිබෙනවා. මොකද මෙවන් අවස්ථා වලදී වාර්තා වූ හදිසි තත්ත්ව හා අපයෝජන සිද්ධීන් තිබෙනවා. ඒ නිසා පෙර ක්‍රියාත්මක වී මෙවැනි ආපදා තත්ත්වවලදී ප්‍රජාවට සහන සැලසිය යුතුයි. අපි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මෙවන් අවස්ථාවක කාන්තාවන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය දෑ සහිත පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ආපදාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන පළාත් අවට රෝහල්වලට අපි මේවා බෙදා දී තිබෙනවා. 

ඒ වගේම ප්‍රසූතියන්ට සූදානම් අය වෙනුවෙන් මෙවැනිම පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ආපදාමය අවස්ථාවක මවට හා දරුවාට අවශ්‍ය සියලුම දේ මෙහි ඇතුළත්. මේ දේවල් උතුරු පළාතේ කඳවුරු වලදී වැඩි වශයෙන් භාවිතයට ගැනුණා. 

4j9jnuaG

??????????



Recommended Articles