ආබාධිත වුවත් තරගකාරී සමාජය සමග ගැටෙමින් ජීවිතය ජයගැනීමට වෙහෙසෙනා යුවළක්


අප ජීවත් වන සමාජයේ දෙපයින් නැගී සිටීමට හැකි පිරිස ජීවිතය අරමුණකින් තොරව ගතකරද්දී, දෙපයින් නැගී සිටීමට නොහැකිව සිටිනා යුවළක් ජීවිතය ජයගැනීමට වෙහෙසෙන අයුරු නාරම්මල, පුවක්ගහකොටුව ප්‍රදේශයෙන් දැකගැනීමට හැකිවිය.

මෙම යුවළ උපතින්ම ආබාධිත වූවන් නොවේ. මෙම යුවළගෙන් බිරිය වන ආර්.එම්.හර්ෂණී නිසංසලා මහත්මියට වයස අවුරුදු 5ක් වනවිට  සුෂුම්නාවට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇවිදගැනීමට නොහැකිව ආබාධිත වී ඇති අතර, සැමියා වන නදීක ඔෂාන් මහතා 18 වියේදී  මැණික් පතලක් නැරඹීමට යෑමෙන් කොන්දට ගලක් වැටී මෙලෙස රෝද පුටුවට කොටුව සිටියි.

අනේක වූ දුක් කම්කටොලු මැද දිවි ගෙවූවත් ලැබූ ජීවිතය සතුටින් ගතකරන මෙම යුවළගෙන් බිරිය වන හර්ෂණී මහත්මිය ඔවුන්ගේ ජීවිත කතාව අප සමග පැවසුවේ මෙසේය.

''මට දැන් අවුරුදු 28යි. මගේ මහත්තයාට අවුරුදු 36යි. මම මුලින්ම පදිංචි වෙලා හිටියේ දිවුලපිටිය ප්‍රදේශයේ. මගේ මහත්තයා රත්නපුර, නිවිතිගල ප්‍රදේශයේ. අපි දෙන්නම උපතින්ම ආබාධිත වුණ අය නෙමේ. මට අවුරුදු 5දී තමා සුෂුම්නාවට විෂබීජයක් ගිහින් ආබාධිත තත්ත්වයට පත්වුණේ. මගේ මහත්තයාත් අවුරුදු 18දී මැණික් පතලක් බලන්න ගිහින් කොන්දට ගලක් වැටිලා තමා ආබාධිත වෙලා තියෙන්නේ.

අපි දෙන්නාම රාගම රෝහලේ පුනරුත්තාපන ඒකකයේ ප්‍රතිකාර ලබද්දී එම ඒකකයේ ආබාධිත අය වෙනුවෙන් තියෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මැහුම් නිර්මාණ කරන පැත්තේ ඉගෙන ගත්තේ.

ඊට අමතරව පේපර් කුයිලින් නිර්මාණ කරන්නත් පුහුණු වුණා. එතනින් තමා අපි දෙන්නා දැන හඳුනගන්නේ. ඒ ඉගෙන ගත්ත දේවල්වලින් ජීවිතේ අපි දෙන්නට එකතු වෙලා ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතලා තමා අපි දෙන්නා කසාද බඳිනවා කියන තීරණයට ආවේ.

දැනට අවුරුදු 3 කට විතර කලින් තමා අපි බැන්දේ. ආබාධිත අයට සාමාන්‍යයෙන් විවාහය, ආදරය වගේ දේවල් නොගැළපෙන දේවල් විදිහට තමා සමාජය දකින්නේ. මිනිස්සු ඒ දේවල් පිළිගන්න කැමති නෑ. අපි දිහා වුණත් මිනිස්සු අමුතු විදිහට බලන්නේ. ඉතින් ඒ දේවල් එක්ක අපේ පවුල් ජීවිතය බාධක ගොඩක් මැද්දේ මේ තැනට ආවේ.''

සැමියා වන නදික ඔෂාන් මහතාද අප සමග අදහස් දැක්වීය.

''අපි කුලී නිවෙස් කිහිපයකම ඉඳලා තියෙනවා. මැහුම් කර්මාන්තය තමා මුලින්ම කළේ. පුවත්පතක පළවුණ ලිපියක ප්‍රතිඵලයක් විදියට තමා අපිට දැනට පදිංචි වෙලා ඉන්න නාරම්මල, පුවක්ගහකොටුවේ මේ නිවස හම්බවුණේ. දැනට අපි පේපර් කුයිලින් නිර්මාණ ලෙස කේක් පෙට්ටි, ආරාධනා පත්‍ර, වෙසක් කාඩ්, නත්තල් කාඩ්, උපන් දින කාඩ් වගේ විවිධ නිර්මාණ කරනවා. ඒ සඳහා ඇණවුම්ද ලැබෙනවා. 

අපේ දෛනික ජීවිතය ගෙන යන්න ඉන් ලැබෙන ආදායම ප්‍රමාණවත්. නමුත් අපිට මේ නිර්මාණ සඳහා අවශ්‍ය බඩු ගන්න යන්න වගේම ඒවා අලෙවි කරගන්න යන්න ප්‍රවාහන පහසුකම් නෑ. ත්‍රිවීල් රථවලින් තමා දැනට යන්නේ. නමුත් අද යන ත්‍රීවිල් රථයේ කෙනා ආයේ හෙට එන්න කැමති නෑ.

අපිට තියෙන ආබාධ තත්ත්වයත් එක්ක අපිට වෙලාව ගතවෙනවා මේ වැඩ කරගන්න. ත්‍රීවිල් රථවල අය කැමති නෑ ගොඩක් වෙලාවක් අපේ වැඩවලට ගිහින් ඉන්න. අපිට අපේ වෘත්තිය වැඩ කටයුතු කරගෙන යන්න ත්‍රීවිල් රථයක් හරි තියෙනවා නම් අපිට මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. රජයේ හෝ කිසියම් සමාජ සංවිධානයක හෝ අවධානය අපි ගැන යොමුවෙලා අපිට මේ වෘත්තීය කරගෙන යන්න ත්‍රීවිල් රථයක් ලබාගන්න ආධාර කරන්න පුළුවන් නම් අපිට මේ කටයුතු දියුණු කරගන්න හැකිවෙනවා.''

වඩුමුන්නේගෙදර - ටී.පී. අධිකාරි

පන්නල - හේමා රාජපක්ෂ

DSC00654 DSC00657 DSC00660 DSC00663



Recommended Articles