විටෙක සමාජයේ මවක, දියණියක, නැඟණියකගේ භූමිකාව නිරූපණය කරන ඇය දැන් රටට නායකත්වය දීමටත් සූදානම්ය. ලෝකයේ පළමු අගමැතිනිය සහ විධායක ජනාධිපතිනියක් බිහි කිරීමට ලංකාවේ ජන්ද දායකයා සමත් වූයේ ඔවුන් ගැන විශ්වාසය තැබීම නිසාය. ඒ වෙනුවෙන් සැබෑ වෙනසක් සඳහා ඇයටත් හඬ නැගීමට දැන් අවස්ථාවයි.
නූතනයේ ලාංකීය දේශපාලනය තුළ කාන්තා නියෝජනය ආසියාතික කලාපයට සාපේක්ෂව ඉතා අඩු ප්‍රතිශතයක් ගනියි. එම නිසාම පළාත් පාලන මට්ටමේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා 25%ක කෝටාවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලාංකීය කාන්තාවන්ට මහඟු අවස්ථාවක් පිරිනැමීය. කාන්තාවන් දේශපාලනයට ප්රවිශ්ට වීමේදී මුහුණදෙන ගැටලු ප්‍රතිපත්ති යෝජනා වාර්තාව ඉදිරිපත් කෙරිණි.
මේ පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්ත මට්ටමෙන් පළාත් 09 නියෝජනය කරමින් පැවති අතර, කාන්තා දේශපාලනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය අවසන් වාර්තාව පිළිගැන්වීමේ උත්සවය පසුගියදා (15දා) බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා සියලුම පළාත් නියෝජනය කරමින් දේශපාලනයට ප්රවිශ්ට වීමට අපේක්ෂා කරන්නා වූ කාන්තාවෝ විශාල පිරිසක් සහාභාගි වූහ.
එහිදී කාන්තාවන් දේශපාලනයට ප්‍රවේශ වීමේදී මුහුණපෑමට සිදුවන බාධක සහ අභියෝගයන් පිළිබඳව සාකච්ඡා කළ අතර, කාන්තාවන් දේශපාලනයට පිවිසීම වළක්වාලන බාධක හඳුනා ඉන් ඒවා අවම කිරීමටත්, ලංකාවේ කාන්තා දේශපාලන සහාභාගිත්වය වර්ධනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණු විය.
ශ්‍රී ලංකීය කාන්තාවන් දේශපාලනයට ප්රවිශ්ට වීමේදී බලපාන මූලික ගැටලු ත්‍රිත්වයක් හඳුනාගත හැකිය. සමාජීය ගැටලු, ව්‍යුහාත්මක කරුණු සහ තනි/ පුද්ගලමය ගැටලු වශයෙනි. දේශපාලන පක්ෂවල හැසිරීම සහ කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය අතර සෘජු සහසම්බන්ධයක් ඇති බව පළාත් මට්ටමින් සිදුකරන ලද විමසීම් මගින් වාර්තා වූ ප්‍රධාන සාධකයක් විය.
මේ නිසා දේශපාලන ක්ෂේත්රයේදී ලාංකීය කාන්තා නියෝජනය පක්ෂ මට්ටමෙන් සාධක 04ක් ඔස්සේ ක්‍රියාත්මක කළ හැකිය. එනම්, සංවිධාන ව්‍යුහය, මතවාද, කාන්තා පක්ෂ ක්රියාකාරිණියන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතිකිරීම සම්බන්ධයෙන් වන පක්ෂ නිතී රීතී සඳහා කාන්තා සහාභාගිත්වය වර්ධනය කිරීමයි.
නමුත් මේවා ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ දේශපාලනමය අංශයන් තුළින් පැනනගින ගැටලු ක්‍රමානුකූලව අවම කළ යුතුය. කාන්තාවන්ට දේශපාලනය නුසුදුසුම යැයි වන අදහස ලාංකීය සමාජයේ මුල්බැස ගත් ප්‍රධාන කාරණයකි. ලංකාවේ සමාජ,සංස්කෘතික වටපිටාව අනුව මේ ස්වරූපය නිර්මාණය වී තිබේ. එමනිසා සාම්ප්‍රදායික අදහස් දරන ග්‍රාමීය මට්ටමේ ප්‍රජාව කාන්තාවන් දේශපාලනයේ නියැළීම සම්බන්ධයෙන් සහය නොදැක්වීමේ සහ විරෝධතා දැක්වීමේ ප්‍රවණතාවක් වැඩි වශයෙන් දක්නට ලැබේ.
නමුත් පාරම්පරික සිතුවිලිවලින් යුක්ත ඔවුන්ගේ සිතුවිලි 100%ක්ම අපට විසඳිය නොහැකිය. නමුත් ඒ සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීමට දේශපාලන පක්ෂ ගම් මට්ටමින් සක්‍රීයව ක්‍රියා කිරීම මගින් යම් තාක් දුරකට එය පාලනය කළ හැකි වේ.
