කාන්තාවන් දේශපාලනයට ආවොත් දූෂණය මැරකම අඩුවෙයි


තමන් දේශපාලනය තෝරාගත්තේ කුමන පරමාර්ථයක් නිසාද යන්න ජනප්‍රිය කලාකාරිනියන්ව සිට දේශපාලනයට අත්පොත් තැබූ ඔවුන් අපට මෙලෙස හෙළිදරව් කරනු ලැබීය.

 

නිළියන් සැපවත් ජීවිත ගත කරන්න දේශපාලනයට එනවා කියලා චෝදනා කරන අය මේකට ඇවිත් බලන්න ඕන අපි දේශපාලනයේදී ගත කරන්නේ මොනතරම් දුෂ්කර ජීවිතයක්ද කියලා-මාලනී ෆොන්සේකා

දේශපාලනයට පිවිසෙන කාන්තාවන් වැඩ කරන්නේ නැහැ කියල චෝදනා කරන්නේ පිරිමි. ඒ අය කවදාවත් කියන්නෙ නෑ කාන්තාවන් අපිට වඩා හොඳයි කියල. හැබැයි ඇත්ත බැලුවොත් පිරිමින්ට වඩා කාන්තාවන් හොඳින් දේශපාලනයේ නිරත වෙනවා. අද දේශපාලනයේ නිරත වන පිරිමින්ට මොනතරම් චෝදනා එල්ල වෙනවාද? ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැනේ.

හැබැයි දශම ගාණකින්වත් කාන්තාවන්ට එවැනි චෝදනා නැහැනේ. කාන්තාවන් බොහොම නිර්දෝෂී විදිහට දේශපාලනයේ නියැළෙනවා. දූෂණ අඩු බව කාන්තාවන් දේශපාලනයේ නියැළෙන්‍කොට දක්නට ලැබෙනවා.

මට මෙරට උපරිම ජනප්‍රියත්වය ලැබුණා. මට ජනප්‍රියත්වය පස්සෙ යන්න කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. මහ ජනතාවත් එක්ක සම්බන්ධ වෙනකොට ඔවුන්ගේ ප්‍රශ්න, ගැටලු දකිනකොට මට ක්‍රමයෙන් ආශාවක් ආවා මිනිසුන්ට උදව් කරන්න.

නිළියක් දේශපාලනයට එනවා කිව්වම අමුතු සතෙක් හැටියට මිනිස්සු ඇයව දකින්න පටන් ගන්න එක කණගාටුවක්. ඇයටත් යම්කිසි අයිතියක් හිමියි. මේ රටේ දොස්තරවරියක්, ගුරුවරියක් කියල කිව්වම මිනිස්සු වැඩිය හිතන්නෙ නැහැ.නමුත් නිළියක් කිව්වම මහ අරුමයක් වගේ කතා කරනවා. නිළියෙක්ට දේශපාලනයට එන්න නිදහසක් නැද්ද? අල්ලපු රට ඉන්දියාව දිහා බැලුවම ජය ලලිතා ඉන්නවා ඉතා ඉහළින්ම.

අපේ රටේ තියන ආකල්ප වල වෙනස්කම හා මිනිස්සුන්ගේ තිබෙන හීනමානය නිසයි මේ චෝදනා එල්ල වෙන්නෙ. නිළියක් දේශපාලනයට එන එක ගැන චෝදනා කරන අය එහෙම චෝදනා කරන්නේ ඔවුන්ගේ හීනමානයට, නොහැකියාවට හා හිතේ තියෙන පුරුෂාධිපත්‍ය කියන හැඟීමට.කාන්තාවන්ට දෝෂාරෝපණ එල්ල කරන පිරිමින්ගෙන් තමයි ඔවුන්ට අකටයුතුකම් සිද්ධ වෙන්නේ. ඒ නිසා දේශපාලනයේ නියැළෙන කාන්තාවන්ට හෝ මොනයම් කාන්තාවකට දෙවරක් හිතල බලලා පිරිමින් එම චෝදනා එල්ල කරනවානම් හොඳයි.

