සුරංගනා කතාවල හමුවෙන චරිත ලෙස සැබෑවට ජීවත් වෙන්නට ඇත්නම් කෙතරම් අගනේද යන්න සිතන පතන අය අප අතර ඕනෑ තරම් හමුවෙති. ඒ ආශාවන් එලෙසම සැබෑ කරගන්නට වෙහෙසෙන අයද නැතුවාම නොවේ.මේ එලෙස උත්සාහ ගන්නා එක් කණ්ඩායමක් පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමයි. ඇමෙරිකාවේ සැඟවුණු ජීවිත ගත කරන කොට්ඨාසයක් ලෙස එම මාධ්‍ය හඳුන්වා දෙන මොවුන් නම්කර ඇත්තේ මර්ෆෝල්ක් ලෙසයි.
කයිට්ලීන් නීල්සන් නැමැති පෙරපාසල් ගුරුවරියක සිය කුඩා අවධියේ නැරඹූ දිය කිඳුරියන්ගේ සුරංගනා කතාවක් අනුව ඩිස්නි වෙතින් ගෙන ආ 'ද ලිට්ල් මර්මේඩ්' කතාවේ චරිත අනුව ජීවත් වීමට හිතේ ඇතිවූ ආශාව මෙලෙස සැබෑ කරගෙන තිබුණේ, ඒ හා සමාන ආශාවන් ඇති කාන්තාවන් පිරිසක්ද ඊට එකතු කරගනිමිනි.
සිය රැකියාවටද, 2015 වර්ෂයේ හැදෑරූ ජීව විද්‍යා උපාධියටද ආයුබෝවන් කියමින් කයිට්ලින් පූර්ණකාලීන දිය කිඳුරියක් බවට පත්ව තිබෙන්නේ සිලිකන් යොදාගෙන සාදාගන්නා ලද වරල්වලින් සැරසෙමිනි.
ආබාධිත වූවන් පලඳින කෘත්‍රිම පාද මෙන් තමන් පලඳින මෙම වරල් කොටස් දැනෙන බව කයිට්ලීන් මාධ්‍ය වෙත පවසා සිටී. කයිට්ලීන් සමග මේ වනවිට විවිධ වයස් සීමාවන්වල කාන්තාවන් එක්වී සිටින අතර, ඔවුන් අතරින්ද බහුතරයක් උපාධිධාරිනියන්.
මෙලෙස කිඳුරු ජීවිත ගතකිරීමට ආශා කරනා අය ගණනින් වැඩි වෙත්ම කයිට්ලීන් ඔවුන්ගේ උපදේශිකාව බවට පත්වී තිෙබ්. ඒ කෘත්‍රීම වරල් භාවිතයෙන් පිහිනන ආකාරය හුරු කිරීමටය. කයිට්ලීන්ගේ දෙමාපියන් සාගර ජීව විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීම නිසාම ඇය සිය කුඩා කාලයේ මුහුදු ප්‍රදේශවල කාලය ගත කර තිබුණු බවත් ඉන් ඇය සමුදුරට අයත් පුද්ගලයෙකු ලෙස වඩාත් දැනුණු බවත් පවසා සිටියාය.
කයිට්ලින් සමග එක්ව සිටින අනෙක් කාන්තාවන් අතර පරිසර නීතිය හැදෑරූ සිසුවියක වන ටෙසී පවසා තිබුණේ, ඇය කිඳුරු ජීවිතය පිළිබඳ හැදෑරීමට පිලිපීනයේ කිඳුරු පාසලක වසර තුනක කාලයක් ගත කළ බවයි.
තම පවුල්වලින් මුල් කාලසීමාවේ උපහාසයට ලක්වූ මෙම සියලු දෙනාම පාහේ මේ වනවිට මිනිස්-කිඳුරු ජීවිත ගත කරමින් තමන් කුඩා කල සිට දුටු සිහිනයක් සැබෑවට අත්දකිමින් සිටියි. ඇමෙරිකානු ඩොලර් 3500ක වියදම් දරමින් සකස් කරගන්නා මෙම කිඳුරු වරල් පැලඳගෙන කිඳුරු ජීවිත ගත කරන්නන්ගේ ලෝක සමළුවක් පසුගිය වසරේ උතුරු කැරොලිනාහිදී පවත්වා තිබෙන්නේද කිඳුරු ජීවිත ගත කරන අය ලොව පුරාම වෙසෙන නිසාවෙනි.
නිසංසලා