පෘතුගාලයේ සියලු දේශපාලන පක්ෂවල දේශපාලඥයන් විසින් පාර්ලිමේන්තුවේ ආසන 50%ක් පිරිමින්ගේද, 50%ක් ගැහැනුන්ගෙන්ද පුරවමින් ස්ත්‍රී පුරුෂ සමතුලිතතාව තුළින් සමානතා ප්රජාතන්ත්රවාදය මුළු ලෝවටම ප්‍රදර්ශනය කිරීමට ඔවුහු සමත්වී අවසන්ය.
ඒනිසා සෑම ක්ෂේත්රයක් තුළම සමානත්මතා අයිතිය තහවුරු කිරීම තුළින් කාන්තාවන්ගේ හැකියා සහ කුසලතාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම එය ඵලදායි ලෙස යොදා ගැනීමටද හැකියාව ලැබේ.
නමුත් නූතනයේ සමාජ ජාල මාධ්‍ය ව්‍යාප්ත වීමත් සමග දේශපාලන වේදිකාව තුළ නොයෙක් අදහස් වාරණයකින් තොරව ප්‍රකාශ කිරීම ප්‍රබල ගැටලුවක් වී හමාරය. මෙම සමාජ ජාල මාධ්‍ය හරහා ස්ත්‍රී විරෝධී ප්‍රහාර සහ චරිත ඝාතන කාන්තා අපේක්ෂිකාවන් වෙත නිරන්තරයෙන් එල්ල වීම සුලබව දැකිය හැකි සිද්ධියකි. නමුත් මේ සඳහා තවමත් ස්ථිර පාලන ක්‍රමවේදයක් නොමැත.
මාධ්‍ය සදාචාරය තුළ එය එතරම් යහපත් දෙයක් නොවන අතර, එය අවම කිරීම සඳහා මැතිවරණ කොමිසම සහ ඡන්ද ප්‍රචාරණ කාලසීමාවේ ක්‍රියාත්මකවන පැමිණිලි විභාග කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් මගින් අධීක්ෂණය කිරීම සිදු කළ යුතුය. මෙමගින් මෙය යම්තාක් දුරකට අවම කිරීමේ හැකියාව පවතී.
එමෙන්ම දේශපාලන ව්‍යුහය තුළද කාන්තාවන් මුහුණපාන්නා වූ ගැටලු රාශියකි. වෙනස්කොට සැලකීම, තෝරාගැනීම් පිළිබඳ ගැටලු, මාධ්‍ය තුළ ආයතනික පක්ෂපාතීභාවයන්, නිතීය ක්‍රියාත්මක කිරීමේ ආයතනික දුර්වලතා ආදීය මෙහිදී ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.
දේශපාලන පක්ෂවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය මධ්‍යගත වීම සහ ඥාති සංග්‍රහය සහ මිත්‍ර සංග්‍රහය මත දේශපාලන ක්ෂේත්රයේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරයි. නාමයෝජනා ක්‍රියාවලියට බලපෑම් කිරීම සඳහා කාන්තාවන්ට පක්ෂ තුළ තීරණ ගැනීමේ හැකියාවක් නොමැත. එමෙන්ම දේශපාලන තනතුරුවලට තරග කිරීමට සුදුසුකමක් නොමැති බව සහ හැකියාවක් නොමැතිකම නිසා මෙවන් ගැටලු පැනනගී.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ කාන්තාවන් සංඛ්‍යවද ඉතා අඩු ප්‍රතිශතයක් ගනියි. මෙවැනි අවස්ථාවල පක්ෂ අභ්‍යන්තරයේ ප්රජාතන්ත්රවාදය කඩවීමක් බොහෝ විට දැකිය හැක.
නමුත් ලෝකයේ බොහෝ දියුණු රටවල දේශපාලනයේ සුවිශේෂී ස්ථානයක් කාන්තාවට හිමි වේ. ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය ව්‍යවස්ථාවෙන්ම ඒ සඳහා ඉඩකඩ වෙන් කොට තිබේ. පක්ෂයේ ප්‍රධාන නිලතල සහ අපේක්ෂක නාමයෝජනා සඳහා වර්තමානයේ අවම වශයෙන් 40%ක පමණ ප්‍රතිශතයක් කාන්තාවන්ට වෙන් කිරීමට නියම කර තිබේ. එරට පමණක් නොව ලෝකයේ බොහෝ පක්ෂයන් මගින් නාමයෝජනා සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදී තිබීම පෙර සිටම හඳුනාගත හැකිය.