ජනප්‍රිය කලාකාරිනියන් දේශපාලනයට එන එක ගැන චෝදනා කරන්නේ පුරුෂ මූලික සමාජ ක්‍රමයක් තිබෙන නිසයි- නදීශා හේමමාලි

කැපී පෙනෙන ඕනෑම ක්ෂේත්‍රයක නියැළෙන කාන්තාවකට අභූත, අසාධාරණ, පදනම් විරහිත චෝදනා එල්ල වෙනවා. මම දේශපාලනයට පිවිසිලා සමාජයට කරන සේවාව ගැන කියනවාට වඩා එයට ප්‍රායෝගිකවයි පිළිතුරු දැක්විය යුත්තේ. එයට තව ටික කාලයක් ගත වේවි. බහුතරයකට වැඩ කරන්න පුළුවන් ක්ෂේත්‍රය දේශපාලනය කියන මතයෙයි මම ඉන්නේ.

අපේ රටේ ජනප්‍රිය කලාකාරිනියන් දේශපාලනයට එන එක ගැන චෝදනා කරන්නේ පුරුෂ මූලික සමාජ ක්‍රමයක් තිබෙන නිසා වෙන්න ඕන.අන්තර්ජාලයේ ලිංගික දර්ශන නරඹන්න වැඩි වශයෙන් පුරුදු වුණ රටත් මේක. මේවායින් අපිට ලංකාවේ ජීවත්වන මිනිස්සුන්ගෙ මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්. ඉතින් දේශපාලනයට නිළියන් යොමු වුණාම චෝදනා කරන්නෙත් එවන් මානසිකත්වයක් තියෙන උදවිය වෙන්න ඕන.

කාන්තා දේශපාලඥයින් කවදාවත් දූෂණයට, භීෂණයට, මැරකමට යොමු වන්නේ නැහැ. මොකද ප්‍රචණ්ඩත්වයට, දූෂණයට ගැහැනු අය කැමති නැහැ. මම රැල්ලට දේශපාලනයට එන කෙනෙක් නෙවෙයි. මම දේශපාලනයට එන්නෙ ජනතාවගේ සල්ලි හොරා කන්නවත්, සූරා කන්නවත් නෙමෙයි. මම අද ජීවත්වන විදිහ දැක්කොත් ඕනෑම කෙනෙක්ට එය තේරුම් ගන්න පුළුවන්. මට ඉන්න හිටින්න, කන්න බොන්න මම හම්බ කරන දේවල් ඇති. මම පස් පව් වලින් වැළකුණ කෙනෙක්. ඉතින් මම ජනතාවගේ මුදල් ගරන්න දේශපාලනයට එනවා කියල කවුරු හරි චෝදනා කරනවානම් මම ඒක භාරගන්නේ නැහැ.

ගමේ කසිප්පු මුදලාලිලා, රා මුදලාලිලා දේශපාලනයට එනවට වඩා කලාකාරිනියක් දේශපාලනයට එන එක වටිනවා- ගීතා කුමාරසිංහ

 

මේ රටේ බහුතර කාන්තා ප්‍රතිශතයක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ රටට වැඩිම ධනයක් උපයා දෙන්නේ කාන්තාවන්. අතීතයේ අපේ රටේ නමක් තියපු කාන්තා දේශපාලන චරිත හිටියා. පළමු අග්‍රාමාත්‍යතුමිය, හිටපු ජනාධිපතිනියටත් කලින්, අපි ඉපදෙන්නත් කලින් ලංකාවේ කාන්තාවෝ දේශපාලනය කළා. නමුත් ඒක මෑත කාලයේ අවාසානාවන්ත ලෙස බිඳ වැටිලා.