පුරුෂාධිපත්‍ය රජකරන නායකත්වය විසින් කාන්තාවන්ට වෙනස් කොට සලකනු ලැබීම සහ පක්ෂ තුළ සහ විරුද්ධ පක්ෂ අපේක්ෂකයන් විසින් සිදුකරන ලබන ලිංගික හිංසනයන් බරපතළ ගැටලුවකි. එය වළක්වමින් දේශපාලනය තුළ කාන්තාවගේ සුරක්ෂිතභාවය සඳහා යොග්‍ය වූ චර්යා පද්ධතියක් සකස් කළ යුතුය.
එවිට සිදුවන පීඩාකාරී සහ හිංසනික ක්‍රියා අවම වනු ඇත. එමෙන්ම මැතිවරණ කාලයේ මැතිවරණයට සම්බන්ධවන දේශපාලන අපේක්ෂිකාවන්ට සිදුවන ලිංගික හිංසනය සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා විශේෂයෙන් අවධාරණය කළ යුතුය.
මෙය අවම කිරීම සඳහා පක්ෂ අභ්‍යන්තර දේශපාලන විනය පද්ධතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගත හැකි අතර, මේ හා සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතීයේ දුර්වලතා සකස් කළ යුතුය. එවිට අනාගත නායකත්වය සඳහා නොබියව ඉදිරියට පැමිණීමේ හැකියාව කාන්තාවටද විවර වේ.
මැතිවරණ කාල සීමාවේදී ජන්ද දායකයා දැනුවත් කරන එක් ප්‍රබල අංශයක් ලෙස මාධ්‍ය හඳුනාගත හැකිය. මෙයින් ලබන දැනුවත් භාවය මත මිනිසුන්ගේ වටිනා ඡන්දය රටට වැඩදායී පුද්ගලයන් වෙනුවෙන් පිරිනැමීම සිදු කරයි. එම නිසා විශේෂයෙන්ම මැතිවරණ කාල සීමාවේ පිරිමි අපේක්ෂකයන්ට සාපේක්ෂව කාන්තා අපේක්ෂකයන්ටද මාධ්‍ය ආවරණයක් සපයා දිය යුතුය.මෙම තත්ත්වය තුළින් කාන්තා දේශපාලන සහාභාගිත්වය සක්‍රීය කරගත හැකිය. මේ සඳහා කාන්තාවන්ට විධිමත් දැනුමක් ලබාදිය යුතුය.
2016 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වූයේද, 2030 වර්ෂයේදී කාන්තාවන්ට සම අයිතියක් ලබාදෙමු, සවිමත් කතක්, තිරසාර හෙටක් යන්නයි. මෙම තේමාවට සමගාමීව, 2016 වර්ෂයේදී දී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නව පියවරක් ඉදිරියට තබනු ලැබුවේ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරමින්ය.
දිගු කාලීන ඵලදායි වූ ප්‍රතිපල ලබාගැනීම සඳහා 2016 වර්ෂයේ අගභාගයේදී පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය (SLILG) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මාර්ගෝපදේශකත්වය යටතේ දිවයින පුරා උපදේශන මාලාවන් ආරම්භ කෙරිණි. ඒ අනුව Australian Aid ආයතනයේ මුල්‍ය සහය ඇතිව, Search for Common Ground ආයතනය විසින් පළාත් හයක උපදේශන සඳහා අනුග්‍රහය පිරිනැමීය.
මැතිවරණ ක්‍රමවේදයන් සඳහා ජාත්‍යන්තර පදනම (IFES) මගින් උපදේශන දෙකකටද, Chrysalis මගින් ඌව පළාතටද අනුග්‍රහය දැක්වීය.
මේ අයුරින් කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී,එක් පළාතකින් සහභාගිවන්නියන් 100 වැඩි ප්‍රමාණයකින් පළාත් 09ම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 09ක මෙම වැඩසටහන පැවැත්විය.
කාන්තාවන්ට දේශපාලනයට සුදුසු වාතාවරණයක් ගොඩනැගීම, හැකියාවෙන් යුත් කාන්තා අපේක්ෂිකාවන් සවිබල ගැන්වීම සහ කාන්තා අපේක්ෂිකාවන් පිළිබඳ සුභවාදී මහජන මතයක් ඇති කිරීම සඳහා මෙමගින් මූලික අඩිතාලම දමන්නට විය. මේ සඳහා කැමැත්තක් දක්වන කාන්තාවන්ට නිතී හා ආචාර ධර්ම පිළිබඳ, පුද්ගල සංවර්ධනය පිළිබඳ විශේෂ අවබෝධයක් ලබාදීමක් සිදුකෙරිණි.
ප්‍රතිපත්තිමය දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීම කාන්තාවන්ට හොඳ දේශපාලන ක්‍රමයක් රටේ ඇති කිරීමට හැකියි
මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා
''කාන්තාවන් දේශපාලනයට පැමිණීමට මැලිකමක් දැක්වීමට ප්‍රධාන හේතුවක් ලෙස ලංකාවේ ප්‍රතිපත්තිමය දේශපාලන ක්‍රමයක් නොමැති වීම හැඳින්විය හැකියි. ලංකාවේ ප්‍රතිපත්තිමය දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීම තුළින් කාන්තාවන්ට හොඳ පිරිසිදු දේශපාලන ක්‍රමයක් රටේ ඇති කිරීමට හැකියි.
කාන්තා දේශපාලන නියෝජනය සඳහා අද විශාල වශයෙන් සියලු පක්ෂ, සියලු කාන්තා සංවිධාන, සියලු නියෝජිතයන් මේ පිළිබඳ අවධානය යොමු කර ඇස් ඇරලා බලා තිබෙනවා. දේශපාලන නියෝජනය ආසියාතික කලාපය තුළ, ලංකාව තුළ අඩු වූවත්, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහිකළ, විධායක ජනාධිපතිනියක් බිහි කරපු රටක් වශයෙන් කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන කාරණා පිළිබඳ කාන්තාවන් මීට වඩා සිතිය යුතුයි.''
පළාත් පාලන ක්‍රමයේදී කාන්තා නියෝජනය 25%ක් දක්වා අනිවාර්යය කිරීම ඉතා සුබදායී කරුණක්
නගර සැලසුම් සහ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සන්සදයේ සහය අධ්‍යක්ෂිකා වෛද්‍ය සුදර්ෂණී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය
''අපේ රටේ බොහෝ පිරිසක් සිතන්නේ මේ රටේ කාන්තාවන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලයි. මන්ත්‍රීවරුද සිතන්නේ එහෙමයි. අධ්‍යාපනය තුළන් වූවද පුරුෂයන්ට වඩා ඉදිරියට පැමිණීමට කාන්තාවන් සමත්වී තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්රයේද ඒහා සමාන වර්ධනයක් දැකගත හැකිමුත් දේශපාලනයට සහාභාගි වී ආණ්ඩුකරණයේ යෙදීම ඉතා අල්ප වශයෙන් සිදුවෙන්නේ. 1931 සර්ව ජන ඡන්ද බලය ලැබූවත්, සියලුම කාන්තා ප්රඥප්තීන්ට අත්සන් කර තිබුණත් දෙශපාලනයේ නියැළෙන කාන්තා නියෝජනය බොහෝම අඩුයි.
නමුත් මෙම ගෙනා ක්‍රමය මගින් පළාත් පාලන ක්‍රමයේදී කාන්තා නියෝජනය 25%ක් දක්වා අනිවාර්යය කිරීම ඉතා සුබදායී කරුණක්. ආසියාතික කලාපයේ කාන්තාවන් දේශපාන සහාභාගිත්වයක් දක්වන්නේ පවුල් පසුබිමත් සමගයි. සුළු පිරිසක් පමණක් තමන්ගේ දක්ෂතාවය මතින් පැමිණීම දැකිය හැකියි. නමුත් මීට වඩා වෙනසක් කළ යුතුයි.''
මෙම අවස්ථාව කාන්තාවන්ට දේශපාලනයට ප්රවිශ්ට වීමට ලැබෙන අවසාන අවස්ථාවක්
ඛණිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිනිය,
''පණතක් සම්මත කිරීමෙන් නිසි ප්‍රයෝජනය ලබාගත හැක්කේ කාන්තාවන්ද ඒ සඳහා ඉදිරිපත් වුවහොත් පමණයි. මේ සඳහා කාන්තාවන් ඉදිරිපත් වීම ඉතාම වැදගත් දෙයක්. කාන්තාවට මේ සඳහා මූලික ප්රශ්නය ඇතිවන්නේ තමන්ගේ නිවසින්. කාන්තාවට අකැප ලැයිස්තුවේ පළමුවෙන්ම තිබන්නේ දේශපාලනයයි.
දේශපාලනයේ නියැළීමේදී කාන්තාවක් ලෙස සිතේ ධෛර්යයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. කාන්තාවන්ට කළමනාකාරීත්වය පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් විශේෂයෙන් වංචනික ක්‍රියාවන්ගේ නිරත වීමට බියක් දක්වනවා.
කාන්තාවන් දක්ෂයි, මේ සියලු කාරණා නිසා කාන්තාවන් දේශපාලනයට ප්රවිශ්ට වුවහොත් විශාල වෙනසක් සිදුකළ හැකියි. මෙම අවස්ථාව කාන්තාවන්ට දේශපාලනයට ප්රවිශ්ට වීමට ලැබෙන අවසාන අවස්ථාවක්. පක්ෂ භේදයකින් තොරව ඉදිරීයට පැමිණීමට කාන්තාවන් ක්‍රියා කළ යුතුයි.''
ඡායාරූප - සරසි නෙත්මිණි