අද ගාල්ල දිහා බලන්න. ඔක්කොම ඉන්නෙ පිරිමි අය. එකම ගැහැනිය මම. අර සියලුම පිරිමි, පිරිමිකම පල්ලෙහා දාලා පුළුවන්තරම් පට්ටපල් බොරු හද හද ජනතාවට කිව්වා. ඒ අය කිව්වෙ මම නිළියෙක් නිසා මට දේශපාලනය බැහැ කියලයි. මම අදත් විශ්වාස කරන දේ තමයි කුඩුකාරයෝ දේශපාලනයට එනවට වඩා ගෑනු දේශපාලනයට එන එක හොඳයි කියනෙක.

හොරු, රජයේ දේපොළ මංකොල්ල කන අය, බඩ තඩි හොර මුදලාලිලා එනවට වඩා 100%ක් කාන්තාවෝ දේශපාලනයට එන එක හොඳයි. ගමේ කසිප්පු මුදලාලි, රා මුදලාලිලා දේශපාලනයට එනවාට වඩා සුන්දර සියමැලි කලාකාරිනියක් දේශපාලනයට එන එක වටිනවා. මොකක්ද නිළියො සමාජ විරෝධීව කරන වැඩේ? මම ව්‍යාපාරිකාවක් විදිහට ඉහළට ආව කෙනෙක්. මම මුදල් හම්බ කරන්න නෙවෙයි දේශපාලනයට ආවේ කියල රටේ පුංචිම ළමයා පවා දන්නවා.

 

 

අපේ ස්ත්‍රීන්ට උදව් කරන ගමන් කලාකරුවන්ටත් උදව් කරන එක තමයි මගේ අරමුණ- ගයේෂා පෙරේරා

මම දේශපාලනය තෝරා ගන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩුවීම තුළින් කාන්තාවන්ට වැඩ කිරීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාව අඩුයි කියලා හැඟුණ නිසයි. ඉදිරියේදී පක්ෂයක් තෝරාගෙන ඡන්දයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. ඉදිරියේදී මම මගේ න්‍යායපත්‍රය රටට ඉදිරිපත් කරනවා. මන්ත්‍රී වැටුප මහජන සේවයට සෑම මාසයකදීම යොදවන විදිහට ඉදිරිපත් කරලා තමයි මගේ දේශපාලන දිවියේ වැඩ පටන් ගන්නේ.

 

නිළියන් කියන්නෙත් රටේ පුරවැසියෝ. ඉතින් රටේ පුරවැසි බව තියෙන ඕනෑම කෙනෙක්ට ඡන්දය ඉල්ලන්න පුළුවන්.අපේ ස්ත්‍රීන්ට උදව් කරන ගමන් කලාකරුවන්ටත් උදව් කරන එක තමයි මගේ අරමුණ..

දේශපාලනයට එන ප්‍රසිද්ධ නිළියන්ට එල්ල වෙන චෝදනා බැලුවම කියන්න තියෙන්නේ ක්ෂේත්‍රයේ ගෞරවය කලකාරුවන්ට ආරක්ෂා කරගන්න පුළුවන්. ක්ෂේත්‍රයේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට කලාකරැවෝ හැමෝවම එක ගොන්නකට දාලා කතා කරන එක හොඳ නැහැ. ඉන්දියාවේ අවුරුදු 26 ක තරුණියක් ඡන්දයට ඉදිරිපත් වෙලා ඇමතිවරියක් වුණා. ඒ දේවල් එක්ක බැලුවම රටේ දියුණුව කෙරෙහි වැඩකරන්න කාන්තාවන්ට කාලය උදාවෙලා තියෙනවා. ඇයි රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් අයට ඉඩදීලා බලන්න බැරි. මම චෝදනාවන්ට කිපෙන කෙනෙක් නෙමෙයි.

(මෙම ලිපිය සඳහා පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා මෙනවියගේ මතය දැන ගැනීමට අප උත්සාහ කළ අතර,  එහිදී ඇය සමස්ථ දේශපාලනයේ නිරත වන කලාකාරිනියන්ගේ මත එක්කර සකසන ලිපියකට මතයක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළාය)



Recommended Articles